A+ R A-

ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්නැයි රදගුරු සමුළුව රජයෙන් ඉල්ලයි

E-mail Print PDF

 

altසිරකරුවන්ට පහරදීම, මරා දැමීම ඇතුළු කුරිරු වද හිංසාවන් දැඩි ලෙස හෙළා දකින බව පවසන කතෝලික රදගුරු සමුළුව අධ්‍යාපන ක්ෂේත‍්‍රය ඇතුළු විවිධ කේෂ්ත‍්‍රවල ජනතාව මුහුණ පා ඇති ගැටලු වහාම විසඳන්නැයි රජයෙන් ඉල්ලා සිටියි.

ඒ සම්බන්ධයෙන් එම සමුළුව විසින් නිකුත් කරන ලද නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘‘ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නොබෝදා පැවැත්වූ සිය සභා සැසිවාරයේදී අද අප රට හා සමාජය තුළින් අහෝසි වී ඇති ඇතැම් මානුෂික සහ ආගමික වටිනාකම් පිළිබඳව තම දැඩි අවධානය යොමු කළේය. මෑතකදී සිදු වූ අනෙකුත් සිද්ධීන්වලට අමතරව අත්අඩංගුවේ සිටියදීම ඇතැම් සිරකරුවන්ට අමානුෂික පහරදීම්, ශාරීරික වද හිංසාවන්ට භාජනය කිරීම, රෝහල් ගත කිරීම හා මරණයට පවා පත් කිරීම යන කරුණු සම්බන්ධව මෙම රදගුරු සමුළුව තම බලවත් අවධානය යොමු කර සිටියි. සියලූම සිරකරුවන් මානව ගරුත්වයෙන් යුතුව සැලකීම හා ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම පිළිබඳව අන්තර්ජාතික නීතිය මගින් කරුණු තහවුරු කර ඇත. රදගුරු සමුළුව එවන් කුරිරු වද හිංසා දැඩි ලෙස හා සහමුලින්ම හෙළා දකින බව කිව යුතුය. තමන් යටතේ සිටින සිරකරුවන්ට ඔවුන්ගේ මානව උතුම්කමට අනුව සලකමින් ඔවුන්ගේ ආරක්ෂාව නිතර රැකීම  ඕනෑම රජයක අද්විතීය යුතුකමකි. වගකීමකි.’’

‘‘අධ්‍යාපනය පිළිබඳව අද රට තුළ පවත්නා අර්බුදකාරී තත්වයද ශ‍්‍රී ලංකා රදගුරු සමුළුවේ දැඩි සැලකිල්ලට භාජනයව පවතියි. පාසල් ළමුන්ගේ විභාග පවත්නා අකාරය ගැනද ජනතාව තුළ ඇත්තේ පිළිකුලකි. දැඩි අප‍්‍රසන්නතාවයකි. දැනටමත් සෑහෙන කාලයක් තිස්සේ අපේ විශ්වවිද්‍යාල වසා දමා ඇත. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල සිසුන් තුළද ඇත්තේ බලවත් කළකිරීමකි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නයද කිසියම් විදියකින් හෝ නිරාකරණය කළ යුතුව ඇත. යථෝක්ත කරුණු සම්බන්ධව කටයුතු කිරීමට නියමිත බලධාරීන් අප‍්‍රමාදව පැන නැගී ඇති මෙම ප‍්‍රශ්න නිරාකරණය කිරීම සඳහා කඩිනම් පියවර ගනු ඇතැයි ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව උදක්ම ඉල්ලා සිටියි. මෙම අර්බුදයේදී ප‍්‍රධාන කොටම අසහනයට පත්ව ඇත්තේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වන බැවින් එය අත්‍යවශ්‍ය කාරණයක් හැටියට සලකා ඔවුන්ගේ අර්බුද විසඳාඅපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය තත්වයකට පත් කිරීම ගැනද සමුළුව අවධාරණය කරයි.

මේ අතර උතුරුමැද පළාතේ ගොවීන් මෙන්ම අනකුත් ප‍්‍රදේශවල ගොවීන්ද රටට අවශ්‍ය සහල් ප‍්‍රමාණය නිෂ්පාදනය කර දීමේදී බලවත් අසීරුතාවයකට මුහුණ පා තිබේ. එබැවින් අප ගොවි ජනතාවගේ ප‍්‍රශ්න කෙරෙහිද ඉක්මන් විසඳුමක් ලබා දිය යුතුය.

විවිධ අසීරුතාවන්ට මුහුණ පා සිටින අප ජනතාවගේ අපේක්ෂිත සහන ඔවුන්ට ලබා දෙන දේශපාලන විසඳුමක් තුළින් ශ‍්‍රී ලංකාවේ ජීවත් වන සියලූම පුරවැසියන්ට සැබෑ සාමය සහ යුක්තිය සහතික කරන මෙන් ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නැවත වරක් ඉතා කාරුණිකව සහ ගෞරව සම්ප‍්‍රයුක්තව රජයෙන් ඉල්ලා සිටියි.’’

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

online

We have 149 guests online

Advertisment

advertisment