Latest news
A+ R A-

සමාජයීය නිදහස සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මාධ්‍යවේදීන්ගේ පමණක් වගකීමක් නොවේ

E-mail Print PDF

 

සමාජයීය නිදහස හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගීම තවදුරටත් ජනමාධ්‍යකරුවන්ට සීමා නොවී සෙසු වෘත්තිකයන් හා දේශපාලන සංවිධාන සතු වගකීමක් වන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

අදට යෙදෙන “අන්තර්ජාතික පුවත්පත්කලාවේදීන්ගේ සහයෝගිතා දිනය “ නිමිත්තෙන් නිවේදනයක් නිකුත් කරමින් එම ව්‍යාපාරය මේබව ප්‍රකාශ කර තිබේ.

එම නිවේදනය පහත පළවේ.

වසරක් පාසා ලොව පුරා පුවත්පත්කලාවේදීන් විසින් සමරනිජාත්‍යන්තර පුවත්පත්කලාවේදී සහයෝගිතා දිනය’සැප්තැම්බර් 08වැනිදාට යෙදී තිබේ.

මෙම සුවිශේෂී දිනය ආරම්භයේ සිටම ලොව පුරා පුවත්පත්කලාවේදීන්ගේ අන්‍යෝන්‍ය සුහදතාවය,වෘත්තිය ගරුත්වය හා ජනතාවාදී පුවත්පත්කලාවක අවශ්‍යතාවය සටහන් කරමින් සමරනු ලැබිණි. විවිධ පීඩාවන් හමුවේ දිවිගෙවන ලොව පුරා ජනතාව වෙනුවෙන් කැපවුණු පුවත්පත්කලාවේදීන් විසින් ඉටුකළ යුතු කාර්යභාරය අවධාරණය කරණ මෙම දිනය එවැනි ආදර්ශවත් වෘත්තීය මෙහෙවරක යෙදුණු පුවත්පත්කලාවේදියකු සිහිකරන දිනය ද වේ. 1958බල්ගේරියානු අගනුවර,බුකාරෙස්ට් නගරයේ පැවැති අන්තර්ජාතික පුවත්පත්කලාවේදී සංගමයේ 4වැනි සම්මේලන වාරයේදී මෙම වාර්ෂික සහයෝගිතා දිනය ලෙස ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ නාසි සිරකඳවුරකදී වධ දී මරා දැමුණු චෙක් ජාතික පුවත්පත්කලාවේදී ජූලියස් ෆුචික්ගේ මරණය සිහිකිරීම පිණිසය. අදහස් ප‍්‍රකාශකිරීමේ අයිතිය මෙන්ම තමන් කැමැති පාලකයකු පත්කරගැනීමේ අයිතිය ජනතාව වෙත තිබිය යුතු බව ඇදහූ ජූලියස් ෆුචික්,චෙකොස්ලොවැකියාව ඇතුළු යුරෝපය ගිලගනිමින් සිටි නාසිවාදයට එරෙහිව සටන් කළේය. එයින් කිපුණු නාසි ගෙස්ටාපෝ හමුදාව ඔහු අත්අඩංගුවට ගත්හ. නාසි කඳවුරේ වදවේදනා මැද පවා ඔහු ලිවීම කළේ ෆැසිස්ට්වාදයට එරෙහි ජනතා මතය ඒකරාශිකිරීමේ හා ලොවපුරා ජනතාවට වඩා යහපත් හෙටදවසක් සඳහා සටන්කරන අභීත මිනිසකු ලෙසය.

 

අද වනවිට ලංකාවේ සෑම ප‍්‍රදේශයකම සිදුවන පැහැරගැනීම් හා මරාදැමීම් දේශපාලන අරමුණක් සහිත බව පැහැදිලි වෙමින් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට මිලිටරිවාදය පවත්වාගෙන යන රාජපක්ෂ පාලනය කල්පනා කරන්නේ ජනමාධ්‍ය තුළින් සත්‍ය හෙළිවීම තර්ජනයක් බවයි. ඒ නිසාම ජනමාධයකරුවන් මෙන්ම සත්‍යය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටින හා අයිතීන් ඉල්ලා සටන් කරන ජනතාව මර්දනයට ලක් කෙරෙන අවස්ථා බහුලය. එහි පළමු කොන්දේසිය පුවත්පත් මෙන්ම විසුත් මාධ්‍ය නිහඬකරවීමයි. පසුගිය වසර ගණනාවක් පුරා ජනමාධ්‍යවේදීන්ට පහරදීම,පැහැරගෙන යාම,අත්අඩංගුවට ගැනීම,අතුරුදන්වීම සහ ඝාතනය කිරීම යනාදීවශයෙන් අනාරක්ෂිතභාවය විවිධ මුහුණුවරින් දක්නට තිබේ. ජනමාධ්‍ය ආයතන වශයෙන්ද ප‍්‍රහාරයට ලක්වීම,ගිනිතබනු ලැබීම සහ බෝම්බ ප‍්‍රහාරයට ලක්වීම වැනි සෘජු ලෙස මර්දනයට හසුවීම දක්නට ලැබේ. ජනමාධ්‍යවේදීන්ටත් ජනමාධ්‍ය ආයතනවලටත් තාඩන පීඩනවලට ලක්වන්නට සිදුව තිබේ.

 

වත්මන් ආණ්ඩුවේ පාලන කාලය තුළ ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූ අවස්ථා 11ක්,ප‍්‍රහාරයට ලක් වූ අවස්ථා 35ක්,පැහැරගෙන ගිය අවස්ථා 9ක් සහ ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍ය ආයතනවලට ප‍්‍රහාර එල්ල කිරීමේ අවස්ථා 7ක් පිළිබඳ නිල වාර්තා තිබේ. පසුගිය කාලයේ  ජනමාධ්‍ය ආයතන වෙත රහස් පොලිසිය කඩා පැනීම සුලභ ලෙස සිදුවිය. ජනමාධ්‍ය ආයතනවල පරිගණක ඇතුළු වටිනා ආම්පන්න අත්අඩංගුවට ගැනීම,එම ආයතනවල සේවය කරනවුන්ට පදනම් විරහිත චෝදනා සහ මඩගැසීම තුළින් එම මර්දනකාරී පියවර සාධාරණීකරණය කිරීමට රාජ්‍ය මාධ්‍ය යොදා ගැනීම නිසා පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් විවිධ හිරිහැරයන්ට ලක් වී තිබේ. එහෙත් ඒ සිදුවීම් පිළිබඳ නිසි විමර්ශන සිදුකර නැත. පොලීසිය,අධිකරණය වැනි නීතිය බලාත්මක කිරීමට පිහිටුවා ඇති ආයතන පවා මෙම මර්දනකාරිත්වය හමුවේ නිහඬව බලා සිටින බව පැහැදිළිය. එපමණක් නොව,ජනමාධ්‍යවේදීන්ට පහරදීමේ සිට ඝාතනයකිරීම දක්වා අපරාධයන් සම්බන්ධ වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට ගෙන එන්නට ආණ්ඩුව හෝ අදාල අංශ මේ දක්වා සමත් වී නැත. එවැනි සිදුවීම් පිළිබඳ පරීක්ෂන පවත්වන බව විවිධ අවස්ථාවලදී බලධාරින් විසින් ප‍්‍රකාශ කළත් අදාළ වරදකරුවකු අත්අඩංගුවට ගත් බවක් හෝඩුවාවක් සොයාගත් බවක් හෝ නඩු පැවරූ බවක් මෙතෙක් වාර්තා වී නැත.

 

ජනමාධ්‍ය නිදහසට එරෙහිව කිසිවකු විසින් මෙහෙයවන ලද අපරාධකරුවන් තවමත් නිදැල්ලේ සිටී. ජනමාධ්‍යවේදීන් වුන් අතින් හිරිහැරයට ලක්වූයේ ආණ්ඩුව විවේචනය කරන ආණ්ඩුව පවසන ඇතැම් කරුණු ප‍්‍රශ්න කරන මාධ්‍ය භාවිතයක් තුළ නිසාම මර්දනකාරිත්වය සම්බන්ධ වගකීමෙන් නිදහස්වන්නට ආණ්ඩුවට නොහැකිය. නීතිය හා යුක්තිය ඉටුකරන්නට නොහැකිවන තාක් ආණ්ඩුවට එම සිදුවීම් සම්බන්ධ වගකීමෙන් පළා යා නොහැකි බව අවධාරණය කරමු. අනෙක් අතට මේ රටේ ජීවත්වීම අවදානම් සහගත බව වටහාගෙන විදේශගතවූ ජනමාධ්‍යවේදීන් විශාල ප‍්‍රමාණයකගේ ජීවිත එම තත්වයට ඇද දැමීමේ වගකීමද ආණ්ඩුව භාර ගතයුතුය. විවේචනයේ යෙදෙන මාධ්‍යවේදීන්ට පහරදීම හා මරාදැමීම සඳහා මැරයන් යොදවනවාට අමතරව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යොදා සිදුකරන මර්දනය වඩ වඩාත් උග‍්‍ර වී තිබේ. අපරාධ පරික්ෂණ නිලධාරින් පවා සමාජයීය ආරක්ෂාව වෙනුවට පාලකයන් ආරක්ෂා කරන එක් පවුලක මෙහෙකාරකම් කරන බැලයන්ගේ තත්වයට පත්ව තිබේ. සමස්තයක් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය හා අදහස් ප‍්‍රකාශකිරිමේ නිදහස අහුරනු ලැබ තිබේ. කැමැති ආගමක් ඇදහීමේ හා කැමැති දේශපාලන මතයක් දැරීමේ හා සංවිධානයවීමේ නිදහස ඇතුළු මූලික පුරවැසි අයිතිවාසිකම් අහිමි කෙරෙමින් තිබේ. එදා ජූලියස් ෆුචික් අත්දුටු නාසි පාලනයට සමාන මර්දනකාරී අත්නොමතිකත්වයක් අප සමාජය ගිලගෙන තිබේ.

 

ඒ නිසා,මෙවර අන්තර්ජාතික පුවත්පත්කලාවේදී සහයෝගිතා දිනයේ පුවත්පත්කලාවේදීන් මෙන්ම පොදුවේ ජනමාධ්‍ය වෘත්තිකයන් අවධානයට ගතයුතු කරුණක් තිබේ. එනම්,මේ රටේ සමාජයීය නිදහස හා පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් හඬනැගීම තවදුරටත් ජනමාධ්‍යකරුවන්ට සීමා නොවී සෙසු වෘත්තිකයන් හා දේශපාලන සංවිධාන සතු වගකීමක් වන බවයි. ජනමාධ්‍යවේදීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමටත්,ජනමාධ්‍ය නිදහස රැකීමටත් එයින් ඔබ්බට මේ රටේ පුරවැසියන්ට හිමි මූලික අයිතිවාසිකම් රැකගැනීමට ඒකරාශිවන ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයකරන ජනමාධ්‍යවේදීන්,වෘත්තිකයන් ඇතුළු සියලූ දෙනාටත් සිවිල් සංවිධාන හා ප‍්‍රගතිශීලී දේශපාලන සංවිධාන වෙත අපි ආයාචනා කර සිටිමු.

 

This content has been locked. You can no longer post any comment.

පුවත්

online

We have 139 guests online

Advertisment

advertisment