නැගෙනහිර පළාත් සභාව පරිපාලනය කිරීමට කුමන පක්ෂයකට සහයෝගය දෙනවාද යන්න පිළිබඳව තව දින 02ක් තුළ තීරණය කරන බව මුස්ලිම් කොංග්‍රස් නායක අධිකරණ අමාත්‍ය රාවුෆ් හකීම් මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් සහ ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්‍ෂයේ නායක ආර්. සම්බන්ධන් මහතාගෙන් ඒ සඳහා ඇරයුමක් ලැබී ඇති බව සඳහන් කළ හකීම් මහතා පක්‍ෂයට පළාත් සභා මැතිවරණයේදී උදව් කළ සියලු දෙනාගේම අදහස් විමසීමෙන් පසුව තීරණයකට එළඹෙන බවද කීය.
ජනාධිපති රාජපක්‍ෂ මහතා නියෝජිතයකු වශයෙන් තමා හමුවීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් තමා නැගෙනහිර මෙහෙයූ මැතිවරණයට රජයේ අමාත්‍ය ධුර දරන මුස්‌ලිම් අමාත්‍යවරුන්ගෙන් එල්ල වූ බාධා හිරිහැර ගැන ඒ අවස්‌ථාවේදී ඔහුට මතක් කර දුන් බවත් හකීම් මහතා පැවැසීය.
තම පක්‍ෂය නැගෙනහිර පළාතේ "රජුන් තනන්නකු" බවට පත්ව සිටින බවත් තම පක්‍ෂයේ සහයෝගය නැතිව කිසිදු පක්‍ෂයකට නැගෙනහිර පරිපාලනයක් පිහිටුවීමට හැකියාවක් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.







