A+ R A-

2012ලෝක විනාශය වෙයිද? නොවෙයිද? වුණාට කමක් නැද්ද?

E-mail Print PDF

 

මේ දිනවල වැඩිපුරම සිදුවන සාකච්ඡා - සංවාද මොනවාදැයි විමසන විට අමතක කළ නොහැකි සංවාදය වන්නේ ලෝක විනාශය පිළිබඳ සංවාදය යි. ලතින් අමෙරිකාවේ පැරණි ශිෂ්ටාචාරයක් වන මායා ශිෂ්ටාචාරයේ නිර්මාණය වූ දින දර්ශනයක් ඇසුරින් 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට අනාවැකියක් ඇත. මේ දිනවල ඇතැම් පෞද්ගලික රූපවාහිනී නාලිකාවල ප‍්‍රධාන ප‍්‍රවෘත්ති විකාශයේ විනාඩි කිහිපයක් කා දමන ප‍්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ජ්‍යෝතිෂ පුවත්පත් කතුවරුන්ට දෙකට බෙදී විවාද කළ හැකි ප‍්‍රශ්නයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ගුවන් විදුලි නාලිකාවල රාත‍්‍රියට පැයේ වැඩසටහන් විකාශය කිරීමට අවශ්‍ය තේමාවක් බවට ලෝක විනාශය පත්ව ඇත. ඇතැම් අයට කුඩා පොත් ලිවීමට හා ඒවා අලෙවි කර විශාල මුදලක් උපයා ගැනීමට හැකි ආදායම් මාර්ගයක් බවට ලෝක විනාශය පත්ව ඇත. ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන් තුන් ආකාර වේ. වෙනත් වචනවලින් කියන්නේ නම් තුන් ආකාරයක පුද්ගලයන් ඇත.

1. ලෝක විනාශය සිදුවේ යැයි සිතන අය.

2. ලෝක විනාශය සිදු නොවන්නේ යැයි තර්ක කරන අය.

3. එය සිදු වූවත් නොවූවත් එවැන්නක් සිදුවේවා යැයි ප‍්‍රාර්ථනා කරන අය.

අපි ඒ විවිධ මත සඳහා ඒ පිටුපස සැඟවී තිබෙන සමාජ විද්‍යාත්මක හේතු අධ්‍යයනයකට පිවිසෙමු. ඒ සඳහා පළමු පියවර වන්නේ 2012දෙසැම්බර් 21වැනිදා ලෝක විනාශය සිදුවන බවට මතුකරන තර්ක වටහා ගැනීමයි.

මායා ශිෂ්ටාචාරය

ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟීම සඳහා භාවිත කරන්නේ මායා ශිෂ්ටාචාරය බැවින් පළමුව ඒ පිළිබඳ සාකච්ඡා කළ යුතුය. මායා ශිෂ්ටාචාරය දකුණු අමෙරිකාව හා මධ්‍යම අමෙරිකාව තුළ ස්ථාපිත වූවකි. වර්තමානයෙහි මෙක්සිකෝව, හොන්ඩියුරාස්, එල් සැල්වදෝර්, ගෝතමාලාව ලෙස නම් කර ඇති රටවලට අයත් භූමියෙහි එය පිහිටුවා තිබිණි. මෙම ශිෂ්ටාචාරය අවම වශයෙන් ක‍්‍රිස්තු පූර්ව 2000දීවත් පිහිටුවීමට ඇතැයි විශ්වාස කරන අතර ක‍්‍රිස්තු පූර්ව 400දී පමණ මායාවරු දැවැන්ත දේවස්ථාන, පඩිපෙල් වැනි ව්‍යුහයන් සහිත විශාල පිරමීඩ ආදී විශිෂ්ට ඉදිකිරීම් සිදුකරන තත්වයට වර්ධනය විය. ක‍්‍රිස්තු වර්ෂ 250සිට 900දක්වා කාලය මායාවරුන්ගේ ස්වර්ණමය යුගය වූ අතර එම කාලය තුළ නිෂ්පාදනයේ, විද්‍යාවේ, කලාවේ සැලකිය යුතු වර්ධනයක් ඇති විය. ක‍්‍රිස්තු වර්ෂ 900දී පමණ රෝග වසංගත, වගා පාළුව ආදිය නිසා මායාවරුන්ගේ නාගරික ශිෂ්ටාචාරය විනාශ විය. ඉන් අනතුරුව ඔවුන් කඳුකර ප‍්‍රදේශවලට සංක‍්‍රමණය විය. ක‍්‍රිස්තු වර්ෂ 1250දී පමණ මායා ශිෂ්ටාචාරයේ තාවකාලික පිබිදීමක් යළි ඇති වූවත් ක‍්‍රිස්තු වර්ෂ 1440දී වෙනත් ගෝත‍්‍රවලින් එල්ල වූ යුදමය තර්ජන නිසා එම පිබිදීම යටපත් විය. ක‍්‍රිස්තු වර්ෂ 1517දී ස්පාඤ්ඤවරුන් ලතින් අමෙරිකාවට හා මධ්‍යම අමෙරිකාවට පැමිණ එම ප‍්‍රදේශ යටත් කිරීමත් සමග මායා ශිෂ්ටාචාරය බිඳවැටී කඳුකරයේ හුදෙකලා ගෝත‍්‍රික ගම්මානවලට සීමාවිය. මායාවරුන් ලත් දියුණුව නිසා ඔවුන්ගේ සංස්කෘතිය, ඔවුන්ගේ කලා නිර්මාණ පිළිබඳව මෙන්ම ඔවුන්ගේ තිබුණා යැයි පවසන අද්භූත බලයන් හා අනාවැකි පිළිබඳව ද සාකච්ඡාවක් පවතී.

මායාවරුන්ගේ දින දර්ශන

මායාවරුන්ගේ දින දර්ශන වර්ග තුනක් ඇත. පළමුවැන්න දින 360කින් සමන්විත අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනයට සමාන දින දර්ශනයකි. එහි දින 20බැගින් වූ මාස 18ක් ඇත. දෙවැන්න දින 13ක් බැගින් වූ මාස 20ක් සහිත දින දර්ශනයකි. එහි වර්ෂය දින 260කි. එම දෙවැනි දින දර්ශනය බොහෝ විට මායාවරුන්ගේ ආගමික උත්සව හා වතාවත් වෙනුවෙන් භාවිත විය. 2012ලෝක විනාශය පිළිබඳ මායාව ගොඩනැඟී ඇත්තේ මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය ඇසුරිනි. එය දිගුකාලීන දින දර්ශනයකි. එම දින දර්ශනය ඇරඹෙන්නේ ක‍්‍රිස්තු පූර්ව 3114අගෝස්තු 01වැනිදායින් වන අතර අවසන් වන්නේ ක‍්‍රිස්තු වර්ෂ 2012දෙසැම්බර් 21වැනිදාය. මෙම දින දර්ශනය බක්ටුන් නමැති කාල ඒකක 13කින් යුක්තය. බක්ටුන් එකක් යනු වසර 394කි. බක්ටුන් 13ක් එක් යුගයක් ලෙස සැලකේ. මායාවරුන්ගේ කාලයේ මිනුම් මේ ආකාරය වේ.

දින 20 = යුනාල් 1

යුනාල් 18 = ටූන් 1 (දින 360)

ටූන් 20 = කාටුන් 1 (දින 7200)

කාටුන් 20 = බක්ටුන් 1 (දින 1,44,000=වසර 394)

බක්ටුන් 13 = එක් යුගයක් (වසර 5125)

මායාවරුන්ගේ තුන්වැනි දින දර්ශනය සකස් කර ඇත්තේ එක් යුගයක් සඳහාය. එහි අවසන් දිනය වන්නේ 2012දෙසැම්බර් 21වැනිදාය. එතැනින් පසු දින දර්ශනයේ දින නැත. එදින ලෝක විනාශය සිදුවන බවට මතයක් නිර්මාණය වන්නේ එම හේතුව මතය. 2012දෙසැම්බර් 21වැනිදා ලෝකය විනාශ වන බවට කරුණු ඉදිරිපත් වන්නේ මායාවරුන්ගේ දින දර්ශනය මත පදනම්ව පමණක් නොවේ.

නොත‍්‍රදාමුස්ගේ අනාවැකි

ප‍්‍රංශ ජාතික අනාවැකි කියන්නකු වූ මිචෙල් ඞී. නොත‍්‍රදාමුස් ද 2012ලෝක විනාශය පිළිබඳ අනාවැකියක් පවසා ඇතැයි සැලකේ.  ක‍්‍රිස්තු වර්ෂ 1503දෙසැම්බර් 14වැනිදා උපත ලද ඔහු 1554වසරේ සිට අනාවැකි කීම ඇරඹුවේය. ක‍්‍රිස්තු වර්ෂ 1554සිට 3797දක්වා කාලයට අදාළ අනාවැකි 3000ක් පමණ පවසා ඇති නොත‍්‍රදාමුස් ඊජිප්තු ගුප්ත විද්‍යා දැනුම පිළිබඳ උනන්දු වූවෙකි. සුමේනියානු ශිෂ්ටාචාරයේ විශ්වාසයක් වන නිබුරු නම් ග‍්‍රහලෝකය පෘථිවියේ ගැටෙන බවට නොත‍්‍රදාමුස්ගේ අනාවැකියක් ඇත. ඔහු එය සිදුවන කාලයක් දක්වා නැතත් ඇතැම් අය 2012ලෝක විනාශය පිළිබඳ කතාබහට ඔහු සම්බන්ධ කරයි.

පෘථිවි ධ‍්‍රැව මාරුව

2012ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වන තවත් සාක්ෂියක් ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු ජාතික අධ්‍යාත්මවේදියකු වන එඞ්ගා කේසි විසිනි. ඔහුට අනුව පෘථිවියේ චුම්භකත්වයට අදාළ උත්තර ධ‍්‍රැවය හා දක්ෂිණ ධ‍්‍රැවය කාලයෙන් කාලයට වෙනස් වේ. එසේ ධ‍්‍රැව දෙක මාරුවන විට (Polar shift)පෘථිවියේ භ‍්‍රමණ වේගය වැඩි වේ. එවිට පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක හා ගැටෙන අතර භූමිකම්පා හා ගිනි කඳු පිපිරීම් හරහා මානව වර්ගයා විනාශ වේ. එය ක‍්‍රිස්තු වර්ෂ 2012දී සිදුවන බවට එඞ්ගා කේසි අනාවැකි කියා ඇත.

මෙසේ පෘථිවියේ අභ්‍යන්තර භූතල එකිනෙක ගැටීම පිළිබඳ තවත් මතයක් ඇත. ඒ කළු කුහරය පිළිබඳ මතයයි. ඇතැම් තාරකා විද්‍යාඥයන්ට අනුව 2012දෙසැම්බර් 21වැනිදා ක්ෂීරපථයේ කේන්ද්‍රයත් සූර්යයාත් පෘථිවියත් එකම තලයක සරල රේඛාවක් ලෙස පිහිටයි. එම විද්‍යාඥයන් පවසන්නේ එම සරල රේඛීය පිහිටීමටම එදින කළු කුහරයක් පැමිණෙන අතර එහි දැවැන්ත ගුරුත්ව බලය නිසා පෘථිවියේ භූතල එකිනෙක ගැටී, වෙන් වී ගිනි කඳු හා භූමිකම්පා මගින් පෘථිවිය විනාශ වන බවයි. මීට ස්වල්ප කාලයකට පෙර තිරගත වූ 2012චිත‍්‍රපටයේ තේමාව වූයේ ද එලෙස සිදුවන ලෝක විනාශයකි.

තාරකාවල බලපෑම

තාරකා විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ මත අතරින් එක් මතයකින් කියැවෙන්නේ ‘ඇල්සියොන්’ Alcyone නම් තාරකාවක් 2012 දී අපගේ සෞරග‍්‍රහ මණ්ඩලයට සමීපවන අතර එම තරුවේ අන්තර් ක‍්‍රියාවත් සමග පෘථිවිය වටා ෆෝටෝන පටියක් ඇතිවන බවය. එම ෆෝටෝන පටියේ බලපෑම හේතුවෙන් පෘථිවි තලයේ ඇතිවන වෙනස්කම් ලෝක විනාශයට හේතුවන බව එම මතයෙන් කියැවේ. අනෙක් මතය ද තාරකාවක් සමග සම්බන්ධය. ‘බීටල් ගෝස්’ Betel geuse නම් තාරකාව මේ වන විට සිය ආයු කාලය අවසන් වී නිවී යමින් හා හැකිළී යමින් පවතින අතර එය ළඟදීම සුපර් නෝවාවක් ලෙස පිපිරී යාමට නියමිතය. එම තාරකාව 2012 වර්ෂයේ දී පුපුරා යන බවත් එමගින් ඇතිවන කම්පන තරංග මගින් මුළු පෘථිවියම විනාශවන බවත් තවත් මතයකින් කියැවේ. මෙම මතයන් තාරකා විද්‍යාඥයන් විසින් ද තහවුරු කරන ලද ස්වාභාවික සංසිද්ධීන් සමග බැඳී පවතී. ලෝක විනාශය පිළිබඳ තවත් ජනප‍්‍රිය මතයකින් කියැවෙන්නේ 2012 වසරේදී පිටසක්වල ජීවීන්ගේ ආක‍්‍රමණයක් පෘථිවියට එල්ලවන බවය. 2010 දෙසැම්බර් මාසයේ දී, එසේ පෘථිවිය කරා පැමිණෙන පිටසක්වල යානා තුනක ඡායාරූපයක් ද ප‍්‍රදර්ශනය කෙරුණු අතර එය අභ්‍යවකාශ යානයක කැමරාවකින් ගන්නා ලද ඡායාරූපයක් බව කියැවිණි. මේ ආකාරයට 2012 දී ලෝක විනාශය සිදුවන බවට විවිධාකාර මත පළ වී ඇති අතර මෑතකදී ප‍්‍රදර්ශනය කරන ලද Battle Los Angelies චිත‍්‍රපටයට පාදක වූයේ පිටසක්වල ආක‍්‍රමණයක් හරහා මනුෂ්‍ය වර්ගයාට සිදුවන විනාශයයි.

ආගමික මත හා ලෝක විනාශය

2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මතවල විශේෂත්වය වනුයේ ඒවා ලොව ප‍්‍රධානතම ආගම්වල ලෝක විනාශය පිළිබඳව ඇති මතවාදයන්ට පටහැනි වීමයි. එය යන්තමින් හෝ සමාන වන්නේ හින්දු ආගමේ ඇති මතයට ය. හින්දු විශ්වාසයට අනුව එක් කල්පයක්, එනම් ලෝකය ආරම්භයේ සිට අවසානය දක්වා ඇති කාලසීමාවක්, එකක් වසර 6,000 බැගින් වූ යුග හතරකින් සමන්විතය. ඒ කෘත යුග, නේත‍්‍රා යුග, ද්වාපර යුග හා කලියුග වශයෙනි.

1998 දී ඉන්දියාවේ සිටි කල්කි භග්වාන් නමැති හින්දු ආගමික නායකයා 2012 වසරේදී කලියුගය අවසන් වන බව ප‍්‍රකාශ කළේය. හින්දු ආගමට අනුව දෙවියන් බ‍්‍රහ්ම (ලෝකය මවන්නා), විෂ්ණු (ලෝකය පවත්වාගෙන යන්නා) හා ඊශ්වර (ලෝකය විනාශ කරන්නා) ලෙස තුන් ආකාරය. එම විශ්වාසයට අනුව ලෝකය අවසානයේ දී ඊශ්වර දෙවියන් පැමිණ නෙළුම් මලක් උඩ නටරාජ් නර්තනයේ යෙදෙන අතර නර්තනය අවසන් වත්ම ලෝකය අවසන් වේ. නමුත් 2012 ලෝක විනාශයක් සිදුවීම පිළිබඳ හින්දු ආගමික විශ්වාසයන් නොමැති බව ද ඇතැම් හින්දු දහම පිළිබඳ විශාරදයෝ පවසති.

කිතු දහමේ ‘හෙළිදරව්ව’ තුළ යේසුස් ක‍්‍රිස්තුන් වහන්සේගේ නැවත පැමිණීමක් හා අවසාන විනිශ්චය ලබාදීමෙන් අනතුරුව ලෝකය විනාශ වීමක් පිළිබඳ සඳහන් වන නමුත් එහි පෙර ලකුණු මොනවාදැයි පැහැදිලි විස්තර අඩංගුව නැත. බුදු දහමේ මනුෂ්‍ය වර්ගයාගේ අවසානය සිදුවන ආකාරය පිළිබඳ මත කිහිපයක් ඇත. දීඝ නිකායේ චක‍්‍රවර්ති සීහනාද සූත‍්‍රයට අනුව මිනිසුන්ගේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙමින් ගොස් අවසානයේ දී මිනිස් වර්ගයා සම්පූර්ණයෙන්ම වඳ වී යයි. අංගුත්තර නිකායේ සප්ත සූර්ය උද්ගමන සූත‍්‍රයට අනුව ලෝක විනාශය සිදුවන්නේ සූර්යයන් හතක් පෑයීමෙන් ඇතිවන දැවැන්ත උෂ්ණත්වය නිසාය. එම සූත‍්‍රයට අනුව දීර්ඝ කාලයක් ගතවීමෙන් අනතුරුව දෙවැනි සූර්යයෙක් පායන අතර එවිට දියර වර්ග, තෘණ ආදිය වියළී යයි. ඉන් අනතුරුව දීර්ඝ කාලයකින් තුන්වැනි සූර්යයකු පායන අතර එවිට කුඩා විල්, නදී ආදිය වියළී යයි. සිව්වන සූර්යයා පෑවූ පසු ගංගා, යමුනා ආදී ගංගාවන් වියළෙන අතර පස්වැනි සූර්යයා පෑයූ පසු මහා නදී ද වියළී යයි. හයවැනි සූර්යයා පෑයූ විට මහා සමුද්‍රය ද වියළී යන අතර සත්වැනි සූර්යයා පෑයීමත් සමග මහ පොළොව ගිනිගෙන දැවෙන්නට පටන් ගනී. එවිට සියලූ ජීවීන් විනාශ වී මහ පොළොව විනාශ වේ. ලොව පවතින ප‍්‍රධාන ආගම්වල ලෝක විනාශයට අදාළව තිබෙන්නේ එවැනි මතයකි. නමුත් මේ එක් ආකාරයක විනාශයක්වත් 2012 වසරේ දී සිදුවෙතැයි සිතීම අසීරුය. ඒ නිසා 2012 ලෝක විනාශයට අදාළව ඉදිරිපත් වී ඇති මත ආගමික මතයන්ට වඩා වෙනස් ඒවාය. නමුත් ඇතැම් විට 2012 ලෝක විනාශය පිළිබඳ මතය පිළිගැනීමට මේ ආගමික මත විසින් අවිඥානයට කර ඇති බලපෑම් බොහෝ අයට හේතු සැපයීමට ඉඟි ඇත.

මායාව මායාවරුන්ගේද?

2012 ලෝක විනාශයට අදාළ ප‍්‍රධාන තර්කය මතු වී ඇත්තේ මායාවරුන්ගේ දින දර්ශනය ඇසුරින් වුවත් එම මතය මායාවරුන් පිළි නොගනී. ලතින් අමෙරිකානු ජන ප‍්‍රජාවන් පිළිබඳ විශේෂඥයකු වන ජෝස් හුඩුම් නමැති සමාජ විද්‍යාඥයා මායා ගෝත‍්‍රවල වත්මන් පරම්පරාවන් මුණගැසී 2012 දෙසැම්බර් 21 දින සිදුවන ලෝක විනාශය ගැන අසන විට ඔවුන් ඒ පිළිබඳව අසා හෝ නොතිබිණි. ඔවුන් පවසා ඇත්තේ ඔවුන්ගේ දින දර්ශනය බක්ටුන් 13කින් සමන්විත වන මුත් එය අවසානයේ දී ලෝකය විනාශ නොවන බවය. එහෙත් එය නව යුගයක ආරම්භයකි. එය අප වර්තමානයේ භාවිත කරන දින දර්ශනය දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන නමුදු ඉන් අනතුරුව ලෝක විනාශය සිදුනොවන්නාක් මෙනි. එය එක් වර්ෂයක අවසානය පමණි. ඒ ආකාරයටම බක්ටුන් 13ක එක් යුගයක් 2012 දෙසැම්බර් 21 දින අවසන් වන නමුදු එම දිනයෙන් පසු නව යුගයක් ආරම්භ වේ. මායාවරුන්ගේ දින දර්ශනය භාවිත කර සකස් කරන ලද 2012 ලෝක විනාශය පිළිබඳ මතය මායාවරුන් විසින් පිළි නොගැනීම උත්ප‍්‍රාසවත් කාරණාවකි.

අනෙක් අතට 2012 දී ලෝකය විනාශ නොවන බවට හේතු මායාවරුන්ගේ විශ්වාසයන් තුළින්ම සොයාගත හැක. නිදසුනක් ලෙස මායාවරුන්ගේ පැලෙන්ක් දෙවොලේ බටහිර පුවරුවේ ක‍්‍රිස්තු වර්ෂ 4772 ඔක්තෝබර් 21 වැනි දින සිදුවන දෙයක් පිළිබඳ අනාවැකියක් ඇත. එනම් ක‍්‍රිස්තු වර්ෂ 4772 වන විටත් මානව වර්ගයා මිහිපිට පැවතිය යුතුය. 2012 දෙසැම්බර් 21 දිනය පිළිබඳ මායාවරුන්ගේ ඇත්තේ එක් අනාවැකියක් පමණි. මෙක්සිකෝවේ ටෝටුගෙරෝ පෙදෙසෙහි ඇති ක‍්‍රිස්තු වර්ෂ 7 වැනි සියවසට අයත් පුවරුවක කොටා ඇති කවියක එදින, එනම් 13 වැනි බක්ටුනය සම්පූර්ණ වන දින විශේෂ යමක් දර්ශනය වනු ඇත. මායාවරුන්ට අනුව එදින bolon yokte හෙවත් දෙවියන් ලෝකයට දර්ශනය වනු ඇත. මේ අනුව පෙනී යන්නේ 2012 ලෝක විනාශයක් ගැන මායාවරුන් අනාවැකි කියා ඇතැයි දියත් කර ඇති ප‍්‍රචාරය අසත්‍යයක් බවය.

 

විද්‍යාවේ මිථ්‍යාවන්

මේ අනාවැකි අතර අප පළමුව දැක්වූ අනාවැකිය මීට සියවස් පහකට පෙර නොත‍්‍රදාමුස් විසින් ද ඉදිරිපත් කර ඇතැම් වර්තමාන විද්‍යාඥයන් විසින් ද අනුමාන කරන අනාවැකියක්. ඒ නිබුරු නමැති ග‍්‍රහලෝකයක් (මේ නම සුමේරියානු ශිෂ්ටාචාරයේ අනාවැකියක සඳහන් වූවකි) පෘථිවියේ ගැටීමෙන් ලෝක විනාශය සිදුවන බවයි. මේ වසරේ දෙසැම්බර් 21 වැනි දා පෘථිවියේ ගැටීමට නම් එම ග‍්‍රහලෝකය මේ වන විට අපේ සෞරග‍්‍රහ මණ්ඩලයට ඇතුළු වී පෘථිවියට ඉතා සමීපව තිබිය යුතුය. නමුත් තාරකා විද්‍යාඥයන් පවසන ලෙස මේ වන විට කිසිදු ආගන්තුක ග‍්‍රහ වස්තුවක් පෘථිවිය සමීපයට පැමිණ නැත. දෙසැම්බර් මාසයේ පෘථිවියේ ගැටෙන තරම් ළංවන ආකාශ වස්තුවක් අගෝස්තු මාසය වන විට ස්ථීරවම රාත‍්‍රී අහසේ පියවි ඇසින් දැකිය හැකි විය යුතුය. පෘථිවියම විනාශ වීමට නම් කුඩා ග‍්‍රහක කැබැල්ලක් පෘථිවියේ ගැටීම ප‍්‍රමාණවත් නොවන අතර විශාල ග‍්‍රහලෝකයක් ගැටිය යුතු අතර එවැන්නක් තිබේ නම් මේ වන විට දර්ශනය විය යුතුය. එබැවින් ග‍්‍රහලෝක ගැටීමේ කල්පිතය මිථ්‍යාවක් බව පැහැදිලිය.

අනෙක් අනාවැකිය එඞ්ගා කේසි විසින් ද දැක්වූ අනාවැකියකි. ඒ පෘථිවි චුම්බකත්වයේ උතුර හා දකුණ මාරුවීම පිළිබඳ මතයයි. මේ මතය මුළුමනින්ම අසත්‍යයක් බව භූ විද්‍යාඥයන් පවසයි. සාමාන්‍යයෙන් වසර 7000කට පමණ වරක් මේ චුම්බක ධ‍්‍රැව මාරුව සිදුවන අතර මීට පෙර එම සංසිද්ධිය සිදුවූ කිසිදු වතාවක මහා විනාශයක් සිදුව නැත. අනෙක් අතට එය 2012 දෙසැම්බර් 21 වැනි යම් නිශ්චිත දිනයක සිදුවන සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් තිස්සේ ක‍්‍රමානුකූලව සිදුවන ක‍්‍රියාවලියකි. මෑතකදී එවැන්නක් සිදුවන බවට කිසිදු සාක්ෂියක් දැක්විය නොහැකි බව භූ විද්‍යාඥයෝ පවසති.

පෘථිවි භූ තල ගැටීම පිළිබඳ අනෙක් මතය සූර්යයාත් පෘථිවියත් ක්ෂීරපථයේ කේන්ද්‍රයත් එකම තලයකට පැමිණීම පිළිබඳ මතයයි. එම පිහිටීම අප දන්නා ඉතිහාසයේ මීට පෙර කිහිප වතාවක්ම ඇතිවී තිබෙන අතර ඒ කිසිදු අවස්ථාවක විනාශයක් සිදුවූයේ නැත. අනෙක් අතට එම තලය තුළට කළු කුහරයක් පැමිණ පෘථිවිය කළු කුහරයට ඇදී යන බවට කිසිදු සාක්ෂියක් දක්නට නැත. එවැනි කළු කුහරයක් පෘථිවියට බලපෑම් කළ හැකි පිහිටීමකට එනවා නම් මේ වන විට පෘථිවියේ ගමන් මාර්ග හෝ භ‍්‍රමණ වේගය සුළු වශයෙන් හෝ වෙනස් විය යුතුය. එවැනි කිසිවක් සිදුවී නැත.

ලෝක විනාශය පිළිබඳව තාරකා විද්‍යාඥයන් දැක්වූ ප‍්‍රබල මතයක් වනුයේ ඇල්සියොන් නමැති තාරකාවක බලපෑමෙන් පෘථිවියේ චලිතය වෙනස් කරන අන්දමේ ෆෝටෝන පටියක් ඇති වන බවට වන මතයයි. මෙය කිසිසේත්ම පිළිගත නොහැකි බව තාරකා විද්‍යාඥයන්ම පවසයි. ඇල්සියොන් Alcyone තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 400ක් දුරිනි. එමෙන්ම එය චලිතවන්නේ ක‍්‍රමයෙන් පෘථිවියට ළංවන ලෙස නොව සෞරග‍්‍රහමණ්ඩලයෙන් ඈතට යමිනි. 2012 දෙසැම්බර් 21 වන විට එම තාරකාව පිහිටන්නේ මේ මොහොතේ එය පිහිටනවාටත් වඩා දුරිනි. අනෙක් අතට අලෝක වර්ෂ 400ක් දුරින් පිහිටි තාරකාවකට පෘථිවියට බලපෑමක් කළ නොහැක. බීටල් ගෝස් (Betelgeuse) නම් තාරකාව සුපර් නෝවාවක් ලෙස පුපුරායාම පිළිබඳ අදහස ද එසේමය. එම තාරකාව දැන් සිටින්නේ සිය අවසානතම අවධියේය. එනිසා කුමන මොහොතක හෝ පුපුරා යා හැක. නමුත් එසේ පුපුරා යන දිනය නිවැරැදිව පැවැසීම ඉතා අසීරු කරුණකි. වසර ලක්ෂයක් තුළ  ඕනෑම මොහොතක එය පුපුරා යා හැක. අනෙක් අතට සුපර් නෝවා පිපිරීමකින් පෘථිවියට යම් බලපෑමක් වීමට නම් එය ආලෝක වර්ෂ 25ක්වත් මෑතින් පිහිටිය යුතුය. නමුත් බීටල් ගෝස් තාරකාව පිහිටා ඇත්තේ පෘථිවියට ආලෝක වර්ෂ 600ක් දුරිනි. එය පුපුරා ගිය ද ඒ පිපිරීම පෘථිවියට බලපෑමක් කිරීමට ඉඩක් නැත.

පිටසක්වල ජීවීන්ගේ ආක‍්‍රමණයක් ගැන කියැවෙන මතයද එවැනිම මිථ්‍යාවකි. පසුගිය වසරේ ප‍්‍රසිද්ධ කළ පිටසක්වල යානාවල ඡායාරූප ව්‍යාජ ඒවා බව දැන් තහවුරු වී ඇත. එය Battle Los Angelesචිත‍්‍රපටයේ ප‍්‍රචාරක කටයුත්තක් බවට ද මතයක් ඇත. ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ සේයාවක් කැමරා ගත කිරීමට නම් එම යානා චන්ද්‍රයාටත් වඩා පෘථිවිය සමීපයට පැමිණිය යුතු බව විද්‍යාඥයන්ගේ මතයයි. වසරකට පෙර එම යානා එතරම් ළඟට පැමිණ සිටියා නම් ආක‍්‍රමණය සඳහා දෙසැම්බර් 21 වනතුරු බලා සිටීමට කිසිදු තර්කයක් නැත. ඒවා මේ වන විට පෘථිවියට ගොඩබස්වා තිබිය යුතුය. විද්‍යාත්මක වේශයෙන් ඉදිරිපත් කර ඇති අනාවැකිවල ද කිසිදු සත්‍යයක් නැති බව මේ අනුව ඉතා පැහැදිලිව පෙනේ.

හොලිවුඞ් මැජික්

2012 දෙසැම්බර් 21 ලෝක විනාශයක් සිදුවන බවට අනාවැකි ඔසවා ලනු ලැබුවේ අමෙරිකා එක්සත් ජනපදය විසිනි. ඒ සඳහා හොලිවුඞ් චිත‍්‍රපට ගණනාවක් නිර්මාණය කරනු ලැබූ අතර ඇතැම් අවස්ථාවල දී කීර්තිමත් විද්‍යාඥයන් ද මායාවරුන්ගේ ශිෂ්ටාචාරය පිළිබඳ විශේෂඥතාවක් උසුලන ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් ද භාවිත කරනු ලැබීය. මෙම අදහසට කිසිදු පදනමක් නැති බව ස්ථීරය. මායාවරුන්ගේ දින දර්ශනය වසර 5000ක් පැරණිය. එම දින දර්ශනය ආරම්භ වීමටත් පෙර ලෝකය පැවැතිණි. මිනිසුන්ද බිහි වී තිබිණි. නිදසුනක් ලෙස ලංකාවේ වාසය කළ බළංගොඩ මානවයා වසර 35,000ක් පැරණිය. මායා දින දර්ශනයට පෙර මිනිසුන් සිටියා නම් දින දර්ශනය අවසන් වන විට මානව වර්ගයා විනාශවේ යැයි සිතීම හිතළුවකි. එසේ නම් අධිරාජ්‍යවාදීන් මේ කිසිදු පදනමක් නැති කතාවක් එක්වරම ඔසවාලූයේ ඇයි?

මේ සඳහා හේතු කිහිපයක් තිබිය හැක. මේ කතා බහ පෙරට ආවේ 2008 ලෝක ආර්ථික අර්බුදයත් සමගය. ලෝක ආර්ථික අර්බුදය මගින් සලකුණු කළේ ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශයයි. ඇතැම් විට අධිරාජ්‍යවාදීන්ට හා හොලිවුඞ් හි රූකඩ සිනමාකරුවන්ට ධනවාදයේ විනාශය ලෝක විනාශයක් ලෙස හැඟී යන්නට ඇත. දිනෙන් දින ගැඹුරු වන අර්බුදය විසින් පෙන්වා දෙන්නේ විනාශ වන්නේ මානව වර්ගයා නොව ධනේශ්වර ක‍්‍රමය බවයි. ඒ නිසා හොලිවුඞ් සිනමාව මැජික් දර්ශන පෙන්වූවාට අපට කලබල වීමට හේතුවක් නැත. ආර්ථික අවපාතයත් සමග උග‍්‍ර වූ සමාජයීය ගැටලූ අමතක කිරීමටත් සමස්ත මිනිස් සංහතිය විනාශ වීම පිළිබඳ භීතියක් ඔස්සේ පීඩක පන්තිය විසින් පීඩිතයා යටපත් කිරීම අමතක කිරීමටත් ඔවුන් උත්සාහයක නිරත වේ. ආර්ථික අවපාතය හමුවේ ධනපති ආණ්ඩු බැංකු ඇතුළු මහා ප‍්‍රාග්ධන හිමියන්ට මහජන බදු මුදලින් වන්දි දීමත් පීඩිතයා නිවෙස්වලින් හා රැකියාවලින් එළියට ඇද දැමීමත් සාධාරණීකරණය කළ හැක්කේ මිනිස් සංහතියේම විනාශයක් ගැන කීමෙනි. ආර්ථික අර්බුදයේ හානි පූර්ණය කිරීමට අධිරාජ්‍යවාදී රටවල් විසින් පරිධියේ රටවල් වැඩි වැඩියෙන් සූරාකෑම වසන් කළ හැක්කේ ලෝක විනාශයක් ගැන  කීමෙනි. මේ හොලිවුඞ් මැජික් සංදර්ශන හරයේ පවතින්නේ එයයි. මෙසේ විවිධ ඇස්බැන්දුම්වලින් අපේ දැක්ම බොඳකර සැබෑ ප‍්‍රශ්නය අමතක කරන අතරම අපේ සාක්කුව හිස් කිරීමට ද ලෝක විනාශ මායාව යොදාගෙන ඇත. 2012 චිත‍්‍රපටයේ ආදායම ඩොලර් මිලියන 770කි. එය රුපියල් කෝටි 8,000කටත් වැඩිය. ඒ මුදල් යන්නේ ද අපේම සාක්කුවෙනි.

ප‍්‍රශ්නය වන්නේ ලෝකයේම ජනතාව අතින් වියදම් කරගෙන, ව්‍යාජ මායාවක කැමැත්තෙන්ම පැටලෙන්නේ මන්ද යන්නය. එය විග‍්‍රහ කරගැනීමට මනෝවිද්‍යාව, සමාජවිද්‍යාව මෙන්ම දේශපාලනය ද අවශ්‍ය වේ. මෙතැන් සිට අපි පිවිසෙන්නේ ඒ අධ්‍යයනයටයි.

 

ලෝකය විනාශවීම හා ජීවිතය අලූතින් ඇරැඹීම

2012 ලෝක විනාශය පිළිබඳව හොලිවුඞ් චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ ද මාධ්‍යවේදීන්ගේ ද අධිරාජ්‍යවාදී න්‍යායාචාර්යවරුන්ගේ ද අවධානය යොමුවීමට හේතු ගණනාවක් ඇත. ඇතැමුන් ලෝක විනාශය පෙන්වා ඒ හරහා අපේ මුදල් පසුම්බිය හිස්කර, තමන්ගේ පසුම්බිය තර කර ගැනීමට සැරසෙයි. තවත් අය සැලැසුම්සහගතව මේ වන විට මතු වී ඇති අර්බුදය අමතක කරලීමටත් ඒ හරහා පැන නැෙඟන විරෝධයන් යටපත් කිරීමටත් ලෝක විනාශය ගැන කතා මවති. තවත් ඇතැම් අය ධනවාදයේත් අධිරාජ්‍යවාදයේත් විනාශය මුළු ලෝකයේම විනාශය ලෙස උපකල්පනය කර ලෝකය ළඟදීම විනාශ වනු ඇතැයි සිහින මවති. ප‍්‍රශ්නය වන්නේ මේ මනෝවිකාර නිර්මාණය කරන්නන් එසේ කිරීමට හේතු මොනවාද යන්න නොවේ. ලොව පුරා ලක්ෂ ගණනක් මිනිසුන් මේ මනෝ විකාර විශ්වාස කිරීමට හේතු මොනවාද යන්නයි.

විශ්වය අලූතින් බිහිවේවා!

ධනවාදය මිනිස් ජීවිතයට බොහෝ දේ අහිමි කර ඇත. එම අහිමි කිරීම හරහා නිර්ධනයාගේ ජීවිතයේ බොහෝ පාර්ශ්වයන් අකර්මණ්‍ය කර ඇත. එක් පැත්තකින් පවතින අර්බුදය හමුවේ ජීවිතය පවත්වාගෙන යාමේ අත්‍යවශ්‍ය කොන්දේසි අහිමිකර ඇත. දිනෙන් දින උග‍්‍ර වන ජීවන වියදම හමුවේ ජීවත්වීම දිනෙන් දින අසීරු වන අතර පරිභෝජනය ද ඊට සමානුපාතිකව සීමා වෙමින් තිබේ. පසුගිය රිබෙල් අතිරේකයේ කුකුළු මස් කෑමට නොහැකි ජනතාවට කුකුළු මස් සුවඳින් හිත රවටාගෙන පරිප්පු සමග බත් කෑමට යෝජනා කරන වෙළෙඳ දැන්වීමක් ගැන සඳහන් කර තිබිණි. මේ ක‍්‍රමය තුළ නිර්ධනයාව පත්කර ඇත්තේ කෑම නැතිව, සුවඳින්  කුස පුරවා ගන්නා පේ‍්‍රතයන්ගේ තත්වයටය. මෑතකදී පුවත්පතක පළවූ විහිළු කතාවක ද නිර්ධනයාගේ මේ ඉරණම ගැන සඳහනක් අඩංගුය. පියකු හා පුතකු මස් මිලදී ගැනීමට මස් කඩයට යයි. මස් මිලදී ගැනීමට මුදල් නැති පියා ‘‘ගෙදර බල්ලට දෙන්න කටු කිලෝ එකක් දෙන්න’’ යැයි පවසයි. එවිට පුතා ‘‘තාත්තේ අපි අද ගෙදර යනකොට බල්ලෙකුත් ගෙනියනවද?’’ කියා විමසයි. එම විහිළු කතාව වුවත් පවසන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන බර ඉදිරියේ ආහාර සඳහා ඇති මූලික අයිතිය ද උල්ලංඝනය වී ඇති ආකාරයයි.

උල්ලංඝනය වී ඇත්තේ ආහාර සඳහා ඇති අයිතිය පමණක් නොවේ. අධ්‍යාපනය සඳහා ඇති අයිතිය ද සෞඛ්‍ය පහසුකම් සඳහා ඇති අයිතිය ද ස්වාධීන හා ගෞරවනීය ජීවිතයක් සඳහා ඇති අයිතිය ද උල්ලංඝනය වෙමින් තිබේ. ලොව පුරා සිටින නිර්ධනයන්ට විවිධ අනුපාතයන්ගෙන් යුතුව අහිමි වී ඇති අයිතීන් පිළිබඳ නිදසුනක් ලෙස ලංකාවේ නිර්ධනයා පෙන්විය හැක. දැන් වසර 15ක් තිස්සේ අඛණ්ඩව දින 5කට එක් පාසල බැගින් වැසී යන අතර වැසී ඇති මුළු පාසල් ගණන දහසකට අධිකය. එසේ පාසල් වැසීම හරහා අධ්‍යාපනයේ අයිතිය අහිමි වීමට අමතරව අධ්‍යාපන ප‍්‍රතිපාදන කප්පාදුව විසින් එය තව තවත් අහිමි කරවනු ලැබේ. මේ වසරේ ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.8%කි. පසුගිය දිනවල පෙළ පොත්, විභාග ප‍්‍රශ්න පත‍්‍ර හා විභාග ප‍්‍රතිඵලවල මතුවූ ගැටලූ දෙස බැලීමෙන් අධ්‍යාපනය ප‍්‍රමාණාත්මකව පමණක් නොව, ගුණාත්මකව ද විනාශ වෙමින් තිබෙන ආකාරය වටහා ගත හැක. සෞඛ්‍ය සේවයේ තත්වය ද එසේය. රජයේ රෝහල්වල ඖෂධ හිඟය, කාර්යමණ්ඩල හිඟය, අත්‍යවශ්‍ය වෛi උපකරණ හිඟය හරහා රෝගීන්ට මරණය උරුම කර දෙන අතර ගහෙන් වැටුණු මිනිහාට ගොනා අනිනවාක් මෙන් බාල එන්නත්, කල් ඉකුත් වූ ඖෂධ ආදිය හරහා ද මරණය කඩිනම් කෙරේ. ඒ අතර සුදු වෑන් උවදුර ඇතුළු සංවිධානාත්මක මර්දනය ද ජීවිත උදුරා ගනිමින් තිබේ.

මෙම පීඩාව හමුවේ ලක්ෂ ගණනක් ජනතාව ලෝකයේ විනාශය ප‍්‍රාර්ථනා කිරීම ගැන අප පුදුම විය යුතු නැත. ජනප‍්‍රිය සිංහල ගීතයක මෙසේ කියවේ.

‘‘අසුරු සැණින් එක මොහොතකදී

කාලය නැවතී යළි ඇරඹී

විශ්වය අලූතෙන් බිහිවේවා....

ඔබේම වී මා - මගේම වී ඔබ

අපේම වී අප ඉපදේවා....’’

ක‍්‍රමයෙන් පීඩාවට පත්ව සිටින පෙම්වතුන් පමණක් නොව එම පීඩාවේ ගොදුරු බවට පත්ව සිටින සියල්ලන්ම ප‍්‍රාර්ථනා කරමින් සිටින්නේ ලෝකය විනාශ වී, යළි අලූතින් ඇරඹේවා කියාය. මිනිස් සබඳතා සහ මිනිස් ජීවිතය විනාශ කර හප කරන මේ ලෝකය වෙනුවට මනුෂ්‍යත්වය සුපුෂ්පිත වන ලෝකයක් අලූතෙන් ඇරඹේවා කියාය. 2012 ලෝක විනාශය පිළිබඳව පිළිගත හැකි කරුණු නැතිව පවා මහා උන්මාදයක් නිර්මාණය වීමට මෙම මනෝභාවය ද බලපා තිබේ. ලෝකය එක් මිනිසකු හෝ කුසගින්නේ තබයි නම් මම ඒ ලෝකය විනාශ කරමියි මහා දෙමළ කිවි භාරතියාර් පවසා තිබේ. මිනිසුන් මිලියන ගණනක් කුසගින්නේ තබන, දිනකට විසිපන්දහසකට කුසගින්නේ මියයාමට සලස්වන ලෝකයත් විනාශ වේවා යැයි ප‍්‍රාර්ථනා කිරීම හා සිහින මැවීම වටහා ගැනීම අපහසු නොවන්නේ එනිසාය.

ජීවිතය සෙවීම

ජීවිතයක් අහිමි මිනිසුන් ජීවිතය අර්ථදක්වා ගන්නේ මරණය තුළ යැයි විශිෂ්ට ගත් කතුවරයකු හා දාර්ශනිකයකු වන ෂෝන් පෝල් සාත්‍රෙ පවසා තිබේ. ලෝක විනාශය පිළිබඳ සමාජ විශ්වාසයන් දකින විට සාත්‍රෙ කෙතරම් නිවැරැදිදැයි වැටහේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදම විසින් ජීවත්වීම වඩ වඩාත් අසීරු වී තිබේ. නව ලිබරල්වාදය තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප‍්‍රවාහනය ආදී ක්ෂේත‍්‍ර තුළ තිබෙන සමාජ සුබසාධනයන් කප්පාදු කරන තත්වයක් තුළ මේ අසීරුතාව තව තවත් වර්ධනය වී තිබේ. එබැවින් ජීවත් වීම සඳහා වැඩි වැඩියෙන් වැඩ කළ යුතුය. මේ වන විට පැය අටේ වැඩ දිනය විහිළුවක් බවට පත්ව ඇත්තේ නිර්ධනයාට පැය 08ක් වැඩකර ලැබෙන වැටුපෙන් ලෙව කා හෝ ජීවත්විය නොහැකි නිසාය. ලෙව කා හෝ ජීවත්වීමට නම් අමතර ආදායම් ඉපයිය යුතුය. එක්කෝ අතිකාල සේවයේ යෙදිය යුතුය. නැතිනම් සුළු ව්‍යාපාරයක් හෝ උපකාරක පන්තියක් හෝ කොන්ත‍්‍රාත්තුවක් හෝ වෙත එළඹිය යුතුය. ඇතැම් අයට රැකියා දෙකක් කිරීමට ද සිදුවී තිබේ. මෙසේ දවසේ පැය 24න් නිදාගන්නා කාලය හැර අන් සමස්තයම දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පමණක් ගෙවූ විට අහිමි වන දේ බොහෝය.

අසීරුවෙන් ජීවිතය ගැටගසා ගැනීම සඳහා මුදල් සෙවීමට දවසේ පැය 10ක් හෝ 12ක් ගත කරන නිර්ධනයාට සේවයට යාම සඳහා මහමගදී ද තවත් පැය 2ක් හෝ 4ක් කා දැමීමට සිදුවේ. එවිට ඉතිරි වන්නේ යාන්තම්

නිදාගැනීමට, මුහුණ සේදීමට, දත් මැදීමට, රෙදි සේදීමට හා ආහාර ගැනීමට අවශ්‍ය කාලය පමණි. නිර්ධන පන්තියට මේ නිසාම විනෝදාස්වාදය අහිමි වේ. විවේකය අහිමි වේ. මිනිස් සබඳතා අහිමි වේ. සමාජ ක‍්‍රියාකාරකම් අහිමි වේ. කලාව - ක‍්‍රීඩාව - දර්ශනය ආදී මිනිස් සංස්කෘතික ධන නිධානයන් අහිමි වේ. එවිට ඉතිරි වන්නේ මිනිස් සමාජයේ ආරම්භක අවධිය වන ම්ලේච්ඡු අවධියේ වාසය කළ මිනිසුන් මෙන් ආහාර සෙවීම, ආහාර අනුභවය, සංසර්ගය හා නිදාගැනීම පමණක් කරන මිනිසුන් පිරිසකි. එය මනුෂ්‍ය ජීවිතය නොවේ. තිරිසන් ජීවිතයකි. මනුෂ්‍ය ජීවිතය තුළ භෞතික අවශ්‍යතා මෙන්ම සංස්කෘතික හා ආධ්‍යාත්මික අවශ්‍යතා ද සැපිරිය යුතුය. සාහිත්‍ය සංගීතාදී කලාවන්ගෙන් දුරස් වන්නන් තණ කොළ නොකන ගොනුන් යැයි පැරණි භාරතීය විචාරකයන් පවසා ඇත්තේ එහෙයිනි. එනිසා වත්මන් නිර්ධනයාට ද කි‍්‍රස්තු පූර්ව 5 වැනි සියවසේ සිටි ග‍්‍රීක දාර්ශනික එපික්ටේටස් නැඟූ මෙම ප‍්‍රශ්නය අභිමුඛ වී තිබේ.

‘‘කමින්, බොමින්, සංසර්ගය කරමින්, මලපහ කරමින් හා නින්දෙන් ගොරවමින් ගෙන යන මේ ජීවිතයටද ඔබ ජීවත්වෙනවා යැයි කියන්නේ?’’  (Epiktetes 'Discourse', Book II Chapter XX)

මෙසේ මනුෂ්‍ය ජීවිතය අහිමි වූවන්ට තමන්ට ජීවිතයක් ඇති බව නොදැනේ. ඔවුන් ජීවිතය අර්ථ දක්වා ගන්නේ සාත්‍රෙ කියූ ලෙසම මරණය තුළය. ඔවුන් තර්ක කරන්නේ මෙලෙසය. ‘‘අසුවල් දවසේ දී මම මිය යාමට නියමිතය. එනම් මම දැන් ජීවත් වේ.’’  ලෝක විනාශය ගැන විශ්වාසය එන්නේ ද මෙතැනින්ය. මිනිස් ජීවිතයට හිමි සමස්ත දායාදයන් අහිමිව, මනුෂ්‍ය හරය අහිමිව, මුළු දවසම කෑම සෙවීම හා දරුවන් හැදීම සඳහා වෙන් කිරීමට සිදුව ඇති මිනිසුන් මෙසේ සිතයි. ‘‘2012 දෙසැම්බර් 21 වැනිදා මම මිය යාමට නියමිතය. එයින් අදහස් වන්නේ මම දැන් ජීවත්වන බවයි.’’ තනි තනි මිනිසුන් එසේ හිතද්දි, වසර දෙකක් තුළ ළමා අපචාර 2500ක් සිදුවූ, මාස 6ක් තුළ කාන්තාවන්ට එරෙහිව ලිංගික අපරාධ දහසක් සිදුවූ, අති බහුතරයක් සමාජමය ක‍්‍රියාකාරීත්වයන්ගෙන් හා සාමූහිකත්වයෙන් ඉවත් වී හුදෙකලා කරණයට ලක්වූ, සමාජමය ලක්ෂණ අහිමි වූ ‘සමාජයක’ සිට ‘සමාජයම’ මෙසේ සිතයි. ‘2012 දෙසැම්බර් 21 වැනිදා මුළු මිනිස් සමාජයම විනාශ වේ. එනම් දැන් සමාජයක් පවතී.’ 2012 ලෝක විනාශය විශ්වාස කරන්නන් පෙම් බඳින්නේ විනාශයට නොව පැවැත්මටය. ඔවුන් පෙම් බඳින්නේ මරණයට නොව ජීවිතයටය. එහෙත් ඔවුන් පැවැත්ම අර්ථ දක්වා ගන්නේ විනාශය තුළය. ජීවිතය අර්ථ දක්වා ගන්නේ මරණය තුළය.

ලෝක විනාශය පිළිබඳව ඇති වන සංවාදය අප සමාජමය ලෙස මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයක දේශපාලන ප‍්‍රකාශනයකි. 14 වැනි සියවසේ ජීවත් වූ මහා දාර්ශනික රේනේ ඩෙකාර්ට්ස් ජීවිතය මෙසේ අර්ථ දැක්වූයේය. ‘මම සිතමි. එනිසා මම පවතිමි.’ (I think Therefore I am) දැන් අප මුහුණ දී ඇති ශිෂ්ටාචාර අර්බුදය කෙතෙක්දයත් අප දැන් හිතන්නේ ‘‘මම මිය යමි. එනිසා මම පවතිමි.’’ (I die. Therefore I am) යනුවෙනි. ලෝක විනාශය පිළිබඳ මේ මනෝ විකාරයන් තුරන් වන්නේ විද්‍යාත්මක තර්කවලින් නොවේ. එය තුරන් කළ හැක්කේ මරණය තුළ නොව ජීවිතය තුළ ජීවිතය දැකිය හැකි පැවැත්මක් මානව සමාජයට උරුමකර දී මෙනි. ඒ සඳහා විනාශ විය යුතු දෙයක් තිබේ. විනාශ විය යුත්තේ ලෝකය නොව නිර්ධනයාට මනුෂ්‍ය ජීවිතය අහිමි කළ සමාජ ක‍්‍රමයයි. එය විනාශ කළ යුතුය.

(සමාප්තයි)

 දිනිත් හෙට්ටිආරච්චි

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 23 දිනය සඳහා කාලගුණ අනාවැකිය

  මහජනයා සඳහා - දිවයිනේ නිරිතදිග කොටසේ වැසි සහිත කාලගුණයක් ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතී.   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්... Read more

Advertisment

advertisment