එක්සත් ජනතා නිදහස් සන්ධානයට නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුව පිහිටුවීමට අයිතියක් නැතැයිද, එම අයිතිය අත්තේ තමන් ඇතුළු විපක්ෂ කණ්ඩායමට යැයිද පසුගිය දින කිහිපයේ පැවසූ දෙමළ ජාතික සන්ධානය දැන් ආණ්ඩුවට සහාය පළ කිරීමට සූදානමින් සිටියි.
සන්ධානයේ නායකයින් නැගෙනහිර බලය පිහිටුවීමට තමන්ට සහාය දක්වන්නැයි මාධ්‍ය හමුවලදී කියා ඇතත් නිල වශයෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි. ආණ්ඩුවෙන් එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලීමට තමන් සූදානම් බවද ඔහු පවසයි.
ආරංචි මාර්ග අනාවරණය කරන අන්දමට දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය මෙලෙස වෙනස් වීමට හේතු වී ඇත්තේ ආණ්ඩුව තේරී පත් වූ දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයින් වෙන් වෙන්ව හමුවී ඔවුන්ට විවිධ වරදාන වරප‍්‍රසාද දී දිනා ගැනීමට දරන උත්සාහයයි. මේ වන විටත් එක් අයකු ආණ්ඩුවට සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වන අතර, පක්ෂයේ පිරිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානයට කැඞී යාම වැළැක්වීම සඳහා පක්ෂයක් ලෙස ආණ්ඩුව සමග සාකච්ඡා කිරීමට ඔවුන් තීරණය කර ඇති බව වාර්තා වේ.
මේ අතර නැගෙනහිර පළාත් සභාවට තේරී පත් වූ එම පක්ෂයේ මන්ත‍්‍රීවරුන් රැස් කර දෙමළ ජාතික සන්ධානයේ නායකයින් ඔවුන්ට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුවේ පොරොන්දුවලට නොරැවටෙන ලෙසයි.
හමුදා බුද්ධි අංශයේ යැයි සැක කරන පිරිසක් දෙමළ ජාතික සන්ධානයේ තේරී පත් වූ අපේක්ෂකයින්ගේ නිවෙස්වලට පැමිණ ඔවුන්ට මුදල් දී සන්ධානයට සහාය පළ කරන ලෙස දැනුම් දී ඇතැයි දෙමළ ජාතික සන්ධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කර ඇතැයිද වාර්තා වේ. එම පැමිණිල්ල මගින් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ ජීවිත තර්ජනයක් ඇති බැවින් ආරක්ෂව සලසන ලෙසයි.






