යුද්ධයේ අවසන් මෙහෙයුම් පැවැති පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශය ආශි‍්‍රත ගම්මානවල මිනිස් ඇටසැකිලි හා පිලිස්සී ගිය මළසිරුරු කොටස් හමුවීමට පටන් ගෙන ඇත.
දෙමළ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළිවෙළට අනුව පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයේ ආනන්දපුරම් ග‍්‍රාමය බලා ගිය දෙමළ ජනතාවට මෙලෙස ඇටසැකිලි හමුවී තිබේ. ආනන්දපුරම් දෙමළ විද්‍යාලයේ ගොඩනැඟිලි අතර හා සුන්බුන් වූ ගොඩනැඟිලි තුළ මෙලෙස ගොඩගැසූ ඇටසැකිලි හමුවී තිබේ. අවසන් යුද ගැටුම් පැවැති කාලයේදී සිවිල් ජනතාව හමුදා පාලන ප‍්‍රදේශවලට
පැමිණීම හා වෙල්ලමුල්ලි වයික්කාල් වෙත පසුබැසීමට යොදාගනු ලබන්නේ මෙම පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයයි. සිවිල් වැසියන් හතළිස්දාහක් මේ අවස්ථාවේදී ඝාතනය වූ බව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් ප‍්‍රකාශ කළ ද ආණ්ඩුව පවසන්නේ සිවිල් වැසියන් අටදාහක් පමණ මියගිය බවයි.
මෙලෙස ආනන්දපුරම් හි හමුවී ඇති සිය ගණනක ඇටසැකිලි සිවිල් ජනතාවට අයත්දැයි විධිමත් පරීක්ෂණ සිදුකර නැත. වෙල්ලමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ හමුදාව විසින් අත්පත් කරගෙන ඇති ප‍්‍රදේශ තුළ ද සිවිල් වැසියන්ගේ සිරුරු වළදමා ඇතැයි දෙමළ ජනතාව තුළ සැකයක් පවතින බව දේශපාලන පක්ෂ නියෝජිතයෝ සඳහන් කරති.
ඇටසැකිලි හමුවීමේ පුවත පිළිබඳ හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් සහ නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශ මාධ්‍ය නිලධාරීන්ගෙන් අප කළ විමසීමකදී දැනගන්නට ලැබුණේ එවැනි පුවතක් ඔවුන්ට වාර්තා වී නොමැති බවයි







