A+ R A-

බර්ටිගේ තර්ජනවලට එරෙහිව තිදෙනෙකු අඩි 50ක කුළුනකට නගී

E-mail Print PDF

 

ජාත්‍යන්තර මළල ක්‍රිඩා තරගවල දී වාර්ථා තැබූ දක්ෂ ආබාධිත ක්‍රිඩකයකු ඇතුළු තිදෙනෙක් අද (14) අළුයම 5.25 ට පමණ අනුරාධපුර දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබෙන අඩි 50 ක් පමණ උසැති දුම්රිය සංඥා කුළුන මතට නැග උපවාසයක් ආරම්භ ක‍ළහ. මොවුන්ට සහය දැක්වීම පිණිස තවත් පනස් දෙනෙකුට අධික පිරිසක් එම කුළුන වටා රොද බැද සිටිනු දකින්නට ලැබිණ. මෙසේ මොවුන් මෙම කුළුනට නැග ඇත්තේ අනුරාධපුරයේ,ගලෙන්බිඳුන වැව ප්‍රදේශයේ මේ දිනවල පැතිර යන බිය ගැන්වීම්, තර්ජනවලට එරෙහිව ය.

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායකගේ පාක්ෂිකයන්ගෙන් මෙම තර්ජන සහ බිය ගැන්වීම් එල්ල වන බව මෙම කණ්ඩායම කියති. මෙම කණ්ඩායම ඇතුළු තවත් අයට දිනපතා මරණ තර්ජන,බිය ගැන්වීම් කරමින් තුණ්ඩු ලැබෙන බවත් ඒවායේ සඳහන් වී තිබෙන්නේ “19 වැනිදට පස්සේ බලා ගමු. රාජාංගනයට කරපු දේම උඹලටත් කරනවා.” යනුවෙන් බවත් මෙම පිරිස පැවසූහ.

පවතින මෙම අවිනිශ්චිත තත්ත්වය හමුවේ මෙම සිද්ධිය රටට කියන්නට තීරණය කරමින් ඉදිරියට පැමිණියේ අනුරාධපුරයේ දක්ෂ ආබාධිත මළල ක්‍රිඩකයෙක් ඇතුළු තිදෙනෙකි. ආසියාතික ආබාධිත ක්‍රිඩා උළෙලට සහභාගී වී මීටර් 800 සහ මීටර් 400 තරග ඉසව්වලින් වාර්තා තබා ඇති ඔහු ජී.ඩී.ඊ.දයානන්ද ය. ගලෙන්බිඳුනවැව, අංක 573, හුරුළුනිකවැව ඔහුගේ ලිපිනයයි. පැරා ඔලිම්පික් තේරීම් සංචිතයටද මොහු අයත් විණැයි පැවසේ.ඒ වගේම ඉදිරියේ දී ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත ලෝක ආබාධිත ක්‍රිඩා උළෙල නියෝජනය කිරීම සඳහා මේ දිනවල මෙම ක්‍රිඩකයා පුහුණුවීම්වල යෙදෙමින් සිටී. මෙම ක්‍රිඩකයා ඇතුළු ගලෙන්බිඳුනවැව ප්‍රදේශයේ විශාල පිරිසක් පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සහය දැක්වූයේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කළ එස්.එම්.රංජිත් මහතාටය. ඒ හේතුව මත මෙම තර්ජන හා බිය ගැන්වීම් සිදුවන බව මෙම ක්‍රිඩකයා ඇතුළු පිරිස කියති.

අද අළුයම 5.25 ට පමණ මෙම ක්‍රිඩකයා සමග දුම්රිය සංඥා කුළුනට නැග ඇත්තේ ගලෙන්බිඳුනවැව, පැරැණිගම පඩිකාරිමඩුවේ පදිංචිකරුවන් වන ආර්.එම්.උදාර රුවන් කුමාර සහ ආර්.අමිල තරංග යන අය වෙති. මෙම අවස්ථාවේ දී දුම්රිය ආරක්ෂක අංශය එය දැක එතැනට පැමිණ කුළුනෙන් බසින ලෙස ඉල්ලා ඇත. කුළුන මත සිටීමෙන් දුම්රිය සංඥාවලට බාධා සිදුවන බව දුම්රිය ආරක්ෂක අංශ විසින් පෙන්වා දී ඇත. ඒ අතර එම ආරක්ෂක අංශය විසින් 119 හදිසි ඇමතුම් අංශයට සිද්ධිය දැනුම් දී සුළු මොහොතකින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති තිස්ස විතාන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එහි පැමිණියහ. කුළුන මත සිටින තිදෙනා සහ සෙසු පිරිස සමග අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු ගලන්බිඳුනවැවට පොලිස් ආරක්ෂාව ලබා දීමටත් , තර්ජන සහ බිය ගැන්වීම් සිදු කරමින් තුණ්ඩු එවන කල්ලි අත්අඩංගුවට ගන්නට වහාම පියවර ගන්නා බවටත් ලබා දුන් පොරොන්දු මත කුළුන මත නැග සිටි ක්‍රිඩක දයානන්ද ඇතුළු ති‍දෙනා උදෑසන 6.30 ට පමණ එම කුළුනෙන් බිමට බැස්සා හ. ඔවුන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන මුදා හරින්නට පොලිසිය පියවර ගත්තේය.

(lakbima.lk ඇසුරිනි)

This content has been locked. You can no longer post any comment.

online

We have 95 guests online

Advertisment

advertisment