නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩුව පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර සිදු වන ගනුදෙනුව පිළිබඳව තමන් දන්නේ මාධ්‍යවල පළ වන ප‍්‍රමාණය පමණක් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක කරූ ජයසූරිය මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, ඊයේ මාධ්‍ය හමුවක් අතරතුර මාධ්‍යවේදියකු විසින් නගන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එක්සත් ජාතික පක්ෂයේ 66වැනි සංවත්සරයට සහභාගි නොවුණේ, මිතුරකුගේ දියණියකගේ විවාහ මංගල්‍යයක් නිසා යැයිද, ඒ බව මහලේකම්වරයා වෙත ලිඛිතව දැනුම් දුන්නේ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය. කරූ ජයසූරිය මහතා පැවසුවේ, තමන්ට පක්ෂයේ කිසිදු තනතුරක් නොමැති නිසා එම උත්සවයට සහභාගි නොවීම ගැටලුවක් නොවන බවයි.
ජනතාව පෙළ ගැස්වීම සඳහා දේශපාලන අවි විශාල ප‍්‍රමාණයක් ආණ්ඩුව විසින්ම සපයා තිබියදීත් ඒවා නිසි ලෙස යොදා ගැනීමට එක්සත් ජාතික පක්ෂය අසමත් වීම කණගාටුවට කරුණක් යැයිද කරූ ජයසූරිය මහතා පෙන්වා දුන්නේය.






