A+ R A-

නපුර පැරදවීමේ මග

E-mail Print PDF

 

altමේ වසරේ නිෂ්පාදනය කරන ලද හොලිවුඩ් චිත‍්‍රපටයක් වන ‘Battleship’ (යුද නැව) චිත‍්‍රපටයේ අන්තර්ගත වී ඇත්තේ විශ්වයේ ඈත පිහිටි ග‍්‍රහලෝකයකින් පෘථිවියට එල්ල වන පිටසක්වල ආක‍්‍රමණයක් පිළිබඳ කතා පුවතකි.

 එම චිත‍්‍රපටයේ පිටසක්වල ජීවීන් විසින් රැගෙන එන විනාශකාරී යුදමය ආම්පන්න විශේෂයක් ක‍්‍රියාකාරී වන්නේ හිරු එළියේ බලශක්තියෙනි. රාත‍්‍රී කාලයේදී මේ ආම්පන්න තරමක් අක‍්‍රිය වන නමුදු උදෑසන හිරු උදාවත්ම ඒ හිරු එළියේ ශක්තිය උරාගෙන යළි විනාශකාරී ක‍්‍රියා අරඹයි. ගෙවී ගියේ ආණ්ඩුව මැතිවරණ ව්‍යාපාරයේ යෙදී සිටි, සාපේක්ෂ වශයෙන් නිශ්චල හා සාමකාමී කාල පරිච්ඡේදය වන අතර ආරම්භ වී ඇත්තේ ආණ්ඩුව ඡන්ද ප‍්‍රතිඵලවලින් ජවය හා ශක්තිය ලබා සිය විනාශකාරී යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරවන කාලයයි. ඒ බව ආණ්ඩුවේ ප‍්‍රබලයන් කරන ප‍්‍රකාශවලින්ම හොඳින් පෙනීයයි.

 

මර්දනයට ඉව ඇල්ලීම

මෙවර පැවැති පළාත් සභා මැතිවරණයෙන් ආණ්ඩුවට උතුරුමැද පළාතේ මන්ත‍්‍රී ධුර 21ක් ද නැ‍ඟෙනහිර පළාතේ මන්ත‍්‍රී ධුර 14ක් ද සබරගමුව පළාතේ මන්ත‍්‍රී ධුර 28ක් ද ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත‍්‍රී ධුර 63ක් හිමිවී තිබේ. එහි හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ මන්ත‍්‍රී ධුරය ද සැලකිල්ලට ගත් කල පළාත් සභා සියල්ලේම ඇති මන්ත‍්‍රී ධුර 114න් මන්තී‍්‍ර ධුර 64ක් හෙවත් 56.1%ක් ආණ්ඩුවට හිමිවී ඇත. උතුරුමැද හා සබරගමුව පළාත් සභාවල පැහැදිලි බහුතර බලයක් ආණ්ඩුව හිමිකරගෙන සිටින අතර නැ‍ඟෙනහිර පළාත් සභාවේ බලය ද මුස්ලිම් කොංග‍්‍රසයේ සහාය ඇතිව ආණ්ඩුව විසින්ම හිමිකර ගනු ඇත. මේ අනුව බලන කල පළාත් සභා තුනම සන්ධානයට හිමි වී ඇත. මෙය සැලකිය යුතු මට්ටමක ශක්තියකි. ආණ්ඩුව මෙම ශක්තිය භාවිත කරනු ඇත්තේ කුමක් උදෙසාද? පෙනෙන හැටියට නම් මේ ශක්තිය භාවිත කෙරෙන්නේ ඉහත කී චිත‍්‍රපටයේ මෙන් විනාශකාරී මර්දන උපකරණ ක‍්‍රියාත්මක කිරීම සඳහාය.

මේ මර්දනයේ පෙරමග ලකුණු මුලින්ම පෙනුණේ මැතිවරණයට පසු දින එස්.බී. දිසානායක කළ කතාවකිනි. ඔහු සිය කතාවේදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලය දැඩිව විවේචනය කරමින් ආචාර්යවරුන්ට බැණ වැදුණේය. ඔහුගේ කතාවේ එක් තැනක ආචාර්යවරුන්ට ආමන්ත‍්‍රණය කළේ ‘තක්කඩි’ යන වචනයෙනි. එස්.බී. දිසානායක කළ කතාව මුළුමනින්ම පාහේ තර්ජනයකි. ආචාර්යවරුන් වහාම සේවයට වාර්තා නොකරන්නේ නම් සිදුවන දේ බලාගත හැකි යැයි ඔහු තර්ජනය කළේය. මීට ටික දිනකට පෙර විශ්වවිද්‍යාල විවෘත කරගැනීම ගැන නහයෙන් ඇඬූ උසස් අධ්‍යාපන ඇමැතිවරයා හිටිවනම රා බී වෙරිවූ මීයා මෙන් කෑ ගැසීමට පටන් ගැනීම ඇරඹූයේ මැතිවරණ ප‍්‍රතිඵලයෙන් ජවය ලබා බව තේරුම් ගැනීමට අමුතු බුද්ධියක් අවශ්‍ය නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයේ බොහෝ සීමාකාරීත්වයන් පිළිබඳ විවේචන ගොඩනැඟී ඇතිමුත් එම සීමාකාරීත්වයන් ද වටහාගත යුත්තේ මේ මොහොතේ ලාංකේය සමාජයේම පවතින සීමාවන්ට යටත්ව මිස හුදෙකලාව නොවේ. කෙසේ වෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට පහරදීමට හා එය මර්දනය කිරීමට ආණ්ඩුව මැතිවරණ ප‍්‍රතිඵලයේ ශක්තිය භාවිත කිරීම සරල කාරණයක් ලෙස බැහැර කළ යුත්තක් නොවේ. අනෙක් අතට මෙය එම අරගලයට පමණක් සීමාවන තර්ජනයක් නොවන අතර ආණ්ඩුව ලබ්බට තැබූ අත පුහුලටත් තැබීමට පසුබට නොවනු ඇත. ඒ එක් ඡන්ද ප‍්‍රතිඵලයකි.

 

ජාතිවාදයේ නැඟීම

මෙවර පළාත් සභා මැතිවරණය තුළ අඩු වැඩි වශයෙන් භාවිත වූ ප‍්‍රධානතම සටන් පාඨය වනුයේ ජාතිවාදයයි. නැඟෙනහිර පළාතේ දී එය වැඩි තීව‍්‍රතාවකින් ක‍්‍රියාත්මක විය. උතුරු මැද හා සබරගමු පළාත්වලදී ආණ්ඩුව සිංහල ජනතාව අතරට ගෙන ගිය ප‍්‍රධාන මතවාදයක් වූයේ එල්.ටී.ටී.ඊ.ය යළි නැඟිටීම පිළිබඳ කතාවයි. කපිලවස්තු පුර සර්වඥ ධාතු මැතිවරණය පවතින ප‍්‍රදේශවල ප‍්‍රදර්ශනය කිරීම වැනි ආගමික කටයුතු හරහා මෙන්ම ඉන්දියාවේ වේලන්කන්නි දේවස්ථානයට ගිය වන්දනාකරුවන්ට පහරදීම වැනි සිදුවීම්වලට පැන නැඟි විරෝධයන් හරහා ද ආණ්ඩුව පෝෂණය කළේ ජාතිවාදී හා ආගම්වාදී සිතුම් පැතුම්ය. මේ අතර නැඟෙනහිර පළාතේ ආණ්ඩුවේ ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ මුස්ලිම් විරෝධයක් ඉස්මතු කළ අතර නැඟෙනහිර පළාතේ දී දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව අතරත් මුස්ලිම් කොංග‍්‍රසය මුස්ලිම් ජනතාව අතරත් වපුරනු ලැබුවේ ජාතිවාදයයි. මෙසේ ජාතිවාදය ඉහළට එසවීමෙන් ධනේශ්වර දේශපාලකයන්ට වාසි ලැබිණි. නැඟෙනහිර පළාතේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය සමස්ත වලංගු ඡන්දවලින් 31.88%ක් ද තමිල් අරසු කච්චි 30.59%ක් ද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය 20.98%ක් ද හිමිකරගනු ලැබීය. නමුත් එම ජයග‍්‍රහණ වෙනුවෙන් ඔවුන් ගෙනගිය ප‍්‍රචාරක ව්‍යාපාරය තුළ සමාජයට ඉතිරි කර ඇත්තේ පරාජයන්ය.

මැතිවරණය පැවැති පළාත් අතරින් නැඟෙනහිර පළාත ඉතාමත් සංකීර්ණ දේශපාලන සාධක ක‍්‍රියාත්මක වන පළාතකි. එක් පැත්තකින් එහි සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා සම සමව වාසය කරන, එනිසාම ජාතිවාදයට සරු පසක් නිර්මාණය කරනු ලැබූ පළාතකි. එය විශේෂයෙන් දෙමළ ජනයා අතර රාජපක්ෂ විරෝධයක්, ආණ්ඩුව ගැන විරෝධයක් ක‍්‍රියාත්මක වන, 2009නන්දිකඩාල් සිදුවීමට පෙර පැවැති දේශපාලන ප‍්‍රතිවිරෝධයන්ම ඉන් අනතුරුව ද දිග දුර පවත්වාගෙන යන පළාතකි. උතුර හා නැඟෙනහිර දෙමළ ජනතාව තවමත් ආණ්ඩුවේ ව්‍යාපෘතියට අනුගත කරගෙන නොමැති අතර එසේ අනුගත කරගෙන ඇති අය පවා එම ස්ථාවරයට පැමිණ ඇත්තේ වරප‍්‍රසාද භාවිත කිරීමෙන් හෝ බිය ගැන්වීමෙනි. ප‍්‍රශ්නය වන්නේ මේ තත්වය තුළ දෙමළ සමාජයේ දේශපාලන අවකාශය වැඩි වැඩියෙන් දෙමළ ජාතිවාදයට විවර වී තිබීමයි. මුස්ලිම් කොංග‍්‍රසය අතිශය ප‍්‍රායෝගිකවාදී හා උපයෝගීතාවාදී දේශපාලනයක නිරත වන අතර එම දේශපාලනය විසින් මුස්ලිම් ජනතාව අතර ද පෝෂණය කර තිබෙන්නේ ජාතිවාදයකි. මේ මතුපිට භූ දර්ශනය දෙස බලන විට තවත් දිගුකාලීන යුද්ධයකට විභවයක් නිර්මාණය වෙමින් පවතින ආකාරය පැහැදිලිව පෙනේ. තිස් අවුරුදු යුද්ධයක් අවසන් වී ඉතා කෙටි කාලයක් තුළ ජාතිභේදවාදය සදාකාලික කරන තවත් එවැනි යුද්ධ කිහිපයක් ඇතිවීමේ අනතුර ජනිත වී තිබේ. මෙවර පළාත් සභා මැතිවරණයේ ප‍්‍රතිඵල එම අනතුර පිළිබඳ එක් සාක්ෂියකි.

මෙම විනාශකාරීත්වය පරාජය කළ හැක්කේ තමන්ට ලැබෙන ඡන්ද ගොඩ ගැන නොහිතා උතුරත් දකුණත් යා කරන දේශපාලනයක් සඳහා නිර්භය වන ව්‍යාපාරයකටය. මැතිවරණ ප‍්‍රතිඵල මගින් ජාතිවාදයන්ගේ ව්‍යාප්තිය පෙන්වනවාක් මෙන්ම සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික ප‍්‍රජාවන් පොදු භාවයකට කැඳවන අරගලයක් සඳහා ඇති විභවයක් ද පෙන්වයි. බොහෝ අය ජාතිවාදී අවරසිකවාදයේ ගිලී සිටීම හුදු පුද්ගල පෞරුෂයන්ගේ ප‍්‍රශ්නයක් නොව අපේ සමාජය පසුකර යන වත්මන් මොහොත පිළිබඳ සමාජමය ප‍්‍රශ්නයකි. එම සමාජ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය හැක්කේ ද සමාජ ව්‍යාපාරයක් හරහාය. එබැවින් සමාජ ව්‍යාපාරයක මේ මොහොතේ ප‍්‍රධානතම කර්තව්‍යය විය යුත්තේ සමාජය මේ අගතීන් ගෙන් නිදහස් කරගැනීම සඳහා නව දේශපාලන ප‍්‍රවේශයක් ගැනීමයි.

සමාජය තුළ පවතින අගතීන් හා ප‍්‍රතිවිරෝධයන්ම කළමනාකරණය කිරීමෙන්, තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගන්නා ආකාරය ගැන පමණක් සිතීමෙන්, මාධ්‍ය විසින් නිර්මාණය කරන කතිකාවේ ගොදුරක් බවට පත්වීමෙන්, ආණ්ඩුව අටවනු ලබන උගුල්වල පැටලීමෙන් මේ ප‍්‍රශ්නයට පිළිතුරු සෙවිය නොහැක. කළ යුතු දේශපාලනය වන්නේ සියලූ ජන කොටස් අතර පොදුභාවය ගොඩනංවන හා සියලූ ජන කොටස්වලට සම අයිතීන් දිනාගන්නා අරගලයේ දේශපාලනයයි. දැන් සමාජයට අවශ්‍ය වී තිබෙන්නේ සමාජ ජයග‍්‍රහණයක් සඳහා වූ සටන්කාමී ක‍්‍රියාකාරීත්වයකි. මේ ලිපියේ මුලින් සඳහන් කළ Battleshipචිත‍්‍රපටයේ එන වීරයා පිටසක්වල ජීවීන් විසින් තමන්ගේ සියලු අධිතාක්ෂණික යුද නැව් විනාශ කළ පසුව පිටසක්වලයන් පරදවන්නේ දෙවැනි ලෝක යුද්ධයේදී භාවිත කරන ලදුව කෞතුකාගාරයක් බවට පත් කර ඇති පැරණි යුද නැවකිනි. ප‍්‍රශ්නය තිබෙන්නේ නපුර පරාජය කිරීම සඳහා යොදාගන්නා උපකරණ පැරණිද නවීනද යන්න නොවේ. ඒවා භාවිත කරන ආකාරයයි. මේ මොහොත විසින් ඉල්ලා සිටිනුයේ ඒ සියල්ල භාවිත කරන ආකාරය පිළිබඳ තාක්ෂණ දැනුම සමග අත්වැල් බැඳගත් ප‍්‍රායෝගික ක‍්‍රියාකාරීත්වයකි. ඉතිහාසයේ කරළිය තිරය විවෘත කරන්නේ එවැනි ක‍්‍රියාකාරීත්වයක් වෙනුවෙනි.

- විදර්ශි

This content has been locked. You can no longer post any comment.

කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ජූලි මස 30 දිනය සඳහා කාලගුණ අනාවැකිය

මහජනයා සඳහා -   දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කදුකරයේ විටින් විට... Read more

Advertisment

advertisment