தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් කළ හැකිද? « Lanka Views | Views of the truth

උමා ඔය විනාශකාරී ව්‍යාපෘතිය තිරසාර ව්‍යාපෘතියක් කළ හැකිද?



ශී‍්‍ර ලංකාවේ මෙතෙක් කි‍්‍රයාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති අතුරින් වැඩි ම පාරිසරික හා කෘෂි වගා බිම් විනාශය මෙන්ම වැඩි ම ජනතාවක් අවතැන් කළ ව්‍යාපෘතිය වන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියයි. මෙම ව්‍යාපෘතියේ භූගත උමං කැණීම හා වේලි ඉදිකිරීම ඇතුළු සංවර්ධන කටයුතු හේතුවෙන් බදුල්ල හා මොනරාගල දිස්ති‍්‍රක්ක දෙකට අයත් බණ්ඩාරවෙල, හාලි ඇළ, වැලිමඩ, ඌවපරණගම, ඇල්ල හා වැල්ලවාය යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජීවත් වන පවුල් 7450 ක් පමණ මේ වන විට බලපෑමට ලක් ව අවතැන්ව සිටී.

භූගත උමං කැණීමෙන් ඇති වී තිබෙන මහා ජල කාන්දුවීම් හේතුවෙන් ළිං ඇතුළු ජල මූලාශ‍්‍ර සම්පූර්ණයෙන් ම සිදී ගොස් දැවැන්ත ජල අර්බුද උද්ගතවීම, කුඹුරු ඇතුළු ගොවි බිම් විනාශ වීම හා භූමිය අස්ථාවර වීමෙන් නිවාස හා දේපල විනාශ වී බොහෝ ජනතාවක් අවතැන් වීම සිදු ව තිබේ. එපමණක් නොව ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සදහා ගොවි බිම් ඇතුළු ව ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීමෙන් සෘජුව අවතැන් වූ ජනතාවට මෙතෙක් ප‍්‍රමාණවත් වන්දි ගෙවීමක් සිදු කර නොමැත. නැවත පදිංචි කිරීමේ අක‍්‍රමිකතා හා අවතැන් වූ ගොවි ජනතාවට විකල්ප ගොවි බිම් ලබා නොදීම ඇතුළු ගැටලූ බොහොමයකට මේ වන විට ජනතාව මුහුණ දී සිටී. මීට අමතර ව උමා ඔයේ පුහුල්පොළ හා මහතැටිල්ල ජලාශ ඉදි කිරීම හේතුවෙන් පහළ ප‍්‍රදේශයට ජලය ගලා යාම සීමා වීමෙන් උමා ඔයේ පහළ පිහිටි බත්මැඩිල්ල මහා වාරි ව්‍යාපාරය ඇතුළු ව කුඩා අමුණු යටතේ උමා ඔයේ ජලය ලබා ගෙන කි‍්‍රයාත්මක වන සුළු වාරි ව්‍යාපෘති 19 කට හා මහවැලි ව්‍යාපාරයේ ගොවි බිම් වලට ජලය සීමා වීමෙන් ගැටලූ ගණනාවකට ඉදිරියේ දී ගොවි ජනතාවට මුහුණ දීමට සිදු වේ.

උමා ඔය ව්‍යාපෘතියේ ප‍්‍රධාන උමග වන, අලූතින් ඉදි කරන මහතැටිල්ල ජලාශයේ සිට කරදගොල්ල භූගත විදුලි බලාගාරය දක්වා සකස් කරන කිලෝමීටර් 15.15 ක් දිග ප‍්‍රධාන උමග කැණීමේ දී ප‍්‍රදේශ ගණනාවක් මහා ව්‍යසනයකට ගොදුරු විය. මකුල්ඇල්ල, හීල් ඔය, කුරුකුදේ ගම, හැවැන්වල, උඩු උල්පත, බැද්දෙඅරාව, ලියන්ගහවෙළ, වෙහෙරගල තැන්න, කුරුදුගොල්ල, එගොඩගම, උඩපේරුව, මැදපේරුව, අම්පිටිය, පල්ලෙපේරුව, කරගහවෙළ, බොරලන්ද, රජකොටුව, අගුරුකොටුව, පුහුල්පොළ, දික්කාපිටිය, ඉහළ කොටවර, පහළ කොටවර, අඹදණ්ඬේගම, තන්තිරිය, කීනිගම, දෝව, දික්අරාව, මැදහින්න, බිදුණුවැව, වටගමුව, ගෙඩියරොද, ඇත්තලපිටිය, සාමචේතිය ගම, පනංගල, මිරහවත්ත, පුරණ, දූල්ගොල්ල, කන්දෙඅරාව, මහඋල්පත, බදුලූගස්තැන්න, මදුවැල්පතන, කිරිඔරුව, ඉසුරු උයන, අරාවත්ත, උඩැස්වැද්දුම, වලස්බැද්ද, උතුරු කැබිල්ලෙවෙල, දකුණු කැබිල්ලෙවෙල, විශාකා මාවත, එරණවෙල, මහගලහින්න, කොළතැන්න හා අභයපුර යන ගම්මාන වල ජනතාවට ළිං ජලය සම්පූර්ණයෙන් ම අහිමි වීමෙන්, වගා බිම් විනාශ වීමෙන් හා ගෙවල් ඉරිතලා විනාශ වීමෙන් සංවර්ධන අනාථයින් බවට පත් ව සිටී. මේ වන විට නිවාස 7100 කට වැඩි ප‍්‍රමාණයක් ඉරිතලා වාසයට නුසුදුසු තත්ත්වයට පරිවර්තනය වෙමින් තිබේ. බණ්ඩාරවෙළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 42 ක් හා ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිවාස 15 ක් මේ වන විට සම්පූර්ණයෙන් ම විනාශ වී තිබේ. මේ ජනතාව වෙනත් ප‍්‍රදේශ වල කුලී පදනම මත ලබා ගත් නිවාස වල පදිංචි කිරීම සිදු කර ඇත. නමුත් අවතැන් වූ අනෙක් අති බහුතරයට කිසිදු විස`දුමක් මේ වන තුරුත් ලැබී නොමැත.

ප‍්‍රධාන උමගට අමතර ව උමා ඔයේ අතු ගංගා දෙකක අලූතින් ඉදි වන පුහුල්පොල ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන කිලෝමීටර 3.9 ක් දිග උම`ග කැණීම හේතුවෙන් ද ගම්මාන ගණනාවක ගෙවල් ඉරිතලා හානි සිදු වීම හේතුවෙන් පවුල් විශාල ප‍්‍රමාණයක් බලපෑමට ලක් වී ඇත. ලූණුවත්ත, මැදපංසල, දික්කාපිටිය, පුහුල්පොල, කොස්කණුවිල හා බලතොටඇල්ල ගම්මාන මෙලෙස බලපෑමට ලක් ව තිබේ. මෙම ප‍්‍රදේශ වල ළිං සිදීයාමට අමතරව දික්කාපිටිය ප‍්‍රදේශයේ වගා බිම් විනාශ වීම ද සිදු වී ඇත.

නිවාස වලට අමතරව ආගමික ස්ථාන 23 ක් මේ වන විට ඉරිතැලීම් හේතුවෙන් විනාශයට ලක් ව තිබේ. ඒ අතර පුරාවිද්‍යාත්මකව ඉතාම වැදගත් ස්ථාන කිහිපයක් ම වේ. දෝව රජ මහා විහාරය, හීල් ඔය පුරාණ විහාරය, මකුල් ඇල්ල පුරාණ විහාරය ඇතුළු ඉපැරණි විහාරස්ථාන හා පල්ලෙපේරුව මුස්ලිම් පල්ලිය මේ වන විට උමා ඔයේ භූගත කැණීම් වල බලපෑමට ලක් ව තිබේ. මීට අමතරව මකුල් ඇල්ල විද්‍යාලය, බණ්ඩාරවෙළ, මධ්‍ය මහා විද්‍යාලය හා ධර්මාශෝක මධ්‍ය මහා විද්‍යාලයේ ගොඩනැගිලි බොහොමයක් ඉරිතලා භාවිතයට ගත නොහැකි තත්වයට පරිවර්තනය වෙමින් තිබේ.

මේ දැවැන්ත විනාශයන් සියල්ලම සිදු වී ඇත්තේ ප‍්‍රධාන උමෙඟ් සහ ජලාශ දෙක අතර ජලය ගෙන යන උමෙඟ් කැණීම් කටයුතු ආරම්භ වීමත් සමඟ ය. පුහුල්පොල ජලාශයේ සිට මහතැටිල්ල ජලාශය දක්වා ජලය ගෙන යන උමග මේ වන විට කැණීම් කර අවසන් ව ඇත. එම උම`ග කැණීම් කර ඇත්තේ අභ්‍යන්තර බෝර පිපිරවීම් මගිනි. මහතැටිල්ල ජලාශයේ සිට වැල්ලවාය, කුරුදුගොල්ල, අලිකොට ආර ප‍්‍රදේශයේ භූගත ව ස්ථාන ගත කරන විදුලි බලාගාරය දක්වා ජලය ගෙන යන ප‍්‍රධාන උමෙඟ් කිලෝ මීටර 9 ක් පමණ මේ වන විට කැණීම් කර තිබේ. එම කැණීම් ස`දහා උමං කැණීම් යන්ත‍්‍ර දෙකක් (Tunnel Boring Machine) භාවිතා කර ඇත. මේ දැවැන්ත විනාශය සිදු වී ඇත්තේ සම්පූර්ණ උමං පද්ධතියෙන් කොටසක වැඩ නිම වනවාත් සමඟ ය. ව්‍යාපෘතියට අනුව කිලෝමීටර් 26 ක් දිග උමං කැණීමට නියමිත ව ඇත. එ් සියල්ල අවසන් වන විට ඌව පළාතේ සම්පූර්ණ කඳු පද්ධතිය ම ගිලා බැස නාය යෑම වළක්වා ගත නොහැකි වනු ඇත.

මේ වන විට ප‍්‍රධාන උමග මහතැටිල්ල ජලාශයේ සිට කරදගොල්ල දෙසට කැණීම් කර ඇති අතර එය පනංගල ප‍්‍රදේශයේ දී නතර කර තිබේ. ප‍්‍රධාන උම`ග අනෙක් පසින් කරදගොල්ලේ සිට මහතැටිල්ල ජලාශය දෙසට කැණීම් කරන අතර දැනට මහා ජල කාන්දුව හේතුවෙන් දික් උල්පත ප‍්‍රදේශයේ දී කැණීම් කටයුතු නතර කර තිබේ. මෙම උමග කැණීමේ දී පළමු මහා ජල කාන්දුව හා භූමිය ගිලා බැසීම සිදු වූයේ මකුල් ඇල්ල ප‍්‍රදේශයේ දී ය. දෙවන මහා ජල කාන්දුව ඇති වූයේ උඩපේරුව ප‍්‍රදේශයේ දී ය. මේ මහා භූගත ජල කාන්දුවීම් හේතුවෙන් අඹදණ්ඬේගම සිට වෙහෙරගල තැන්න, මකුල් ඇල්ල, හීල් ඔය, පල්ලෙපේරුව හා උඩපේරුව දක්වා ගම්මාන වල ළිං ඇතුළු සියලූ ජල මූලාශ‍්‍ර සිදී යාමට ලක් විය. අද වන විට සිදු වන තෙවන මහා භූගත ජල කාන්දුව හේතුවෙන් කීනිගම, බිදුණු වැව, හපුගස් උල්පත, දික් උල්පත දක්වා සයිලූ ජල මූලාශ‍්‍ර සිදී යමින් පවතී.

මේ සියලූ උමං කැණීම් සිදු කර ඇත්තේ විපරීත පාෂාණ සහිත ප‍්‍රදේශවල ය. එම අස්ථාවර පාෂාණ වල උමං කැණීමත් සමඟ ම පොළොව මතුපිටට භූ පැලූම් ඇති වී තිබේ. එම භූ පැලූම් ඔස්සේ අවසාධිත පාෂාණ ස්ථරය හා මවු පාෂාණ ස්ථරය අතර පිහිටි භූගත ජලය හා මතුපිට පස් ස්ථර වල රැදී පවතින කේෂාකර්ෂණ ජලය උමං තුළට කාන්දු වීම හේතුවෙන් ළිං සි`දී යාම, වගා බිම් වල ජලය සිදී යාම හා ජල මූලාශ‍්‍ර සිදී යාම සිදු වී ඇති අතර භූ පැලූම් සහ භූගත ජලය ඉවත් වීම හේතුවෙන් පස් ස්ථර අතර අස්ථාවර හිඩැස් වල ඇති වන පාංශු තෙරපුම් හේතුවෙන් නිවාස හා වගා බිම් ඉරිතලා විනාශ වී ඇත. මීට අමතර ව භූගත ජලය ඉවත් වීමෙන් පස් ස්ථර පහළට තෙරපීම නිසා කුඹුරු ඉඩම් ඇතුළුව භූමිය ගිලා බැසීම සිදු වී තිබේ.

බදුල්ල දිස්ති‍්‍රක්කයේ ග‍්‍රාම නිලධාරී වසම් 37 ක ළිං 3090 ක් පමණ හා ජල මූලාශ‍්‍ර 45 ක් පමණ මේ වන විට සම්පූර්ණයෙන් ම සිදී ගොස් තිබේ. හීල් ඔය, ගල් ඇක්ක ඔය, කක්කුටු අරාව, කම්මල් අරාව, නානු අරාව, ගල් කන්දෙ අරාව, අඹගහ කදුර, වියළි වගුරු ඇළ, දෙයියන්නෙ කුඹුර ඇළ, වෙළන්ගහ උල්පත ඇළ, ඉළුක් අරාව ඇළ, වැලිතැන්නෙ අරාව ඇළ, බැද්දෙ අරාව ඇළ, අමුණු දෝව ඇළ, පනංගල වැව, මිනුවන් උල්පත වැව, පල්ලෙපේරුව ඇළ, දික් අරාව ඔය, කුරුදුගොල්ල ඔය, නත්තාරංකදුර ඇළ, කිරින්දේ ඔය, බදුලූගස්තැන්න ඔය, බුදුන්ගෙ අරාව ඇළ, ගාල්ලෙ අරාව ඇළ, දික් උල්පත කදුර, දියවැටුණු කදුර, දෙහිගස් අරාව කදුර, පිට කදුර හා බදුලූ ඔය ආරම්භක ප‍්‍රදේශය මෙලෙස සිදී ගොස් තිබේ. මෙම ජල මූලාශ‍්‍ර මත පදනම් වූ අක්කර 2200 කට වැඩි වගා බිම් ප‍්‍රමාණයක කෘෂි කර්මාන්තය 2015 වසර අවසානයේ සිට අද දක්වා සම්පූර්ණයෙන්ම බිද වැටී ඇත. මීට අමතර ව රාවණා ඇල්ල අභය භූමිය තුළ පිහිටි ඉතාම සුන්දර දිය ඇල්ලක් වන රාවණා ඇල්ල ද සිදී ගොස් තිබේ. බිදුණු වැව, අලූත්ගම පීල්ල, දික් අරාව, මහ වංගුව පීල්ල, නානු අරාව, ගල් ඇක්ක පීල්ල, ඉසුරු උයන, පල්ලෙකරුවට පීල්ල, පල්ලෙපේරුව, පීල්ලෙ අරාව පීල්ල, මැදපේරුව පීල්ල හා බදුලූගස්තැන්න පීල්ල වැනි ජනතාව ගේ දෛනික ජල අවශ්‍යතාවන් සදහා භාවිතා කළ ජල මූලාශ‍්‍ර පවා සම්පූර්ණයෙන් ම සිදී ගොස් තිබේ.

මේ සදහා තාවකාලික පිළියම් ලෙස ග‍්‍රාම නිලධාරී වසම් 37 ක බලපෑමට ලක් වූ ජනතාව ගේ පවුල් 4511 කට ජලය ගබඩා කර ගැනීම සදහා ජල ටැංකි ලබා දී තිබේ. මේ වන විට ජල බවුසර් 57 ක් මගින් ජලය අහිමි වූ ජනතාවට ජලය බෙදා දීම සිදු කරයි. වගා බිම් වලට හානි සිදු වූ ජනතාව ගෙන් පවුල් 642 කට රුපියල් මිලියන 266.5 ක් වන්දි වශයෙන් ගෙවා තිබේ. මෙලෙස වන්දි ගෙවා ඇත්තේ එක් කන්නයකට පමණි. කිසිදු වගා වන්දි මුදලක් හිමි නොවූ විශාල පිරිසක් මේ වන විට අසරණව සිටිති. ගෙවල් ඉරිතලා හානි වූ පවුල් වලට රුපියල් 1500 සිට රුපියල් මිලියන 12.7 දක්වා වන්දි හිමි වී තිබේ. බහුතරයකට හිමි වී ඇත්තේ ඉතා අවම වන්දි මුදලකි. බොහොමයකට කිසිදු වන්දි මුදලක් හිමි වී නොමැත. කේවල් කිරීමේ බලය, දේශපාලන සබ`දතා හා නිලධාරී සබදතා ඇති කිහිප දෙනෙකු උපරිම වන්දි මුදල් ලබා ගෙන ඇත.

උමං කැණීම නිසා ජලය අහිමි වූ ජනතාවට බවුසර් ම`ගින් ජලය ලබා දෙන්නේ දින කිහිපයකට වාරයකි. එක් නිවසකට ජලය ලීටර 500 ත් 1000 ත් අතර ප‍්‍රමාණයක් ලබා දෙයි. සමහර නිවාස වලට මෙම ජල සැපයුම හිමි වන්නේ සති කිහිපයකට වාරයකි. ක`දුකර ප‍්‍රදේශ වලට හා මාර්ග පහසකුම් අවම සමහර ප‍්‍රදේශ වලට ජල බවුසර් වලට හෝ ජලය රැගෙන යන ට‍්‍රැක්ටර් රථ වලට ගමන් කිරීම අපහසු වීම නිසා විකල්ප ජල පහසුකම් ද අහිමි වී ඇති අතර ඔවුන් දැඩි දුෂ්කරතාවට පත් ව සිටී. ඔවුන්ට බොහෝ දුරක් පා ගමනින් ගොස් පානීය ජලය රැගෙන ඒමට සිදු වී ඇත. බවුසර් ම`ගින් ලබා දෙන ජලයේ ගුණාත්මකතාවය හා සෞඛ්‍යාරක්ෂිත බව පිළිබ`ද ව ගැටලූ පවතී. මේ නිසා බොහෝ දෙනෙක් අපහසුවෙන් හෝ පානීය ජලය මිල දී ගැනීමට පෙළැඹී සිටී.

දින කිහිපයකට වරක් ලබා දෙන ජලය ගබඩා කර තබා ගැනීම සදහා ජනතාවට දැඩි පරිශ‍්‍රමයක නිරත වීමට සිදු ව තිබේ. සමහර නිවාස වල ජල ටැංකි කිහිපයකත් තවත් සමහර නිවාස වල ප්ලාස්ටික් බාලදි් වලත් ජලය ගබඩා කර තබා ගනී. නමුත් එලෙස ගබඩා කර ගන්නා ජලය ප‍්‍රමාණවත් වන්නේ දින කිහිපයකට පමණි. ස්නානය කිරීම හා සේදුම් කටයුතු සදහා ජනතාවට ජලය රැුදී පවතින ජල මූලාශ‍්‍ර සොයා ගෙන කිලෝමීටර ගණනාවක් දුර යාමට සිදු වී ඇත. මේ සදහා අමතර මුදලක් දැරීමට අවතැන් වූ ජනතාවට සිදු වී ඇත.

භූගත උමං කැණීමේ ප්‍රතිපළයක් ලෙස අක්කර 2200 කට වැඩි වගා බිම් ප‍්‍රමාණයක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇත. භූගත ජලය උමං තුළට කාන්දු වීමෙන් වගා බිම් ඉරිතැලීම, ගිලා බැසීම හා වගා බිම් වලට ජලය සපයන දිය බුබුළු සහ ජල මූලාශ‍්‍ර සිදී ගොස් වගා බිම් සියල්ල විනාශයට ලක් වී ඇත. මේ හේතුවෙන් අවතැන් වූ ගොවි ජනතාවට වගා කන්න 5 ක් පමණ අහිමි වී තිබේ. මේ නිසා රටට අහිමි වූ වී හා එළවලූ ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් මිලියන දහස් ගණනකි. මේ තත්ත්වය සමස්ත ලංකාවේ ම එළවලූ හා වී මිල ඉහළ යාමටත් ඒවායෙහි හිගයන් ඇති වීමටත් බලපා තිබේ.

වගා බිම් විනාශ වූ බොහෝ ගොවි ජනතාවකට වන්දි හිමි වී ඇත්තේ එක් කන්නයකට පමණි. සමහර ගොවි ජනතාවට කිසිදු වන්දි මුදලක් හිමි වී නැත. පළමුව ගොවි සංවිධාන වල සභාපති ගේ නිර්දේශ මත ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වගා වන්දි ගෙවීම සිදු කර ඇත. නමුත් අද වන විට වගා වන්දි ගෙවීමේ දී වගා බිමට අදාළ සින්නක්කර ඔප්පුව, පත්ඉරු, පිඹුරුපත්, බැංකු ගිණුම් අංක, හැදුනුම්පත් පිටපත් සමග සම්පූර්ණ කළ ඉල්ලූම් පත‍්‍රය ගොවි සංවිධානයේ සභාපති ගේ නිර්දේශ මත ඉදිරිපත් කළ යුතු ය. නමුත් මේ ප‍්‍රදේශ වල බොහෝ ගොවි බිම් නිවැරදිව මැණීම් කර, පිඹුරුපත් හෝ ඔප්පු සකස් කර නැත. මේ වන විට අවතැන් වූ ගොවි ජනතාවට ලබා දෙන සුළු වන්දි මුදල ලබා ගැනීමට වගා බිම් මැණීම් කර ඔප්පු සකස් කර ගැනීමට සිදු වී ඇති අතර මේ සදහා වැය වන විශාල මුදල් ප‍්‍රමාණයක් දැරීමට ගොවි ජනතාවට නොහැකි වී ඇත.

මේ අතරතුර ගොවිජන සේවා නිලධාරීන් හා ගොවි සංවිධාන වල නිලධාරීන් එක් ව වගා වන්දි මුදල් ගෙවීමේ දී විශාල අක‍්‍රමිකතා හා වංචා කිරීම් සිදු කර ඇත. මේ නිසා වගා බිම් විනාශ වී අසරණ වූ ගොවි ජනතාව දැඩි දුෂ්කරතාවන්ට ලක් ව සිටී. එපමණක් නොව සින්නක්කර ඔප්පු හිමි ගොවි ජනතාවට, අද ගොවීන්ට, බදු ගොවීන්ට, උකස් ගොවීන්ට හා හවුල් ගොවීන්ට වගා වන්දි ලබා දීමේ දී අසාධාරණයන් බොහොමයක් සිදු වී ඇත. සමහර ප‍්‍රදේශ වල ගොවි සංවිධාන සභාපතිවරුන් ගේ මැදිහත්වීම මත වගා හානි සිදු නොවූ පරිබාහිර පුද්ගලයන්ට හා ඔවුන් ගේ පවුල් වල හිතවතුන් අතර වන්දි මුදල් බෙදා ගෙන තිබේ. ඒ සදහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ හා ගොවි සංවිධාන වල නිලධාරීන් සෘජු ව වගකිව යුතු අතර අවතැන් වූ ගොවි ජනතාව ගේ වන්දි මුදල් අයතා පරිහරණය හා වංචා කිරීම පාලනය කිරීමට විධිමත් සැලැස්මක් සකස් කළ යුතු ය. එපමණක් නොව වන්දි මුදල් වංචා කළ නිලධාරීන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතු ව ඇත.

උමාඔය ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික ඉඩම් අහිමිවන්නන්ට කිරිඳිඔය ජල ද්‍රෝණියේ, අලිකොටආර ජලාශය, කුඩාඔය ජලාශය, හඳපානාගල වැව යටතේ අලූතින් වනාන්තර ඉඩම් එළිපෙහෙළි කර, කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කර ලබා දීමට යෝජිත ව ඇත. මෙමඟින් සිදුවන හානිකර බලපෑම් කිහිපයකි. ඉන් ප‍්‍රධාන වන්නේ කිරිදිඔයේ ජල පෝෂක වනාන්තර තව තවත් අහිමි වීමෙන් ඇතිවන පාංශ ු ඛාදන තත්ත්වයන් හේතුවෙන් ලූණුගම්වෙහෙර ජලාශය රොන් මඩින් පිරීයෑමේ ශීඝ‍්‍රතාව තවදුරටත් වැඩි වීම ය. මීට අමතර ව සංවර්ධනය කිරීමට යෝජිත කෘෂි බිම් ප‍්‍රදේශ වැටහිරකන්ද ස්වභාව රක්ෂිතය ආශ‍්‍රිත ව හා අලි ගැවසුම් වනාන්තරයන්හි පිහිටා තිබේ. මේ අලින් ගේ වාසස්ථාන අහිමි වීමෙන් අලි-මිනිස් සහජීවනය බිද වැටීමෙන් දෙපාර්ශ්වයට ම උග‍්‍ර ගැටලූවලට මුහුණ දීම මේ ව්‍යාපෘතියත් සමග ම සිදු විය හැකි ය.

උමාඔය ව්‍යාපෘතිය යටතේ ඉදි කෙරෙන ජලාශවලට ඉහළින් ඇති වැලිමඩ හා නුවරඑළිය වැනි ප‍්‍රදේශ උග‍්‍ර පාංශු ඛාදනයට ලක්වන බිම් ප‍්‍රදේශ වෙයි. මීට අමතර ව මේ ව්‍යාපෘතිය හේතුවෙන් කිරිඳිඔය ද්‍රෝණියේ බොහෝ වනාන්තර ප‍්‍රදේශ එළි පෙහෙළි කර කෘෂිකාර්මික ඉඩම් ලෙස සංවර්ධනය කරනු ලැබේ. මේ හේතුවෙන් ඇතිවන පාංශු ඛාදන තත්ත්වය ද ඉතා අධික වේ. මෙහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ සමස්ත ව්‍යාපෘතිය යටතේ අලූතෙන් ඇති කරන ජලාශ හා ලූණුගම්වෙහෙර ජලාශය සීඝ‍්‍රයෙන් රොන්මඬින් පිරීයන තත්ත්වයට පත් වීම ය. මෙමඟින් අවසානයේ සිදුවන්නේ ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ නොලැබීම යිි.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ වාරි ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික බිම් ලෙස සංවර්ධනය කැරෙන බොහෝ ප‍්‍රදේශ, ළඳු කැලෑ, තෘණභූමි හා වනාන්තර බිම් ප‍්‍රදේශ වෙයි. මේ ප‍්‍රදේශවල සත්ත්ව පාලනය (එළ ගවයන් හා මී ගවයන්) බහුල ව සිදු වේ. මේ බිම් ප‍්‍රදේශ සංවර්ධනය වීමත් සමඟ ම සත්ත්ව පාලනය සඳහා ඇති බිම් ප‍්‍රදේශ සීමා සහිත වේ. එහි අවසාන ප‍්‍රතිඵලය වන්නේ සත්ව පාලන කටයුතු රක්ෂිත වනාන්තර වෙතට යොමු වීම තවදුරටත් වැඩි වීම යි. මේ වන විට උඩවලව හා ලූණුගම්වෙහෙර ජාතික වනෝද්‍යානයන්ට ඇති ප‍්‍රධාන තර්ජනය එළ හරකුන් හා මී හරකුන් අනවසරයෙන් වනොද්්‍යාන තුළට තණ කැවීම සඳහා යොමු කිරීම යි. මේ තත්වය මෙකී සංවර්ධන ව්‍යාපෘතියත් සමඟ ම තවදුරටත් උග‍්‍ර වනු ඇත.

මේ සමස්තය පිළිබඳව අවබෝධයකින් තොරව උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමෙන් හානිපූරණය කළ නොහැකි දැවැන්ත හානිකර තත්ත්වයන් බොහොමයක් අද වන විට උද්ගතව තිබේ. එය හානියකින් පමණක් නතර නොවන්නේ මේ ව්‍යාපෘතිය බිලියන ගණනක මහා ධනස්කන්ධයක් නිකරුනේ විනාශ කර දමන කිසිදු පළ ප‍්‍රයොජ්නයක් නොමැති හුදු භෞතික සංවර්ධන ව්‍යාපෘතියක් පමණක් වෙමින් අවසන් වන නිසා ය. එපමණක් නොව අනාගත හා වත්මන් පරපුර ණයකරුවන් බවට පත්වීම පමණක් රටට අවසානයේ මේ ව්‍යාපෘතියෙන් ඉතිරි වන බැවිනි. අද වන විට ව්‍යාපෘතියේ උමං කැණීම හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහන සැලැසීමට හා වන්දි ගෙවීමට ව්‍යාපෘතියෙන් පරිබාහිරව විශාල මුදලක් දැරීමට රජයට සිදු වී ඇත. රටේ ජනතාවගේ බදු මුදල් හානිකර ව්‍යාපෘතියක් ම`ගින් ඇති කළ විනාශයන් වෙනුවෙන් වැය කිරීම කෙතරම් යුක්ති සාධාරණ ද යන්න ගැඹුරින් සිතා බැලිය යුතු ය. මේ පිළිබඳ ව බුද්ධිමත්ව සිතා බලා විනාශයන් බොහොමයකට හේතු සාධක වන උමාඔය බහුකාර්ය වාරි ව්‍යාපෘතිය නතර කිරීමට කටයුතු කරන මෙන් අප රටේ අනාගතය ගැන සිතන වගකිවයුත්තන් ගෙන් ඉල්ලා සිටිමු. ඒ සදහා ගත යුතු විකල්ප කි‍්‍රයාමාර්ග පිළිබ`ද ව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය.

දැනට සිදු වී ඇති මෙම විනාශය පදනම් කර ගෙන හා සමස්ත ව්‍යාපෘතියෙන් ඇති වන බලපෑම් හා ව්‍යාපෘතියෙන් බලාපොරොත්තු වන ප‍්‍රතිලාභ ලබා ගැනීමට ඇති අසීරුතාවන් පදනම් කර ගෙන දැනට සිදු කෙරෙන සියලූ උමං කැණීම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි නතර කළ යුතු ය. නැවත වරක් මේ සියලූ උමං පිරවීම සිදු කළ යුතු ය. නමුත් ඉදි කරන ජලාශ ඒ ආකාරයෙන් ම භාවිතයට ගත යුතු ය. උමා ඔයේ ඉදි කෙරෙන පුහුල්පොල ජලාශය හා මහතැටිල්ල ජලාශය උමා ඔයේ ජල රැු`දවුම් ජලාශ වශයෙන් භාවිතයට ගත හැකි වන අතර ඒ මගින් උමා ඔයේ පහළ නිම්නයේ වාරි ජල සුරක්ෂිතතාවය තහවුරු කළ හැකි ය. කිරිදි ඔයේ ඉදි කෙරෙන අලිකොටආර ජලාශය, කුඩා ඔය ජලාශය හා හදපානාගල වැවේ ජල ධාරිතාවය වැඩි කිරීම සදහා සිදු කෙරෙන ඉදි කිරීම් මගින් කිරිදි ඔයේ ජල රැදවුම් ධාරිතාවය වැඩි දියුණු කළ හැකි වනු ඇත. එපමණක් නොව මෙම ව්‍යාපෘතිය යටතේ කිරිදි ඔයේ ජල ද්‍රෝණියේ වනාන්තර අක්කර 4500 ක් පමණ එළිපෙහෙළි කර අලූතින් වගා බිම් ඇති කිරීම වෙනුවට කිරිදි ඔයේ වෙහෙරගල ජලාශයේ හා ලූණුගම්වෙහෙර ජලාශයේ ජල සුරක්ෂිතතාව ඇති කිරීම සදහා මෙම ජල පෝෂක වනාන්තර බිම් සුරක්ෂිත කළ හැකි ය.

මෙම ව්‍යාපෘතිය යටතේ භූගත ව ස්ථාපිත කර ඇති විදුලි බලාගාරය එම ස්ථානයෙන් ඉවත් කර උමා ඔයේ පහළ නිම්නයේ ස්ථාපිත කිරීමට ඇති ශක්‍යතාව පිළිබද අධ්‍යයනය කළ යුතු අතර එමගින් ජල විදුලිය නිෂ්පාදනය ද ගැටලූවක් තත්ත්වයට පත් නොවනු ඇත.

මීට අමතර ව කිරිදි ඔය ඉහත්තාවේ පමණක් නොව උමා ඔය ඉහත්තාවේ සිදු වන මහා වනාන්තර විනාශයන් පාලනය කිරීම මෙන්ම අලූතින් වනාන්තර ප‍්‍රතිස්ථාපනය කර එම ප‍්‍රදේශ වල ජල පොෂ්ක බිම් වැඩිදියුණුකිරීම මගින් ඉදි කෙරෙන ජලාශ වල ජල සුරක්ෂිතතාව ඇති කළ යුතු ය. එමගින් දැනට සිදු කෙරෙන වගා බිම් වල ඵලදායීතාවය වැඩි දියුණු කළ හැකි වනු ඇත. වගා බිම් පුළුල් කිරීම වෙනුවට යල මහ දෙකන්නය නිසි පරිදි වගා කිරීමට හැකි වන පරිදි ජල සුරක්ෂිතතාව ඇති කළ යුතු ය. එමගින් වැල්ලවාය හා තනමල්විල කෘෂි කාර්මික ජනතාව බලාපොරොත්තු වන ප‍්‍රතිඵල ලබා ගත හැකි ය.

ඒ අතරතුර වගා බිම් අහිමි වූ හා දේපල විනාශ වූ ජනතාවට නිවැරදි ක‍්‍රමවේදයක් මත වන්දි ගෙවීම් සිදු කළ යුතු අතර ජලය අහමිි වූ සියලූ ම ජනතාවට විධිමත් පරිදි ජලය සැපයීමේ ව්‍යාපෘති කඩිනමින් කි‍්‍රයාත්මක කළ යුතු ය. අවතැන් වූ සියලූ ජනතාව නියමිත පරිදි නැවත පදිංචි කිරීම හෝ විකල්ප වගා බිම් ලබා දීම සදහා පියවර ගත යුතු ය.

මේ මගින් මෙම ව්‍යාපෘතියෙන් සිදු වන සමස්ත විනාශයන් අවම කර ගත හැකි වනු ඇත. එම තිරසර විකල්ප වලට පිවිසීමේ දී අපට යම් කැප කිරීමක් කිරීමට සිදු වේ. එය රටේ ජනතාවගේ පැවැත්ම වෙනුවෙන් කළ යුතු කැපකිරීමකි.

 සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරය 

 




Related News