தமிழ்
English
Contact
Saturday 17th February 2018    
හවුල් ආණ්ඩුව වෙනුවට, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

හවුල් ආණ්ඩුව වෙනුවට, එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමේ සූදානමක් !



පවතින රනිල්-මෛත්‍රී හවුල් ආණ්ඩුවේ පැවැත්ම පසුගිය පළාත්පාලන මැතිවරණයෙන් අභියෝගයට ලක්ව ඇති පසුබිම තුළ එක්සත් ජාතික පක්ෂය විසින් තනිව ආණ්ඩුවක් පිහිටුවන්නට සූදානම් වන බවට විශ්වාසදායක තොරතුරු ලැබෙමින් තිබේ.
එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි අප වෙත අනාවරණය කරණ ආකාරයට ඉහළ පෙළේ නායකයන් අතර කතාබහට ලක්ව ඇති උපක්‍රම කීපයක් හරහා එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවන්නට ඇති හැකියාව සලකා බලමින් තිබේ. එයින් එක් ආකාරයක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවක් පිහිටුවීමේ අවස්ථාවකට සහයෝගය දෙන්නට සූදානම් මන්ත්‍රීවරුන් පිරිසක් සම්බන්ධ කරගත් ආණ්ඩුවක් පිහිටුවිමයි. දැනටමත් ශ්‍රී.ල.නි.ප. ඇමතිවරු ඇතුළු මන්ත්‍රීවරු 12ක් මේ සම්බන්ධ සාකච්ඡාවකට සම්බන්ධ කරගන්නට එ.ජා.ප. නායකත්වයට හැකිව තිබේ. එසේම දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ඇතිව ආණ්ඩුවක් පිහිටුවීමේ අදහසක්ද එ.ජා.ප. නායකත්වය විසින් සළකා බලමින් තිබේ. කෙසේවෙතත් මේ තේරීම් දෙකම එතරම් පහසුවෙන් ළගාකර ගතහැකි තත්වයක් නොවන බවද එසේ පිහිටුවන ආණ්ඩු සහයෝගය දෙන පාර්ශ්වයට වරදාන දීමෙන් අර්බුදයට ලක්වන බවද සැළකිල්ලට ගනු ලැබ තිබේ. ඒ නිසා එ.ජා.ප. සුලුතර ආණ්ඩුවක් ප්‍රකාශයට පත් කිරීමේ අදහසක්ද එ.ජා.ප. නායකත්වය විසින් සළකා බලනු ලැබ තිබේ. වර්තමාන දේශපාලන අර්බුදයේ කේන්ද්‍රයේ දුෂ්කර තත්වයක සිටින ජනාධිපතිවරයාගේ සහයෝගය ඇතිව සුලුතර ආණ්ඩුවක් පිහිටුවන්නට එක්සත් ජාතික පක්ෂයට හැකිවනු ඇතැයි එහිදී යෝජනා වී ඇත. එක් පැත්තකින් ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය එ.ජා.ප. මූලිකත්වයෙන් සිදුවූවක් බැවින් එ.ජා.ප. ආණ්ඩුවක ආගමනය අභියෝගයට ලක් කරන්නට ජනාධිපතිවරයාට ඇති හැකියාව එහිදී සැළකිල්ලට ගෙන ඇත. එසේම මහමැතිවරණයකින් පසුව පිහිටවන ආණ්ඩුවක් වසරක ඇවෑමෙන් විසුරුවන්නට ජනාධිපතිවරයාට හිමිව තිබුණු බලතල පසුගිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණවලින් වසර 4 දක්වා දීර්ඝ කිරීම නිසා එවැනි අභියෝගයක් එල්ල නොවනු ඇතැයි එ.ජා.ප. නායකයන්ගේ අදහස වී ඇත. මේ නිසා ඉහත තේරීම් අතුරින් ඉක්මනින් තෝරාගන්නට හැකි මාර්ගයෙන් ආණ්ඩුවක් පිහිටුවන්නට මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ සූදානමක් පවතින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි අප වෙත අනාවරණය කරයි. එක්සත් ජාතික පක්ෂය හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතර ඇති දේශපාලන එකගතාවට පදනම වූයේ පසුගිය 2017 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ එකගතා ගිවිසුමකි. එම ගිවිසුම දීර්ඝ කිරීමේ කතාබහක් තිබුණද එවැන්නක් මේ දක්වා සිදු වී නැත. ඒ නිසාම  2015 ජනවාරි 8 වැනිදා පැවැති ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා බලයට පත් කිරීමටත් ඉන් අනතුරුව අගෝස්තු මහමැතිවරනයෙන් හවුල් ආණ්ඩුවක් බිහිකිරිමටත් පැවති එකගතාවය දැන් අහෝසි වි ඇත. ඒ නිසාම දැනට අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ යටතේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩකඩ විවිර වී ඇති බව එම පක්ෂයේ ඉහළ පෙළේ නායකයන් කිහිප දෙනකුගේ අදහස වි ඇත.

2014 වනවිට වංචාව, දූෂණය, මර්දනය පෙරටු කරගෙන ජනතා විරෝධී පාලනයක් ගෙන ගිය මහින්ද රාජපක්ෂ පළවා හැරීම පිණිස ජනතා බලවේග රාශියක් විසින් ආයාසයකින් ගොඩනැගූ ආණ්ඩු විරෝධය කොල්ල කා බලයට පත් වූ වත්මන් හවුල් ආණ්ඩුව වෙනුවට එළඹෙමින් ඇත්තේ තවත් දේශපාලන බල ක්‍රිඩාවකි. මේ අනුව එම ඊනියා වෙනසට දායක වූවන්ගේ කිසිදු සම්බන්ධයක්ද නොමැතිව එක්සත් ජාතික පක්ෂයේ සහ මෛත්‍රිපාල කල්ලියේ වගකීම් විරහිත පාලනයේ තුන් වැනි වසර ගෙවී යන්නේද තවදුරටත් දේශපාලන ගනුදෙනු හරහා රාජපක්ෂ පාලනයට නොදෙවෙනි ජනතා ද්‍රෝහී ක්‍රියාදාමයකින් බව පැහැදිලි වේ.