தமிழ்
English
Contact
Wednesday 13th December 2017    
අර්ජුන්ගේ මුදල් ගෙන බැදුම්කර කොමිසම හමුවේ කළ ප්‍රකාශය හෙළා දකිනවා – අතිරේක සොලිසිටර් ජනරාල් කියයි « Lanka Views | Views of the truth

අර්ජුන්ගේ මුදල් ගෙන බැදුම්කර කොමිසම හමුවේ කළ ප්‍රකාශය හෙළා දකිනවා – අතිරේක සොලිසිටර් ජනරාල් කියයි



මුදල් ගෙවන නිසා අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් කතා කරමින් ඔහුගේ උපදෙස් අනුව අදහස් දක්වමින් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් බදුගෙවන්නන්ගේ මුදල් නාස්ති කරන බවට කළ ප්‍රකාශය හෙලා දකින බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ අවධාරනය කරයි. මහබැංකු බැදුම්කර වංචාව පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ(22) කොමිසමේ කටයුතු ආරම්භ කරන්නට පෙරාතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහබැංකු බැදුම්කර වංචාව පිළිබද විමර්ශන කොමිසමට සහාය පිණිස පැමිනෙන නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් මහජන මුදල් නාස්ති කරන බවට අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන් පෙනී සිටිමින්  ජනාධිපති නීතිඥ රෝමේෂ් ද සිල්වා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසීය. අවසර ඉල්ලමින් ඔහු මෙසේද කීය.

“රොමේෂ් ද සිල්වා මහතා සිය සේවාදායකයාගේ ගෙවීම් ලබමින් ඔහුගේ උපදෙස් මත කටයුතු කරන බව සිහියේ තබාගෙන වුවද අප විසින් ඔහු කළ එම ප්‍රකාශය තරයේ හෙළා දකිනවා. අප විසින් අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් හරස් ප්‍රශ්න ඇසීමට කාලය ඉල්ලා සිටියේ බදුගෙවන්නන්ගේ මුදලින් වැටුප් ලබන බව සිහියේ තබාගෙනය. මින් පෙර අවස්ථාවකදී තවත් කෙනෙකු ප්‍රකාශ කර තිබුණේ අප මෙම කොමිසම හමුවේ කටයුතු කරන්නේ උසස්වීම් අපේක්ෂාවෙන් බවයි. අනෙකුත් රාජ්‍ය නිලධාරින් මෙන්ම අපද වැඩ කරන්නේ බදුගෙවන්නන්ගේ සහ මහජන මුදලින් ගෙවීම් ලබන්නන් ලෙසය. අප කිසිසේත්ම වංචනික ලෙස හෝ වෙනයම් අරමුනකින් එහි මුදල් අවභාවිත නොකරන්නට පරෙස්සම් වියයුතුය. ඒ මහජන මුදල් නිෂ්ඵල ලෙස නාස්තිවන්නේ නැති බවටද අපි සැලකිළිමත් වෙමු.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මෙම කොමිසම හමුවේ කටයුතු කරන්නේ අපගේ නියමිත රාජකාරිවලට අමතරවය. ඒ වෙනුවෙන් අපට ලැබෙන දීමනාව පවා නොගෙන සිටීමට අප පසුගිය මාර්තු මාසයේ එකගතාවයකට ආවේ මෙය මහජන අභිමථාර්ථයන් වෙනුවෙන් සිදුවන විමර්ශනයක් නිසාය.

මේ දක්වා හෙළිදරව් වී ඇති ආකාරයට සහ අප විශ්වාස කරන ආකාරයට අපගේ මෙම කාර්යය මේ රටේ මෙතෙක් සිදුව ඇති විශාලතම මුල්‍ය වංචාවක් හෙලිදරව් කිරිමේ අභිමථාර්ථය සදහා අපගේ වගකීම් ඉටුකිරිමක් ලෙසද අපි සළකමු. ඒ අතර අප විසින් සහාය වූ කාර්යයේදී මින් පෙර නොවූ විරූ මහා පරිමාණයේ නීති විරෝධී හා සාවද්‍ය ගනයේ වංචාවක් සිදුව ඇති බවට ප්‍රමානවත් තොරතුරු හෙලිදරව් කරගන්නට හැකිව තිබේ. අපි මේ විමර්ශන කොමිසමේදී අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න අසන්නට කාලය ඉල්ලා සිටින්නේ එම කාර්යයට හොදින් සූදානම් වීමට මිස මහජන මුදල් අවභාවිත කරමින් සුඛෝපභෝගි විනෝදයක් ලබාගන්නට නොවන බව ප්‍රකාශ කරමු.

අපගේ ව්‍යායාමය නිසා මෙම විමර්ශනයේ තොරතුරු මාධ්‍ය හරහා මහජනයාට හොදින් දැනගන්නට හා කරුනු අවබෝධ කරගන්නට හැකිව තිබේ. එම නිසා රොමේස් ද සිල්වා මහතාගේ ප්‍රකාශය අප විසින් තරයේ හෙලා දකින්නේ ඔහු මෙම කොමිසම හමුවේ සිය සේවාදායකයා වෙනුවෙන් කතා කරන්නට ගෙවීම් ලබන බවද අමතක නොකරමිනි.“