Posted on 02.06.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
අපරාධ රැසකට සම්බන්ධ බව පැවසෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ මරණය තහවුරු කර ගැනීම සඳහා ඔහුගේ සමීපතම ඥාතියකුගේ ඞී. එන්. ඒ. සාම්පලයක් ලබා දෙන ලෙස ඉන්දීය ජාතික විමර්ශන ඒකකය මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර ඇත.
ඒ අනුව අංගොඩ ලොක්කාගේ මවගේ ඞී. එන්. ඒ. සාම්පලයක් ලබාගෙන එය ඉන්දීය ජාතික විමර්ශන ඒකකය වෙත යැවීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසා තිබේ.
අංගොඩ ලොක්කා ප්‍රදීප් සිං යන නමින් ඉන්දියාවේ පෙනී සිටි ඇති අතර ඔහු සිය පෙම්වතියක අතින් ඝාතනයට ලක් වූ සැක කෙරිණි.
මෙහිදී මරුමුවට පත් වූයේ අංගොඩ ලොක්කා ද යන්න තහවුරු කර ගැනීම සඳහා ඉන්දීය ජාතික විමර්ශන ඒකකය මේ වන විට විමර්ශනයක් පවත්වාගෙන යයි.
කළුතර එතනමඬල දී බන්ධනාගාර බස්රථයකට ප්‍රහාර එල්ල කර පාතාල නායක සමයං ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙය වූ අංගොඩ ලොක්කා ඉන්දියාවට පලා ගොස් තිබුණි.
ලංකාවේ විවිධ අපරාධවලට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින පුද්ගලයන් ඉන්දියාවට පලා යාමේ සිදුවීම් බහුලව වාර්තා වීම සම්බන්ධයෙන් සමාජයේ අවධානය යොමුව තිබේ. අංගොඩ ලොක්කා නමැති පුද්ගලයාට අමතරව මෑතකදී චන්ද්‍රිකා බණ්ඩාරනායකට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමට සම්බන්ධ යයි සැකකෙරෙන කිඹුලා ඇලේ ගුණා නමැති පුද්ගලයෙකුද ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. එසේම පාස්කු ප්‍රහාරයේ සැකකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ද ඉන්දියාවට පලා ගොස් ඇති බවට මත පළවේ. ලංකාවේ අපරාධකරුවන් සමඟ ඉන්දියාවේ ඔත්තුසේවය වන රෝ ඔත්තු සේවය සම්බන්ධතා පවත්වමින් සිටින බව සහ එම අපරාධ ලංකාවේ දේශපාලනය හැසිරවීම සඳහා යොදාගනිමින් සිටින බවට සමාජය තුළ සංවාදයට ලක්වෙමින් තිබේ.