Posted on 09.14.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපති ලෙස හිටපු මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණ සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් විසින් අද (14) කොළඹ අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ගොනු කළ පෙත්සමින් සදහන් වන්නේ 2006 ජූලි සිට 2015 ජනවාරි දක්වා කාල සීමාව තුළ මහ බැංකු අධිපති ධූරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් පොදුජන පෙරමුණ නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස 2021 සැප්තෑම්බර් 13 දින දක්වා කටයුතු කර ඇති බවය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් බැඳුම්කර වංචා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිෂමක් පත් කළ බව ද, එහි නිර්දේශයක් ලෙස සිදු කළ වෝහාරික විගණන වාර්තාව මගින් වගඋත්තරකාර අජිත් නිවාඩ් කබ්රාල් සම්බන්ධයෙන් කරුණු ගණනාවක් හෙළි කර ඇති බවද පෙත්සම්කරු කියා සිටී.
බැදුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් සොයා ජනාධිපති විමර්ශන කොමිෂන් සභා අවසන් වාර්තාවේ නිර්දේශයක් මත සිදු කළ වෝහාරික විගණන වාර්තාවේ නිර්දේශ මත අජිත් නිවාඩ් කබ්රාල් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රකාශ සටහන් කරන ගන්නා ලෙසටත් , ඔහුට විරුද්ධව නඩු පැවරීම් කටයුතු කරන ලෙසට නියෝග කරමින් නීතිපතිවරයා සහ පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමින් ඉල්ලා ඇත.
පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති , පොලිස්පති , අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, මහ බැංකු නියෝජ්‍ය අධිපති ටී.එම්.ජේ.වයි.පී .ප්‍රනාන්දු නම් කරනු ලැබ සිටිති.