தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
අත්‍යවශ්‍ය ඖෂධ හිගය ඇමතිගේ පුරසාරම්වලින් යටපත්කරන්න එපා! -නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අත්‍යවශ්‍ය ඖෂධ හිගය ඇමතිගේ පුරසාරම්වලින් යටපත්කරන්න එපා! -නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය



ඖෂධ වර්ග 60ක් මිල ඉහළ දැමූ බව කීවද ඇත්ත වශයෙන්ම රෝගීන් විසින් වෙළදපොළේදී මිලයට ගන්නා ඖෂධ වර්ග 131ක මිල ගණන් ඉහළ දමා ඇති බව ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’ පවසයි.
මේ බව අනාවරණය වූයේ නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’ විසින් පසුගිය 23 වැනිදා කොළඹදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙම මාධ්‍ය හමුවේ්දී අදහස් දැක්වූ වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු පළ කළ අදහස් මෙසේ කෙටියෙන් සටහන් කරමු.

“නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’ විසින් මේ මාධ්‍ය හමුව යොදාගන්නේ මේ වනවිට සෞඛ්‍ය සේවයේ උද්ගත වී ඇති ගැටලු කිහිපයක් පිළිබද සාකච්ඡා කරන්න, ජනතාව වෙනුවෙන් අදහස් පළ කරන්න. මුලින්ම රජයේ ගැසට් පත්‍රයෙන් ඖෂධ වර්ග 60 මිල 20%කින් ඉහළ දමා තිබෙනවා. ඖෂධ වර්ග 60ක් ලෙස සදහන් වුවත් වෙළදපොළේදී විවිධ හේතු මත සහ විවිධ වෛද්‍ය නිර්දේශ අනුව ලබාගන්නා ඖෂධ වර්ග 131ක මිල මේ ගැසට් නිවේදනය අනුව ඉහළ දමා ඇත.

ඒ අතුරින් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සහ නිතර භාවිතයට ගන්නා ඖෂධ. ඒ අතුරින් ඖෂධ වර්ග අතුරින් ප්‍රතිජීවක ඖෂධ වර්ග 9ක් රෝගීන්ට නිතර අවශ්‍ය වේ. එසේම අධි රුධිර පීඩනය සදහා භාවිත කෙරෙන ඖෂධ වර්ග 8ක් එසේම හෘද රෝග හා දියවැඩියා රෝගීන්ට භාවිත කරන ඖෂධ වර්ග මෙසේ මිල වැඩිකර දමා ඇත. විශේෂයෙන් හෘද රෝගින් , අධි රුධිර ඵඩනය හා දියවැඩියා රෝගීන් භාවිත කරන මේ ඖෂධ වර්ග දිගුකාලීන භාවිතය සදහා වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වර්ග වේ. බොහෝ විට මෙවැනි රෝගීන් යනු විශ්‍රාමිකයන් හෝ වෙනත් අඩු ආදායම් සහිත රෝගීන්ය. ඇතැම් විට මෙම ඖෂධ සදහා ගෙවූ පසුව ඔවුන්ට ඉතිරිවන්නේ යාන්තමට ජීවත්වන්නට මුදලක් පමණකි.

මෙසේ 20%ක් මිල ඉහළ නැංවීම නිසා වෙනදා රු. 1000ක ඖෂධ මිලයට ගන්නා රෝගීන්ට රු. 1200ක් වැය කරන්නට සිදුවන අතර රු. 2000ක ඖෂධ වියදමක් දරන රෝගින්ට රු. 2400ක් වැය කරන්නට සිදු වේ. මේ ආකාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගෙන ඇති තීරණ නිසා දරුවන්ගේ පණු පෙත්තේ සිට, පැරසිටමොල් පෙත්තේ සිට මිල ගණන් ඉහල ගොස් ඇත. මේ නිසා ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’ වශයෙන් මේ සම්බන්ධව දැඩි විරෝධය පළ කරනවා. මේ ගැසට් නිවේදනය වහා අහෝසිකර මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙස අපි ආණ්ඩුවට බලකර සිටිනවා. පසුගිය කාලයේ සෞඛ්‍ය ඇමතිවරයා රටපුරාම වෛර්ණ පෝස්ටර් ගහලා ප්‍රචාරයක් ගෙන ගියා, පුවත්පත් පිටු පුරා විශාල විදමක් දරමින් දැන්වීම් පළ කළේ ඖෂධ මිල අඩු කළා කියලා. තවමත් විශාල ප්‍රමාණයේ දැන්වීම් පුවරු ප්‍රදර්ශනය වෙනවා. නමුත් දැන් මේ ජනතාවට විශාල අපහසුතා රැසක් නිර්මාණය කළ දුෂ්කර කාලයක මේ ආකාරයෙන් ඖෂධ මිල ගනනුත් ඉහළ දැමීමෙන් තවදුරටත් කබලෙන් ලිපට ඇද දමා තිබෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවයක් මේ රටේ පවතින බව ඇමතිවරයා පුරසාරම් කියනවා, නමුත් රෝගී ජීවිත මරණය කරා තල්ලුකරන සැලැස්මක් ක්‍රියාත්මක වෙන්නෙ. සෞඛ්‍ය ඇමතිවරයා කිව්වෙ තමන් ඇමතිකමට එන්න කලින් අත්‍යවශ්‍ය ඖෂධ 48 සිට 72ක් දක්වා ඖෂධ හිගයක් තිබුණ නමුත් ඒ හිගය අවසන් කළා කියලා. නමුත් අපි පැහැදිලිව දන්නවා, පසුගිය කාලෙ ඇමතිවරයාම ඖෂධ හිගයක් ගැන නැවත නැවත කතා කළා. දැන් සාමාන්‍යයෙන් නිතරම අවශ්‍යවන ඖෂධ පවා හිගවන තත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් අධි රුධිර පීඩනයට භාවිතකරන ‘ලොසාටන්’ වැනි ඖෂධයක් රෝහල්වලට ලබා දෙන්නෙ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයෙන්. වසරකට අවශ්‍ය ප්‍රමාණය ලක්ෂයක් නම්, කාර්තුවකදි එය අවශ්‍ය ප්‍රමාණය සළකා බලලා එක්වර නිකුත් කරනවා. ඒ නිසා කාර්තුව අවසානය ආසන්නවනවිට ඖෂධය අවසන් නම් නැවත සපයන ලෙස ඉල්ලුම් කළ හැකියි. නමුත් දැන් සිදුවෙන්නෙ සති දෙක තුනකට අවශ්‍ය ප්‍රමාණය වෛද්‍ය සැපයුම් අංහයෙන් නිකුත් කිරීමයි. ඖෂධය අවසන් විණාම නැවත ලබා දෙන්න ඔවුන් වෙත මෙමෙ ඖෂධ තොග නෑ, යම් කාලයක් ගත වෙනවා ඒවා ගෙන්වා ගන්න. ඒ අතරතුර රෝගීන්ට එම ඖෂධය නිකුත් නොකරන නිසා බාහිර ඖෂධහල්වලින් මිලයට ගන්න සිදුවෙනවා. සායනවලදි ඖෂධය නිකුත් නොකරනවිට හිගයක් පවතින බව දැනගන්නා රෝගින් පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නවා. ඊළග සායන දිනයෙදි ්වා නිකුත් කළත් රෝගින් විසින් ඔෂධ හිගයක් සළකා බලමින් මිලයට ගන්නා නිසා එයින් රෝගියාට වාසියක් නෑ. මේ වරින්වර ඖෂධ හිගයන් මතුකර රෝගීන් පෞද්ගලික ඖෂධ අලෙවිහල්වලට යොමුකරමින් නිදහස් සෞඛ්‍ය සේවය පිළිබද විශ්වාස බිදවට්ටවන්න සැලැස්මක් ක්‍රියාවට නංවා තිබෙනවා. නමුත් ඖෂධය හිග වෙලා තිබුණත් වරින්වර ඖෂධ තොග නිකුත් වෙන නිසා මෙවැනි ඖෂධ හිගයක් ඇති බවට දිගින් දිගට හඩක් නගන්න නොහැකියි. මේ නිසා මාධ්‍යවේදින්ට ආරාධනා කරනවා ගවේශනාත්මකව මේ ඖෂධ හිගය සම්බන්ධව ජනතාවට මුහුණ දෙන්න සිදුවන ගැටලු සම්බන්ධව කරුණු අධ්‍යයනය කරලා සත්‍ය තත්වය වාර්තා කරන්න කියලා. ඉදිරියේදී ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’වහයෙන් මෙම ඖෂධ හිගයට අදාළ කරුණු තවදුරටත් අනාවරණය කරන්න අපි උත්සාහ කරනවා.

ඒ වගේම මහරගම අපේක්ෂා රෝහල තුළ රෝගීන්ට මුහුණ දෙන්න සිදුව ඇති තත්වය පිළිබදවත් අපි අවධානය යොමුකරන්න කැමතියි. මහරගම පිළිකා රෝහල කියන නම වෙනස් කරලා ‘අපේක්ෂා’ රෝහල ලෙස හදුන්වන එකේ තේරුම රෝගීන්ට අපේක්ෂා ඇති කිරීමයි. නමුත් අදවනවිට එහි සියලු පිළිකා රෝගීන්ට අපේක්ෂාභංගත්වයක් ඇතිකර තිබෙනවා. අද එම රෝගීන්ට අත්‍යවශ්‍යවන ඖෂධ නොමැති තත්වයක් තිබෙනවා. ප්‍රති පිළිකා ඖෂධ වර්ග ගණනාවක හිගයක් තිබෙනවා. එපමණක් නොවේ, නිතර භාවිතවන ප්‍රතිජීවක ඖෂධ හිගයකුත් අපේක්ෂා රෝහල තුළ තිබෙනවා. ඒ වගේම පිලිකා රෝගීන්ට පිළිකා නිසාත් ඔවුන්ට සිදුකරන සංකීර්ණ ශල්‍යකර්ම නිසාත් ඇතිවන වේදනාව දුරුකරවන්නට වේදනා නාශක ඖෂධ ලබාදිය යුතු නමුත් අපේක්ෂා රෝහලේ එවැනි වේදනා නාශක ඖෂධවල බරපතළ හිගයක් දක්නට ලැබේ. අඩම ගානෙ ට්‍රැමඩෝල් වැනි පෙති, මෝෆීන් වැනි ඖෂධ පවා හිගයක් තිබෙනවා. විශේෂයෙන් හදිසි ආසාත්මිකතාවලදී භාවිතකරන ඩෙක්සාමෙට්සෝන් වැනි ඖෂධ අපේක්ෂා රෝහලේ නැත. ඒ නිසා මේ තත්වය සැහැල්ලුවෙන් ගන්නට නොහැකියි. ඇමතිවරයා විසින් මාධ්‍ය ප්‍රචාර ලබා ගනිමින් ගෙන යන තත්වයට වඩා ඇත්ත තත්වය වෙනස්. ඒ නිසා සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ගෙන යන මේ ව්‍යාජ ප්‍රචාර යටතේ ඇත්ත තත්වය වසන් කිරීම ගැනත් අවශ්‍ය ප්‍රමුඛතා නොසළකා හැරීම ගැනත් අප ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය’ වශයෙන් දැඩි විරෝධයක් පළ කරනවා.

විශේෂයෙන් විවිධ සිදුවීම් හා අවස්ථා සදහා ජනමාධ්‍ය ඔස්සේ විවිධාකාරයෙන් අවධානය නිර්මාණය කරනු ලබනවා. නමුත් ඒ තුළ ජනතාව දෛනිකව මුහුණ දෙන නිරන්තරව පීඩාවට ගොදුරුවන සියලු කාරණා යටපත් කිරීමේ තත්වයක් තිබෙනවා. දේශපාලන වශයෙන් පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ දායකත්වයෙන් මෙම ජනතාවගේ අවශ්‍යතා යටපත් කිරීමේ දේශපාලනයක් ක්‍රියාත්මකවන බව අප අවධාරණය කරනවා. ඇමතිවරයාට අපි අවධානය යොමුකරන්න කැමතියි, ඔබේ පම්පෝරි සහ කයිවාරු නෙවෙයි, රෝගී ජනතාවට අවශ්‍ය දේ ලබා දෙන්න පියවර ගන්න.”