தமிழ்
English
Contact
Tuesday 28th September 2021    
අධ්‍යාපනය ගැන ඇත්ත උවමනාවක් ආණ්ඩුවට තියෙනවා නම්, ගුරු ප්‍රශ්න ඉක්මනින් විසඳිය යුතුයි! - සංජීව බණ්ඩාර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධ්‍යාපනය ගැන ඇත්ත උවමනාවක් ආණ්ඩුවට තියෙනවා නම්, ගුරු ප්‍රශ්න ඉක්මනින් විසඳිය යුතුයි! – සංජීව බණ්ඩාර



මේ වනවිට දිවයින පුරා ගුරුවරු සහ විදුහල්පතිවරු ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් අරගලයකය නිරත වෙමින් සිටිති. විශේෂයෙන් වසර 24ක් පුරා පවතින වැටුප් ගැටලුවකට මුහුණ දෙමින් සිටින බව කියන ගුරුවරු වරින්වර ආණ්ඩු කිහිපයකින් කළ ඉල්ලීම්වලට සාර්ථක විසඳුමක් නොලැබීම නිසා අවසානයේ දැඩි ලෙස තීන්දුවක් ගෙන ඇත්තේ සාධාරණ විසඳුමකින් මෙපිට අරගලය අත් නොහරින බවටය. ගුරුවරු හා විදුහල්පතිවරු සිය වැටුප් සඳහා පමණක් නොවන බව ඔවුන්ගේ විරෝධතා දෙස බැලීමේදී පෙනී යයි. ඒ අතරම ඇතැම් පාර්ශ්ව මෙය අසාධාරණ අරගලයක් බවද මේ වසංගත අවස්ථාවේ මෙවැනි අරගලයක් සුදුසු නැති බවද කියති. ඒ නිසාම මෙම දැවැන්ත ගුරු අරගලය පිළිබඳ පැති කිහිපයකින් පැහැදිලි කරුණු පැහැදිලි කරගැනීමට අවශ්‍ය විය. ‘ලංකාවිව්ස්’ වෙබ් අඩවිය ඒ වෙනුවෙන් ඒකබද්ධ ගුරු සේවා සංගමයේ ලේකම් සංජීව බණ්ඩාර සමග කළ සාකච්ඡාව පහත පළ වේ.

ගුරුවරු මොකද වැඩි වැටුප් ඉල්ලන්නේ මේ වෙලාවෙ හැමෝම අමාරුවෙන්නේ ඉන්නේ?

ඔව් අපි මේ ප්‍රශ්නෙ පටන්ගන්න ඕනත් ඔතනින් තමයි. සමාජයක් විධියටම අපි මේ වෙලාවෙ බරපතල ප්‍රශ්න ගොඩක ඉන්නේ, එක පැත්තකින් වසංගතය, අනික් පැත්තෙන් ආර්ථිකය බිද වැටිලා, ඒවගේම අනාගතය ගැන දැඩි අවිනිෂ්චිත තාවයක ඉන්නේ, හරි දැන් මේ වගේ වෙලාවක කොහොමද මේකෙන් ගොඩ එන්න ඕන. පළවෙනි දේ තමයි මේ වගේ වෙලාවක මිනිසුන්ට තියෙන සාමාජ සුරක්ෂිතතාව වැඩි කරන එක එහෙම නැත්නම් අඩුම තරමේ පවතින සමාජ සුරක්ෂිතතාව ආරක්ෂා කරන ගන්න ගමන් ආර්ථිකය පුළුල් කිරීමට වැඩපිළිවෙළක් යෙදීම.

එතනදි සමාජ සුරක්ෂිතතාව පැත්තෙන් මිනිසුන්ට අදාල ප්‍රධාන ක්ෂේත්‍ර දෙක වෙන්නේ සෞඛ්‍ය හා අධ්‍යාපනය. ලංකාවේ ගත්තොත් මේ වන විට මිනිස්සු රජයෙන් කියල ලබා ගන්නේ ප්‍රධාන වශයෙන් ඔය දෙකනේ, ඉතින් ඔය දෙකේ සුරක්ෂිතතාව මේ වගේ වෙලාවක ඉතාම වැදගත්, අපි හිතන විධියට මේ ගුරු අරගලය මේ මොහොතට අදාල වෙන්නේ ඒ පැත්තෙන්,

දැන් ඔබ ඔහොම කියකොට ආණ්ඩුව කියනවා මේක කාලකණ්ණිකමක් කියලා?

අපිට මෙහෙම කියන්න පුළුවන්, සාමාන්‍යයෙන් දැන් තියෙන ක්‍රමේ තමයි, ආර්ථික අර්බුදයක් ආපු වෙලාවට පළවෙනියෙන්ම ආණ්ඩුවල ඇහැ යන්නේ සමාජ සුබසාධන කපා දමන්න, එහෙම තමයි ආණ්ඩු සල්ලි ඉතිරි කරගන්න යන්නේ, නමුත් ඒක හරිම අසාධාරණයි. සාමන්‍ය කාලෙක මේ අරගලය ගත්ත කියමුකෝ ඒත් ඕකම කියනවා, ආණ්ඩුවට කොහෙන්ද සල්ලි, මතක් කරගන්න ඕන දේ තමයි ආණ්ඩුවක් ප්‍රධාන වශයෙන්ම බදු අය කරන්නේ සමාජ සුභසාධන පවත්වාගෙන යන්න, ඉතින් සාමාන්‍ය කාල කියල පසුගිය අවුරුදු 73කම කිසිම කාලෙක දැන් ආර්ථිකය හොඳයි ඒ නිසා මිනිස්සුන්ගෙන් බදු අඩු කරන්න ඕන කියල බදු අඩු කලාද? නෑනේ වැඩි කරා මිසක්, අපේ රටේ සමස්ථ බදු ආදායමෙන් 90% ඍජු බදු, ඉතින් මේවගෙන් කරන්න ඕන ප්‍රධානම වැඩේ තමයි නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය සුරක්ෂිත කිරීම නමුත් අපි දන්නවා එන්න එන්න වුනේ අධ්‍යාපනයට වෙන් කරපු මුදල් කපපු එක. 1976 වගේ කාලෙක 5%ට වැඩි අගයක තිබුණ මෙම ප්‍රතිශතය අද 1% ට ලං වෙලා තියෙනවා. ඒ නිසා රට අමාරුවේ කියලා හැම වෙලාවෙම ඒකෙ බර දීල තියෙන්නේ සාමාන්‍ය මිනිහට ගුරුවරයත් ඒ ගොඩේ. අනික දැන් ඔය තෙල් මිල ලෝක වෙලදපොලේ දිගටම පහුගිය කාලේ අඩු වුණා ඉතින් ඒ සහන හම්බවුනාද මිනිස්සුන්ට. මේක ඇත්තටම සමාජ ඉල්ලීමක්.

ගුරු වැටුප එක්ක පාසලේ තත්වය ඉහළයාම දෙමාපියන්ට කොයි තරම් සහනයක්ද? ඒ නිසා මොන පැත්තෙන් ගත්තත් මේ වෙලාවේ මේ ප්‍රශ්නෙන් මග හැරෙන්න බෑ. ලෝක මට්ටමින් ගත්තත් වෙන රටවල ගුරවරුන්ගේ වැටුප් උදාහරණ කිහිපයක් කියන්නම්, ග්‍රීසියෙ – ලංකා රුපියල් වලින් ගත්තොත් ලක්ෂ හතරට වැඩියි, තුර්කිය, කොස්ටරිකාව, චිලී, ඉතාලිය මේ වගේ රටවල ලක්ෂ හතරට වැඩියි. ඉන්දියාවෙ ගත්තත් ලක්ෂයට එහා ලංකාව තියෙන්නේ ඉතාම පහළ තැනක. ඉතින් අර ආණ්ඩුවේ හිටපු අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම කිව්වා වගේ මේ වගේ වැටුපකට වැඩ කරන එක ගැන ගුරුවරුන්ට පින් දෙන්න ඕන, එහෙම නොදි තීබීම තමයි කාලකණ්ණිකම. අවුරුදු 24 ක් ඒක නිවැරදි නොකරපු එක තමයි කාලකණ්ණිකම. එහෙම දෙනවා කියලා පොරොන්දු වෙලා ඒකෙන් ගුරවරුන්ගේ ඡන්ද අරගෙන දැන් ගුරුවරුන්ට කාලකණ්ණි කියන එක තමයි කාලකණ්ණිකම.

මොකක්ද ඔය විෂමතාව?

මම ඔය ප්‍රශ්ණට උත්තර දෙන්නම් ආණ්ඩුවේම ලියවිල්ලකින්, මේ තියෙන්නේ ආණ්ඩුව විසින්ම මෙම ගැටලුව විසදීමට ගෙන ආ ‘සුබෝධනී’ කමිටු වාර්තාවේ ඕකට තියෙන උත්තරය, පිටු අංක දෙක, මෙන්න මේකයි ප්‍රශ්නෙ,

“1997 සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය පිළිබදව සලකා බැලීම සදහා පත්කළ බී. සී. පෙරේරා කොමිස් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවට අනුව රා.ප.ව. 2/97, 2/97(II) හා 2/97(III) යන චක්‍රල්ඛ නිකුත් කරන ලද අතර, මෙම චක්‍රලේඛ මගින් ගුරු හා විදුහල්පති සේවාවන් හැර සමස්ථ රජයේ සේවකයන්ගේ වැටුප් 60% කින් ඉහළ නංවා ඇත. රා.ජ.ව.2/97(III)හි 3.10 වගන්තියේ ‘ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය, ශ්‍රී ලංකා විදුහල්පති සේවය, සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ යන සේවාවන්ට අදාළ වැටුප් පරිමාණ පසුව දන්වනු ලැබේ.’ යනුවෙන් සදහන් කර ඇත. ඒ අනුව සමස්ථ රාජ්‍ය සේවයේ නිලධාරින්ගේ සේවා සියල්ල සැලකිල්ලට ගෙන වැටුප් සංශෝධනය සිදු කළ ද ගුරු, විදුහල්පති සේවාවන් වෙනත් සේවාවන් සමග සංසන්දනය කළ නොහැකි බැවින් එම අවස්ථාවේදී ද මෙය සුවිශේෂී වූ සේවාවක් ලෙස සලකා වැටුප් වැඩි කිරීම සලකා බලා නොමැති බව ගම්‍ය වේ.”

මේක තමයි කතාව. දැන් මේ අසාධාරණය වෙලා අවුරුදු 24ක්, අනිත් කාරනේ තමයි. ගුරු සේවය දීප ව්‍යාප්ත සේවාවක් බවට පත් කරනකොට ඒ කියන්නේ අනෙක් දීප ව්‍යාප්ත සේවා හා සම තත්වයේ තියනකොට ඒකට පදනම් වූ කාරණාව තමයි ගුරු සේවයේ ගුණාත්මකභාවය වැඩි කිරීම. දැන් ඔය සුබෝධනී කමිටු වාර්තාවෙන්ම කියනවා දැනටත් විශේෂයෙන් ගණිත විද්‍යා වගේ විෂයන්ට මේ වන විටත් දැඩි ගුරු හිගයක් තියෙනවා ඒකට හේතුව තමයි වැටුප් ආකර්ෂණීය නොවීම ඇත්තටම ගත්තොත් වැටුප් ප්‍රමාණවත් නොවීම. අපි මේ කියන්නේ සාමාන්‍ය ශ්‍රමික කම්කරුවෙක්ගේ වැටුප සලකලා එයාට වැඩි වැටුපක් අපිට ලැබෙන්න ඕන කියන එක හරි ගුරවරු වෙනම කුලකයක් විධියට ගෙන සලකන්න කියලා නෙවෙයි. මෙතන තියෙන ප්‍රශ්නෙ සමාජයේ අධ්‍යාපන ඉහළම සුදුසුකම් සහිත අය ගුරු සේවයත් දකින්න තමන්ට තෝරාගන්න වෘත්තියක් විධියට ඒක වෙන එක තැනක් තමයි වැටුප.

හැම වෘත්තියකටම අදාල මූලික පදනම් හැදෙන්නේ පාසලින් ඉතින් පාසලට එහි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට ඉහළම අවධානයක් ලබා දීම වැරදිද? විය නොයුත්තක්ද? ඒකයි අපි කියන්නේ මේක මේ රටේ අනාගතය එක්ක බැදුන ප්‍රශ්නයක්. මම මේ ලගදි පින්ලන්ත අධ්‍යාපනය ගැන සාකච්ඡාවකදී දැක්කා පින්ලන්ත අධ්‍යාපනයේ තියෙන සුවිශේෂම ලක්ෂණයක් තමයි තනි තනි ළමයා කෙරෙහි දක්වන සැලකිල්ල. ගුරු අධ්‍යාපනයේදි මේක

හදුන්වන්නේ අන්තර්කරණ අධ්‍යාපනය කියලා. මේකෙන් කියන්නේ සියලු වෙනස් කම්නොසලකා සියලු ළමයි පන්ති කාමරයේ එකට ඉගැන්විය යුතු බව. දෛවෝපගත විධියට ස්පාඥයේ සලමන්කා නුවර පැවැති සම්මන්ත්‍රණයකදී මේක සම්මත කරන්නේත් 1994දි. ඉතින් ලංකාවේ ගුරුවරුන්ට දැන් බොහෝ දෙනෙක් දොස් නගනවා දක්ෂ ළමයි එක්ක විතරක් ඉස්සරහට යනවා කියලා. මේක වෙන්නේ කොහොමද? ගුරුවරුන්ට කල්පනා කරන්න වෙලා තියෙන්නේ ගෙදර ණය ගෙවන්නේ කොහොමද? බිල් ගෙවන්නේ කොහොමද? තමන්ගේ දරුවට අධ්‍යාපනයට වියදම් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔය ප්‍රශ්නයි ඔය බොරු කොළ පිරවිලියි පාසලට බාරදෙන වෙන අමාත්‍යංශවල වැඩයි එක්ක කොහොම ද එහෙම හොද අධ්‍යාපනයක් දෙන්නේ. ඒකයි මේ වැටුප් විෂමතාව ඉවත් කරන්න කියන්නේ.

මේක මේ ආණ්ඩුවට විරුද්ධ කඩාකප්පල්කාරී වැඩක්ද?

නෑ. මම කලිනුත් කිව්වා ඉහත උපුටා ගත්තෙත් ආණ්ඩුවම ගෙනපු වාර්තාවක මේක පිළිගන තියෙන හැටි, අනික මේක එයාලගේම මැතිවරණ පොරොන්දුවක්, ඉතින් අපි කියන්නේ ඒ පොරොන්දුව ඉෂ්ඨ කරන්න කියලා,

ඉතින් ඔය ආණ්ඩුවේ වෘත්තිය සමිතියේ ඉන්න (පොහොට්ටුවේ) හඳපාන්ගොඩ මහත්මිය කියනවනේ ඒ අය මේක විසදනවා, මේ උද්ඝෝෂණ කරන්නේ ඒක විසඳන බව දැනගෙන කියලා?

මේක විසඳනවා නම් ඉතින් මේ උද්ඝෝෂණත් ඒ ගොල්ලන්ට ආශිර්වාදයක් කරගන්න පුලුවන්නේ, කරන්න තියෙන්නේ එක දෙයයි, ජනාධිපතිට හරි කාට හරි කියන්න තියෙන්නේ ‘ඔව් අපි මේ ප්‍රශ්නෙ විසඳනවා, මේක අපේ පොරොන්දුවක්, අපි මෙන්න මේ විධියට මේ විෂමතාව අයින් කරනවා’ කියලා, නමුත් ඒක නෙවෙයිනේ වුනේ, හදපාන්ගොඩ මහත්මිය ගිය අයවැයට කලින් කිව්වා මේක ගිය අයවැයෙන් අනිවාර්යෙන් විසදනවා කියලා, ඉතින් ඒ අයට ඡන්දය දුන්න බහුතර ගුරුවරුත් අනිත් ගුරුවරුත් බලාගෙන හිටියා මේක විසදයි කියලා ඒත් විසඳුවේ නෑ. පොරොන්දු විතරයි, ඉතින් දැනුත් මේ පිළිබඳ අඩුම තරමේ අගමැති මට්ටමට සාකච්ඡා ලැබුනේ කොහොමද? උද්ඝෝණ නිසා. ඉතින් ඔය ගැන තවත් මොන කතාද?

වෘත්තිය සමිති මේකට මැදිහත්වෙන්නේ දේශපාලනේ කරන්නද?

ඔව්, වෘත්තිය සමිති කියන්නෙම දේශපාලන සංවිධාන, සමහර ඒවා කෙලින්ම දේශපාලන පක්ෂ එක්ක සම්බන්ධයි අනික්වා පක්ෂ සමග සම්බන්ධ නැති වුනාට ඒවගෙ මිනිස්සු සංවිධානය වෙලාම ඉන්නේ දේශපාලන කාරණා වලට තමයි, මොකක්ද දේශපාලනය කියන්නේ, සමහරු හිතන් ඉන්නේ දේශපාලනය කියන්නේ ඡන්දෙ දෙන එක විතරයි කියලා, ඒ ගොල්ලන්ට එහෙම හිතන එක ලේසියි තමන්ගේ දෙබිඩිකම වහගන්න. නමුත් අපි කියන්නේ හැම දේම දේශපාලනිකයි. මේ ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳනවා කියල සෞභාග්‍යයේ දැක්මට දාපු එක දේශපාලනිකයි. ඒ වගේම ඒක ඉෂ්ඨ කරන එක මග හරිනකොට ඒකට එරෙහිව ගුරුවරු විධියට පක්ෂ භේදයකින් තොරව හැම වෘත්තිය සමිතියක්ම එකතුවෙලා ඊට විරෝධය දක්වන එකත් දේශපාලනේම තමයි. ඒක තමයි මේ වෙලාවේ වෘත්තිය සමිති වල දේශපාලනේ, දින 16කට වැඩි කාලයක් දිවයිනේ හතර දිග්භාගෙ ගුරුවරු දහස් ගණනින් පාරට බහින්නේ ඒ දේශපාලනය වෙනුවෙන්.

ගුරුවරු විධියට වර්ජන කරන එක හරිද? අනික වසංගතයක් තුළ?

මම මුලින්ම කිව්වා මේ අරගලය හුදු වැටුප් වැඩි කර ගනීමක් නෙවෙයි, මේක නිදහස් අධ්‍යාපනයේ හෙට දවස එක්ක බැඳිලා තියෙනවා, ඒ වගේම මේ වැටුප් ගන්න ගුරවරයා ඉදිරියේදී නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කිරීමට බැඳෙනවා, ඔවුන් මේ රටේ දරුවන් හා බැඳෙනවා තමන්ට සැලකිය යුතු ප්‍රමාණවත් වැටුපක් ලැබෙන විට මේ රටේ සුවසක් මිනිස්සු ගෙවන බදු මුදල් වලට තමන්ට හැකි උපරිමේ කරන්න. දැනටත් මේ සොච්චම් වැටුපෙන් එහෙම කැපකිරීමක් ගුරුවරු කරන නිසා තමයි අද අපේ රටේ පාසල් පද්ධතිය මේ විධියට හරි රැඳිලා තියෙන්නේ. අපිත් දන්නවා සමහර ගුරුවරුන්ගේ විවිධ අඩුපාඩු තියෙන්න පුළුවන්, අනික මේ පවතින ආර්ථික අහේනිය, ඔබත් කිව්වනේ මුලදි එහෙම එකක් තියෙනවා කියලා, ඉතින් ගුරවරුන්ටත් එක් බලපාල විශාල පිඩනයකින් තමයි පාසල් වල ඉන්නේ කොල පුරව පුරවා තේරුමක් නැති ගුරුවරුන්ට අදාල නැති විශාල රාජකාරි මැදයි ගුරුවරු මේ අධ්‍යාපනය මේ මට්ටමින් හෝ පවත්වාගෙන යන්නේ.

අවුරුදු දෙකකට ආසන්න කාලයක් තමන්ට ජීවත් වෙන්න ලැබුනු වැටුපෙන් ඒවා අඩු කරගෙන නැත්නම් ණය වෙලා, කම්පියුටර් අරගෙන, සුදුසු දුරකතරන අරගෙන, කැමරා අරගෙන මයික් අරගෙන ඩේටා වලට ගෙවාගෙන විදුහල්පතිවරුත් එකක එකතුවෙලා ගුරුවරු තමයි මේ ඔන්ලියින් අධ්‍යාපනය පවත්වාගෙන ආවේ, එතනිනුත් 60%ක ළමයි පරිසක් හැලුනා ඒක ගැන ගුරුවරුන්ට ඊට වැඩිය දුකයි. මේක තවදුරටත් යන්න බෑ. ඔව් ඒකයි මේ අවුරුදු විසි හතරක අසාධාරණය දැන්වත් විසඳන්න කියනනේ, මේ වැඩි වැටුපක් නෙවෙයි ඉල්ලන්නේ හිමි වැටුප.

දැන් ඔය ඔක්කොම හරි කියමුකෝ, එතකොට දැන් ඩෙල්ට ප්‍රභේදය පැතිරෙනවා කියලා කියනවා, ඉතින් ගුරු පොකුරක් ඇතිවුනොත් මොකද කියනනේ?

ඔව් මුලින්ම කියන්න ඕන අපි ඒ අවදානම දන්නවා, ඒ වගේම ඒ අවදානම තුළ අපේ උද්ඝෝෂණ තුළදී හැකි උපරිම අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් තමයි මේ විරෝධතා දක්වන්නේ, ඒ වගේම මෙතන හිතන්න ඕන කාරණයක් තියෙනවා, ඔය චෝදනා කරන අය හිතනවද මේ තරම් අවදානමක් තියෙද්දිත් ඇයි ගුරුවරු තමන්ගේ ජීවිතේ පිළිබඳවත් නොතකා මෙතනට එන්නේ කියලා, සමහරක් නම් කියනවා ඒ වෘත්තිය සමිති උසි ගන්නලා කියලා, ඒව ඉතින් ගොබ්බ කතානේ, එහෙම නෙවෙයි ඇත්තටම ගුරුවරුන්ට තියෙන මේ ආර්ථික අහේනිය හමුවේ තම ජීවිතෙත් අභියෝගයට තියලා පාරට ඇවිත් කියන එක නේද මේ කියන්නේ, ගුරුවරු විතරක් නෙවෙයි සාමාන්‍ය කඩල විකුණන වෙලෙන්දෙක් තමන්ගේ වෙළඳාම කරන්නේ පාරේ මේ අවදානම තියෙද්දි, ඇයි ඒ ජීවිතේ රැක ගන්න. ඒ අර්ථයෙන් ගුරුවරයා අවුරුදු 24ක් විඳවපු මේ ගැටලුව වසංගතයටවත් යටවෙන දෙයක් නෙවියි.

සමාජයක් විධියටම ගොවියෝ පොහොර ඉල්ලලා පාරට බහින්නේ, සෞඛ්‍ය සේවකයෝ තම ඉල්ලිම් වෙනුවෙන් පාරට එන යතාර්ථය මේක. ඉතින් අපි ආණඩුවෙන් ප්‍රශ්න කරන්න ඕන ඇයි ආණ්ඩුව මිනිස්සු මේ තමන්ගේ ජීවිත අවදානමට දාන තැනකට දාල බලාගෙන ඉන්නේ කියලා, ඒ නිසා ප්‍රශ්නෙ විසඳන්නේ නැතිව කොරෝනාවෙන් තමන්ගේ හෙලුව වහගන්න කියන කතා හා මර්දනය සාධාරනීකරකරණය කරන්න තමයි ඕව කියන්නේ, නැත්නම් ඔබ හිතනවාද මේ මිනිස්සුන්ට ආදරේට කියන කතා කියලා.

ඉතින් තාම විසඳුමක් නෑ නේද, ඉස්සරහට මොනව වෙයිද?

ආණ්ඩුව විවිධ කමිටු හා සාකච්ඡා දමමින් ඒ වගේම ගුරවරුන්ට අවලාද නගමින් විශේෂයෙන් සාමාජ මාධ්‍ය වල නිෂ්චිතව මුදල් ගෙවන අය දාලා පට්ටපල් බොරු ගුරු සංගම් වලට එරෙහිව ගුරුවරන්ට එරෙහිව පතුරවනවා. අපි දන්නවා ආරංචි විධියට ඉදිරියේදී තමන්ගේ හෙංචයියන් පාසල් වලට ගෙනලා මේක කඩාකප්පල් කරන්න සංවිධානය වෙමින් ඉන්නවා. අපි කියන්නේ ඔය කුමන්ත්‍රණ වලට දාන සල්ලි මේ ප්‍රශ්නෙ විසඳන්න දැම්මනම් දැනටත් මේ ප්‍රශ්නෙ විසදිලා. මේක රටේ පොදු ජනතාවගේ ප්‍රශ්නයක්, මේක රටේ දරුවන්ගේ අනාගත අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයක් ඒ නිසා මේක විසදන තුරු අපි ආපහු හැරෙන් නෑ. කොලකැලී, කමිටු වැඩක් නෑ. නිෂ්චිතව මේ වැටුප් විෂමතාව විසදන්න. කොතලාවල පනත අහෝසි කරන්න, අධ්‍යාපනයට 6% වෙන් කරන්න, බොරු කොල පිරවිලි අනවශ්‍ය වැඩවලින් තොරව ගුරුවරුන්ට නිදහසේ උගන්වන්න දෙන්න. මේ ප්‍රශ්න විසඳලා පාසල් සුරක්ෂිත කර අධ්‍යාපනය යතා තත්වයට ගේන්න කියන එකයි අපේ ඉල්ලීම. ඔන්ලයින් වර්ජනයට මේ වෙද්දි දින 16 ක් ගතවෙලා තියෙනවා. ආණ්ඩුව දරුවෝ ගැන මාධ්‍ය ඉස්සරහ කිඹුල් කඳුළු හෙලුවත් ප්‍රශ්නය විසඳන්න සැබෑ වුවමනාවක් තියෙනවා කියල පේන්න නෑ. අගමැති සාකච්ඡාව තුළ දීත් ආණ්ඩුව දිගටම අවධාරණය කළේ මුදල් නෑ කියන ප්‍රශ්නය. අර්බුදයක් තියෙනවා නමුත් ඒ තර්කය මෙතනදි පිළිගන්න බෑ.

මොකද ආණ්ඩුව අර්බුදයක් පෙන්නුවට වැඩවලදි හැසිරෙන්නේ අර්බුදයදි වගකිව යුතු ආණ්ඩුවක් හැසිරෙන විදිහට නෙවෙයි. ඒ කියන්නෙ අර්බුදයකදි පීඩාවට පත් ජනතාවට සහන දීම, ප්‍රමුඛතා හඳුනාගනිමින් කටයුතු කිරීම ආණ්ඩුවක වගකීම. නමුත් ආණ්ඩුව අපි දැක්කා සහන දුන්නේ සහන දිය යුතු අයට නෙවෙයි. සමාගම්වලට50% ක බදු සහනයක් දුන්නා. නමුත් මේ සමාගම් වසංගතය තුළ පවා විශාල ලාභයක් උපයාගෙන තියෙනවා.

සමීක්ෂණයකට අනුව කොටස්වෙළඳ පොල ලියාපදිංචි සමාගම් 9 ක් විතරක් බිලියන 861 ආදායමක් උපයාගෙන තියෙනවා මේ වසංගත කාලෙත්. LOLC එකේ ලාභය බිලියන 57 ක්. හේලීස් සමාගම වසර 143 ක ඉතිහාසය තුළ වාර්තාගත ආදායමක් ලබනවා බිලියන 241 ක්. අද සහන දිය යුත්තේ මේ සමාගම්වලටද නැත්නම් පීඩිත ජනතාවටද? බදුපිට බදුගහන්නේ ජනතාවට. කොම්පැනිවලට දිගටම සහන දෙනවා. අධිවේගී මාර්ග ව්‍යාපෘති කරනවා. නාස්තිකාර වියදම් එහෙමමයි. ඇමතිවරුන්ට සැප වාහන ගෙන්නන්න දතකාපු හැටි අපි දැක්කා. අධ්‍යාපනයට මුදල් නෑ. අපි ඒක පිළිගත යුතුද?

වැටුප් විෂමතා ඉවත් කිරීමට යන්නේ බිලියන 60 යි. ගිය අවුරුද්දෙ බදු අහිමි කරගැනීම විතරක් බිලියන 105 ක්. අධ්‍යාපනයෙන් කැපුවා බිලියන 42ක්. ආරක්ෂාවට වෙන්කරල තියෙනවා බිලියන 440 ක්. යුද්දෙ කාලේවත් මෙච්චර වෙන්කළේ නෑ. උද්ඝෝෂණවලට ගහන්න පොලිසියට බිලියන 85 ක් වෙන්කරලා තියෙනවා. මේ වියදම් අඩු කරා නම් බිලියන 60 ක් නෙවෙයි 100 ක් වුනත් සපයාගන්න බැරි නෑ. ඒ නිසා අපි තවත් තම්බන්න මේ පාලකයන්ට බෑ. කොලකෑලි, අනුකමිටු වැඩක් නෑ. වැටුප් විෂමතාව වහාම ඉවත් කළ යුතුයි. එතකං මොන අභියෝග ආවත් අරගලය අවසන් වෙන්නේ නෑ. ඒ වගේම අපි ආරාධනා කරනවා මේ රටේ දෙමාපියන්ට හා අනෙක් සියලු දෙනාට මේක හුදු වැටුප් සටනක් නෙවෙයි. ඔබේ දරුවාගේ අධ්‍යාපනයේ අනාගතය සම්බන්ධ අරගලයක් ඒ නිසා සෑම දෙනාම ඊට සහාය දෙන්න කියලා.