தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
අධිකරණයේ විභාගවන නඩු නවත්වන්න මට බලයක් නෑ! - නීතිපති පොලිස්පතිට පිළිතුරු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධිකරණයේ විභාගවන නඩු නවත්වන්න මට බලයක් නෑ! – නීතිපති පොලිස්පතිට පිළිතුරු



අධිකරණයේ විභාගයට ගන්නා කිසිදු නඩු කටයුත්තකට මැදිහත්වීමට හෝ ඒවා නවතා දැමීමට තමන්ට බලයක් නැති බව නීතිපති දප්පුල ද ලිවේරා පවසයි.

දේශපාලන පලිගැනීම් ලෙස ඇතැම් නඩු කටයුතු හඳුන්වනු ලබන නමුත් ඒවා නැවැත්වීමට හැකියාවක් හෝ බලයක් තමන්ට නොමැති බව නීතිපතිවරයා පවසයි. නීතිපතිවරයා මේ බව සඳහන් කළේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ විශේෂ විමර්ශන ඒකකය යටතේ සිදුවන විමර්ශන සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ විසින් යොමුකළ ලිපියකට ප්‍රතිචාර දක්වමිනි.

අධිකරණයේ විභාගවන නඩු සම්බන්ධ ත‍ින්දු ගැනීම අධිකරණයටම අයත් විෂයක් බවද විධායකයට පවා එවැනි නඩු සම්බන්ධ මැදිහත්වීමේ ව්‍යවස්ථාමය බලයක් නොමැති බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දී අත.

වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාට යවන ලද ලිපිය ප්‍රසිද්ධකර නොමැති නමුත් මේ වනවිටත් ක්‍රියාත්මක පසුගිය ආණ්ඩුව යටතේ පිහිටුවන ලද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විසුරුවා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ පොරොන්දුවක් විය. ඊට අමතරව ආරක්ෂක හමුදා සහ ඔත්තු අංශ නිලධාරින්ට චෝදනාකර පවත්වාගෙන යන නඩු සම්බන්ධයෙන් එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ බලවතුන් හඳුන්වා තිබුණේ ඒවා ‘රණවිරු දඩයමක්’ ලෙසය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සිය නිල කාර්යයන් ආරම්භක අවස්ථාවේ මේ ආකාරයේ නඩු හා විමර්ශන දේශපාලන පළිගැනීම් ලෙස නම්කර ඒ සම්බන්ධ පියවර ගැනීමට විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පිහිටුවන ලදී. විශේෂයෙන් පුද්ගලයන් 11 දෙනකු පැහැරගෙන ගොස් වධදීම, කප්පම් ඉල්ලීම හා මරා දමන්නට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා නිලධාරින් 14 දෙනකුට පවරන ලද නඩුවද රණවිරු දඩයමක් ලෙස මෙම කොමිසම විසින් අවධානයට ගෙන ඇත. එහෙත් නීතිපතිවරයා පවසන්නේ එවැනි නඩුවිභාගයක දේශපාලන පලිගැනීමක් සිදුව ඇත්දැයි යන්න සම්බන්ධව අධිකරණයට පමණක් ගතහැකි තීරණයට එළඹිය හැක්කේ අදාළ විමර්ශන හා නඩු විභාගය අවසානයේ බවය.