தமிழ்
English
Contact
Wednesday 20th October 2021    
අධිරාජ්‍ය විරෝධී බහුජන අරගලයක් සංවිධානය කළ යුතුයි! - දුමින්ද නාගමුව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අධිරාජ්‍ය විරෝධී බහුජන අරගලයක් සංවිධානය කළ යුතුයි! – දුමින්ද නාගමුව



අධිරාජ්‍ය විරෝධී අරගලය බහුජන අරගලයක් බවට පත් කළ යුතු බවත් එය වමේ ව්‍යාපාරයේ නායකත්වය යටතේ ක්‍රියාත්මක විය යුතු බවත් ‘එම්.සී.සී. උගුල හා ගොදුර’ තේමාව යටතේ ඊයේ(17) කොළඹ, මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.

ජාතිවාදීන් හා ජාතිකවාදීන් පෙන්වන ව්‍යාජ දේශප්‍රේමය වෙනුවට සිංහල, තමිල්, මුස්ලිම් පීඩිතයාගේ ඒකාබද්ධතාවයෙන් ගොඩනැගෙන සැබෑ වාම අධිරාජ්‍ යවිරෝධි බහුජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු බවද අධිරාජ්‍යවාදී මැදිහත්වීම් පරාජය කළ හැක්කේ ඒ හරහා පමණක් බවද ඔහු අවධාරණය කළේය.

ඔහු කළ කතාවේ සාරාංශයක් පහත සටහන් වේ.

“ලංකාව වැනි රාජ්‍යයන්ට අධිරාජ්‍යවාදී ලෝක බලවතුන් විසින් ණයදීම හරහා මැදිහත් වෙනවා. ආධාර දීම හරහා මැදිහත් වෙනවා. ලෝක බැංකුව, මූල්‍ය අරමුදල ණය හරහා මැදිහත් වෙන්න හදා ගත් උපක්‍රම. එක්සත් ජනපදය ආධාර හරහා මැදිහත් වෙන්න හදා ගත් ආයතනය තමයි ‘USAID’. එහි ක්‍රියාකාරිත්වය ලෝකය පුරාම සිදුවෙනවා. මේක 1980 පමණ සිට ලෝකය පුරා විහිද ගිය වැඩපිළිවෙළක්. නමුත් 2000 වසරෙදි පමණ මීළඟ සියවසත් ඇමරිකානු සියවසක් විය යුතුයි කියලා සැලසුමක් හදනවා. ඒ සඳහා
USAID ආයතනය දැනට කරන ක්‍රියාකාරීත්වයට වඩා පුළුල් මැදිහත්වීමක් කරන්න තමයි මේ MCC අරමුදල හදන්නේ. මේ ආයතනය ඇමරිකානු රජයෙන් ස්වාධීන නෑ. රාජ්‍ය ලේකම්, භාණ්ඩාගාර ලේකම් මෙහි විධායක බලය සහිත මණ්ඩලය තුළ ඉන්නවා. USAID ආයතනයේ නියෝජිතයෙක් ඉන්නවා. ඇමරිකානු කොංග්‍රසය තමයි නිලධාරීන් නම් කරන්නේ.

නමුත් රටක ක්‍රියාත්මක වෙද්දි ඒ රටේ නියෝජිතයනුත් සම්බන්ධ කරනවා කියලා ඔවුන් කියනවා. නමුත් ඇමරිකාවේ අවශ්‍යතාවත් එක්ක සම්බන්ධයි. එක්සත් ජනපද දේශපාලන හා ආර්ථික අරමුණුත් එක්ක සම්බන්ධයි.

දුප්පත්කම දුරලීම, ආහාර සුරක්ෂිතතාව සඳහා වෙළෙදපොළ මූලික විසදුමක් සැකකසීම, ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා පසුබිම් නිර්මාණය කිරීම මේ වැඩපිළිවෙළේ ප්‍රකාශිත අරමුණු ලෙස තිබෙනවා. මේ යටතේ දැනට රටවල් 29ක ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා.

මේ ආයතනය රටකට මුදල් දෙන්න බලපාන තත්වය මොකද්ද? ඔවුන් තෝරා ගත් රටවල්වල කිසියම් නිර්ණායක ප්‍රමාණයක් බලනවා. ක්ෂේත්‍ර 20ක් සලකා බලනවා. ආර්ථික නිදහස, සාධාරණ ලෙස පාලනය, දූෂනයෙන් තොරවීම, ජනතාව සඳහා ආයෝජනය කියන පැති තුන ආවරනය කරන බව ඔවුන් කියනවා. මේ කරුණු 20න් 13ක්වත් සැපිරෙන්න ඕන මේ ප්‍රදානය ලැබෙන්න. ලංකාව 13ක් සමත් වීම නිසා තමයි මෙම ප්‍රදානය ලැබුණෙ. නමුත් මේ යටතේ මහබැංකුව කොල්ලකෑම වැනි බරපතළ දූෂණ චෝදනා තිබියදී ලංකාව ඒ කොටසින් සමත් වුණේ කොහොමද? මේ වගේ ප්‍රශ්න රාශියක් අපට තිබෙනවා. ඒ නිසා ඇත්තටම මේ ප්‍රදානය ලැබීමට රටක් සුදුසු වෙන්නෙ ඒ කියන නිර්නායකවලින් සමත්වීම නිසාද? එහෙම නැත්නම් වෙන අවශ්‍යතා නිසාද බලන්න ඕන.

අනෙක් අතට මේ ප්‍රදානය හිමි වෙන්නෙ පහළ ආදායම් සහ පහළ මැද ආදායම් ලබන රටවල්වලට පමණයි. ලංකාව දැන් ඉන්නේ පහළ මැදි ආදායම් ලබන රටක් විදියට. පවතින ආර්ථික වර්ධනයන් එක්ක ලංකාව සම්බන්ධයෙන් 2020 ඒ තත්වය ඉහළට යනවා. ඒ නිසා තමයි මේ ගිවිසුම අත්සන් කරන්න හදිසි වෙන්නෙ.

අප දන්න විදියට MCC ගිවිසුමේ කොටස් තුනක් තිබෙනවා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන මූලික ගිවිසුම, ව්‍යාපෘති සැලසුමේ ක්‍රියාකාරිත්වය සහිත සැලැස්ම, වරින් වර ඇමරිකානු කොංග්‍රසයට ලංකාව සම්බන්ධව යැවූ වාර්තා තිබෙනවා. කවුරු හරි ගිවිසුම ගැන උනන්දු වෙනවා නම් එක කොළයක් විතරක් බලන්න එපා. කොටස් තුනම අධ්‍ය්‍යයනය කරන්න.

2017 ජුලි 17 MCC වැඩසටහන වෙනුවෙන් යවන ලද වාර්තාවෙන් ලංකාවේ
MCC ප්‍රදානය සම්බන්ධ මූලික බාධා තුනක් නමුකර තිබුණා. ඒ අතුරින් පළමුවැන්න ලෙස මූල්‍ය ප්‍රතිපත්තියේ තිබෙන අස්ථාවරභාවය, බදු ප්‍රතිපත්ති ගැටලු, ආර්ථික ප්‍රතිපත්ති විටින් විට සිදුවන වෙනස්වීම් හා චලනයන් බාධාවක් කියලා එහි සඳහන් වුණා. දෙවැනි කරුණ ප්‍රවාහනයේදී අකාර්යක්ෂමතාව. තුන්වැනි කරුණ ලෙස සඳහනු කරනු ලැබුවෙ ලංකාවේ ඉඩම් වෙළෙඳපළ පිළිබඳ නීතිවල ගැටලු. පෞද්ගලික අංශයට මිලදී ගන්න බෑ, ලංකාවට එන ආයෝජකයන්ට ප්‍රශ්නයක් කියලා ඔවුන් හඳුනාගෙන තිබෙනවා. ලංකාවට එන බහුජාතික සමාගම්වලට ඉඩම් කොල්ලකන්න බැරිවීම දැන් තිබෙන නීතියේ ප්‍රශ්නයක් බව ඔවුන් කියනවා.

ඒ නිසා MCC ආයතනය මැදිහත් වෙන්නේ දෙවැනි සහ තුන්වැනි කරුණු දෙක සම්බන්ධයෙන්.

මේ ගිවිසුමට අදාළ ව්‍යාපෘති කාලය වසර පහයි. ලැබෙන මුදල ඩොලර් මිලියන 475ක්. මේ මුදල ලැබෙන්නේ මේ විදියට. කොටසක් ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනයට, මිලියන 350ක්. ඉඩම් හිමිකම් සම්බන්ධයෙන් මැදිහත්වීමට මිලියන 67.3ක්. ව්‍යාපෘති පරිපාලනයට මිලියන 62.7ක්.

ප්‍රවාහනයටව ලැබෙන මුදල් කොහොමද ලැබෙන්නේ කොටස් තුනක් තිබෙනවා. කොළඹ ආශ්‍රිත වාහන තදබදයට. ඩොලර් මිලියන 50ක් පොදු ප්‍රවාහනයේ බාධා නිරවුල් කරන්න වෙන් කරනවා. බස් මිලදී ගන්න වෙන්නත් පුළුවන්, GPS සිස්ටම් එකක් හදන්නත් පුළුවන්. වාහන තදබදය කළමනාකරණ්‍ය කරන්න, මංසන්ධි 162ක් තෝරා ගෙන CCTV ක්‍රමයක් හරහා එක තැනක ඉඳන් මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා.

මිලියන 140ක්, අවිස්සාවේල්ල – පැල්මඩුල්ල, බෙරගල වැල්ලවාය, දඹුල්ල  මේ මාර්ග ඉදි කරන්න මේ මුදල වෙන් කරන්නේ.

මාර්ග කොටස හොඳයි, ඉඩම් කොටස අවුල් කියලා සමහරු කියනවා, නමුත් මේක එකක් විදියට සලකන්න ඕන. ඒ වගේම ජාතික භෞතික සැලැස්මේ කොටස් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ.

ඉඩම් කොටසේ දිශානතිය මොක්කද? ලංකාවෙ රජයේ ඉඩම් 81.82%ක් තිබෙනවා. පෞද්ගලික හිමිකාරිත්වයට 18.18%ක් තිබෙනවා. ඉඩම් සම්බන්ධ නීතියේ මූලික රාමුව තමයි රජයේ ඉඩම් විකුණන්න බෑ. බදු දෙන්න පුළුවන්. විදේශ සමාගම්වලට ලංකාවේ පෞද්ගලික ඉඩම් මිලදී ගන්න බෑ. මෙන්න මෙතනටයි මේ සැලැස්ම සම්බන්ධවෙන්නේ.

රාජ්‍ය ඉඩම් ස්වර්ණභූමි, ජයභූමි වැනි ක්‍රමවලින් ජනතාවට ලබාදෙනවා. නමුත් ඒවා විකුණන්න බෑ. මේ දෙක වෙනස් කරන්න පහුගිය කාලයේ පැවැති ආණ්ඩුව රාජ්‍ය ඉඩම් පනත ගෙනාවා. රාජ්‍ය ඉඩම් බැංකු පනත ගෙනාවා. මේ පනත් දෙකම සම්මත කරන්න නියමිතව තිබුණා. නමුත් තවමත් එළියට ඇවිත් නැහැ. ඔක්තෝබර් 15 වැනිදා, ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ පනත කියලා පනතක් තිබෙනවා ඒ පනතට සංශෝධනයක් ගෙනාවා. කොළඹ කොටස් වෙළෙදපොළේ සමාගම්වලට පුළුවන්, ඔනෑම බහුජාතික සමාගමකට ඉඩම් විකුණන්න පුළුවන් කියන එක තමයි මේ පනතේ අරමුණ.

කොටස් වෙළෙදපොලේ ලියාපදිංචි ඕනෑම සමාගමකට ලංකාවේ ඉඩම් අත්පත් කර ගන්න පුළුවන් වෙන නීති හදනවා. MCC එන්නේ මේ පනත් පසුපස තියාගෙන.

රජයේ ඉඩම් ලේඛනයක් හැදීම, ඔප්පු ලියාපදංචිය වැඩිදියුණු කිරීම, ඉඩම් තක්සේරු කිරිමේ ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ඉඩම් ලියාපදිංචි කිරීම හා ඔප්පු පරිවර්තනය කිරීම – බලපත්‍ර ඔප්පු සින්නක්කර ඔප්පු බවට පත් කිරීම, ඉඩම් ප්‍රතිපත්ති හා නෛතිකභාවය වැඩිදියුණු කිරීම… මේවා තමයි මේ ව්‍යාපෘතියේ සිදු කරන බව සඳහන් කරලා තියෙන්නේ.

නමුත් ඇත්තටම වෙන්නේ මොකක්ද? බැලූ බැල්මට පේන්නේ ඉඩම් ජනතාවට දෙනවා වගේ. ලෝකයේ වෙලා තියෙන්නේ මොකක්ද? පළමු පියවර ඉඩම් ජෙනතාවට දෙවැනි පියවර ඉඩම් සමාගම්වලට. මැඩගස්කරයේ සිද්ධ වෙලා තියෙන්නේ ඒක. රජයේ ඉඩම් විකුණන්න නෑ. රජය ජනතාව ඒ පාපකර්මයට හවුල් කර ගෙනයි විකුණන්න‍ෙ. ඒ නිසා මේක ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ වැඩපිළිවෙළක්.

ජාතික භෞතික සැලැස්මත් එක්ක සම්බන්ධ කර ගත්තාම මේක තේරුම් ගන්න පුළුවන්. 2007 පළමු සැලැස්ම එන්නේ 2011 තමයි පළමු ගැසට් එක එන්නේ. විමල් වීරවංශ ඇමැතිවරයා තමයි ඒ ගැසට් එක ගැහුවේ.

මේ ඉඩම් අත්පත්කර ගැනීමයි, ඒ ඉඩම්වලට මාර්ග ඉදි කිරීමයි අලුත් කතාවක් නොවෙයි. යටත්විජිතවාදීන් කළේත් ඒක නෙවෙයිද? ඒකම තමයි මේත් වෙන්නේ. කොල්ලකෑමට නියමිත භූමි නම් කර තිබෙනවා. මේ පසුබිම බලපාන්නේ කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට විතරක් නෙවෙයි මුළු රටටම.

2000 ලෝක බැංකුව ඉදරිපත් කළ වාර්තාවක තිබෙනවා, ඉඩම් වෙළෙඳපොළක් නොමැතිවීම, විකිණීමට නොහැකිවීම ගැන කියනවා. 1995 ලෝකයේ ආහාර නිෂ්පාදනය ගැන ඇගැයීමක් කළා. ලෝක ආහාර වෙළෙදපොළ කොහොමද අත්පත් කර ගන්නේ කියලා.

මේ ගිවිසුමේ නීතිමය ගැටලු ගනණවාක් තිබෙනවා. මේ ගිවිසුම අත්සන් කළාට පස්සේ පනතක් සම්මත කළ යුතුයි. මීට කලින් ලංකාවට ණය දුන්න කිසිම ආයතනයක්, රටක්, ව්‍යාපෘතියක් ඒ ණය මුදල රටේ නීතියක් බවට පත් කළේ නෑ. මේ ගිවිසුම ලංකාවේ නීතියට ඇතුළත් කළත්, ජාත්‍යන්තර නීතියටයි යටත් වෙන්නේ. නඩු කියනවා නම් නඩු කියන්න වෙන්නේ ජාත්‍යන්තර අධිකරණයේ.

ප්‍රවාහන සහ ඉඩම් ක්ෂේත්‍රයට අදාළ පනත්වලට බලපෑමක් වෙනවා.

ගිවිසුමෙන් ලංකාව ඉවත් වෙන විදියක් ගැන සඳහන් වෙන්නෑ. කිසිම හේතුදැක්වීමකින් තොරව දින 30කට පෙර දැනුම් දීලා ගිවිසුමෙන් ඉවත් වෙන්න එම්සීසී ආයතනයට පුළුවන්. ලංකාව තෝරා ගැනීමට අදාළ නිර්ණායක උල්ලංඝනය කරනවාය කියලා ඒ අය තීරණය කළොත් ඉවත් වෙන්න පුළුවන්.

මේකේ භයානකම කොටස වත්කම් ආපසු පවරාදීම. ගිවිසුමෙන් හදිසියේ එම්සීසී ආයතනය ඉවත් වුණොත් ඒ වන විට අත්පත් කර ගත හැකි සියලු දේපළ අත්පත් කර ගන්නවා. ඒ වගේම අත්පත් කර ගත නොහැකි වත්කම් තක්සේරු කරලා ඒක ලංකාවේ ආණඩුව ගෙවන්න ඕන. අවුරුදු තුනකින් ඉවත් වෙන්න ඇමරිකාව තීරණය කලොත් මේ ණය ගෙවන්න ණය ගන්න වෙනවා. ඒ නිසා මේක උගුලක්. මේ ණය ගැනීමට ලාබ නොලබන සමාගමක් පිහිටුවනවා. ඒ ඇයි? එතන ගැටලුවක් තිබෙනවා.

2008 2010 මැඩගස්කරයට වුණු දේ. මේ MCC ප්‍රදානය යටතේ මිලියන 310ක් දුන්නා. හෙක්ටයාර් මිලියන 1.3ක් ඩේවූ(DAEWOO) සමාගම සහ ඇග්‍රෝ සමාගම මිලදී ගත්තා. අනෙක මාලිවල අත්දැකීම.  රටේ ඉඩම් කොටස් පහකට කඩලා දෙකක් ජනතාවට දුන්නා. වගා අසාර්ථක වුණාම සුළු ගොවීන්ට දුන් ඉඩම්වලින් හෙක්ටයාර් 20000ක් සමාගම් අත්පත් කර ගත්තා. එල්සැල්වදේර් ජලය පෞද්ගලිකකරණය කිරීම සිද්ධ කළා.

මේ ගිවිසුමේ ඉඩම් සහ ප්‍රවාහනය කියන්නේ දෙකක් නොවෙයි. එකක්. කොල්ලකන ඉඩම්වල සාරය රැගෙන යන්නයි ප්‍රවාහනය හදන්න.

මේකත් එක්ක තවත් ගිවිසුම් සහ බලවත් රාජ්‍යයන්ගේ මැදිහත්වීම සම්බන්ධයි. ACSA ගිවිසුම 2007 ගෝඨාභය රාජපක්ෂ හා රොබට් ඕ බ්ලේක් අත්සන් කළේ. ඇමරිකාව ඉන්දියානු මුහුදේ  යුද මැදිහත්වීමක් කරද්දි ඇමරිකානු හමුදාවට පහසුකම් සලසන්න ලංකාව බැඳී ඉන්නවා.

ඊළඟට SOFA ගිවිසුම. හමුදා මැදිහත්වීම පිළිබද ගිවිසුමක්. ඇමරිකානු හමුදාවට ආයුධ අරගෙන ලංකාවේ ඉන්න පුළුවන්. ඇමරිකානු හමුදා සාමාජිකයන්ගේ විනය සම්බන්ධව කටයුතු කරන්නේ ඇමරිකානු බලධාරීන්. කිසිම බද්දකට අයත් වෙන්නේ නෑ. ඒ වගේම ගෙනෙන කිසිම දෙයක් විමර්ශනය කරන්න බෑ, බලපත්‍රවලට යටත් වෙන්නේ නෑ. ඇමරිකානු ගුවන් යානා හා යාත්‍රා පරික්සා කරන්න බෑ. කොන්ත්‍රාත් කරන අය යටත් වෙන්නේ එක්සත් ජනපද නීතියට. ඇමරිකානු හමුදාවට වෙනම වෙන් වූ ගුවන්විදුලි සංඛ්‍යාතයක් දෙන්න ඕන. ඒකට ගෙවන්න ඕන නෑ. මෙම ගිවිසුම යටතේ ක්‍රියාකාරකම්වලදී සිදු වෙන දේපළ හානි, හමුදා හෝ සිවිල් පුද්ගලයන්ට සිදුවන හානි, මරණවලදී චෝදනාවක්වත් නගන්න බෑ.

මේක අමෙරිකාව ආසියාවට නැවත අවතීර්ණ වීම (Pivot to Asia) කියලා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියේ කොටසක්. ඇයි ඒ? හේතුව චීනය 2030 වෙද්දි චීනය ලෝක ආර්ථික බලවතා වීමට සූදානමින් ඉන්නවා. මේකට චීනයේ Belt & Road (BRI) ව්‍යාපෘතිය යටතේ ගොඩබිම් මාර්ග හයක් සහ නාවික මාර්ගයක් ගොඩනගමින් ඉන්නවා. නාවික මාර්ගයට කියන්නේ ‘මුතුපොට’ ව්‍යාපෘතිය කියලා. ඒ හරහා අප්‍රිකාවවට ගිහින් යුරෝපයට යන්න බලාපොරොත්තු වෙනවා. අප්‍රිකාවේ ජිබූති රාජ්‍යයේ චීන හමුදා කඳවුරු තිබෙනවා.

රටවල් 64කට චීනය ණය දිලා තිබෙනා, ඉන් රටවල් 16ක් බරපතළ අර්බුදයට ගිහින් තිබෙනවා. ලංකාවත් එක රටක්. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිරිසේන මහත්තයා චීනයට ගිහින් ගිවිසුමකට අත්සන් කළා. ආරක්ෂාවට අදාළව ලංකාවේ සිදු කෙරෙන තොරතුරු තාක්ෂණයට HUAWEI සමාගම මැදිහත් වෙන්න ගිවිසුම අත්සන් කළා.

ගෝඨාභය ජනාධිපති වුණු ගමන්ම ඉන්දියාවට ගිහින් ණයක් ඉල්ලගෙන ආවා. මොනවද ඉන්දියාව ඉල්ලුවේ? ඒක කියන්න. දැන් අපි ආර්ථික උගුලෙන් දේපාලන උගුලට යමින් ඉන්නවා. දැන් අපි ඉන්නේ දේශපාලන උගුලක් ඇතුළේ. ලෝක දේශපාලනයේ ගැටුම් උත්සන්න වෙන්නේ මොන විදියටද ඒක ලංකාව තුළ ක්‍රියාත්මක වෙනවා. ලෝක යුද්ධයක් ඇති වෙනවා නම්, ඒ ලෝක යුද්ධයේ දඩබිමක් බවට ලංකාව පත්වීම වළක්වන්න බෑ. චීන, ඇමරිකන්, ඉන්දියන් උගුලකට හසු වෙලා තිබෙනවා.

මේ උගුල් මෙහෙම ක්‍රියාත්මක වෙද්දි ලංකවේ දේශපාලනය සකස් වෙලා තියෙන්නේ කොහොමද? පාලනයේ ඉන්නේ පොදුජන පෙරමුණ. අපි දැක්කා ඡන්දට ආපු විදිය. දිවුරුම් දුන්න විදිය. මේ අධිරාජ්‍යවාදී මැදිහත්වීමට අත්‍යවශ්‍ය කොන්දේසිය තමයි අභ්‍යන්තර කුළල් කා ගැනීම. ඒකට පසුබම හදන එක තමයි මේ අය කරන්නේ. ජාතිවාදී ව්‍යාපෘතියයි අධිරාජ්‍යවාදී ව්‍යාපෘතියයි එකට බැඳලා තියෙන්නේ.

එක්සත් ජනපදයේ එකම නියෝජිතයා රනිල් හරි සජිත් විතරක් නොවෙයි. අපි දන්නේ නෑනේ හරියටම ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කළාද කියලා? එයා ඇමරිකාවට හිතවත්ව වැඩ කරනවා.  සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඒකරාශී කරන ව්‍යාපෘතියකට විතරයි මේ අධිරාජ්‍යවාදී උගුලෙන් රට ගලවගන්න පුළුවන් වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? මහ මැතිවරණය දක්වාම කුළල් කා ගන්නවා. අධිරාජ්‍යවාදය පිළිබඳ ප්‍රශ්නයට නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ ප්‍රශ්නයටවත් මැදිහත් වෙන්නේ නෑ.

ජනතා විමුක්ති පෙරමුණ ගැන කණගාටුයි. ස්ථාවරයක් කියන්නේ නෑ. MCC විතරක් නොවෙයි, මේ කිසිවකට ස්ථාවරයක් කියන්නේ නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙලොවක් අතර. ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයෙක් ඉන්නවා, සමාජසාධාරණත්වය ගැන හිතන, අධිරාජ්‍යවාදයට විරුද්ධ. ඒ කොටස්වලින් අපි ප්‍රශ්න කරනවා, ජාතිවාදී උගුලක් අස්සේ ගිහින් හේත්තු කරලා තියෙනවා. මේකද මේ මොහොතේ කළ යුත්තේ කියා අපි ප්‍රශ්න කරනවා.

සැබෑ අධිරාජ්‍ය විරෝධී වාම වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඊට මූලිකාංග දෙකක් තිබෙනවා. එකක් තමයි වාම දේප්‍රේමී අරගලය ආරම්භ විය යුත්තේම සිංහල, තමිල්, මුස්ලිම් පීඩිතයන්ගේ ඒකාබද්ධතාවයෙන් විය යුතුයි. ඒක සිංහල ජනතාව විතරක් ඉන්න, තමිල් මුස්ලිම් ජනතාව බැහැර කළ ව්‍යාපෘතියක් නොවිය යුතුයි. දෙවැනි කරුණ, අධිරාජ්‍යවාදයේ දේශපාලන සහ ආර්ථික මැදිහත්වීමට විරුද්ධ වෙන්න ඕන. ජාතිවාදී බොරු අධිරාජ්‍යවිරෝධී, ජාතිවාදී වැඩපිවෙළෙන් සැබෑ අධිරාජ්‍ය විරෝධී වැඩපිළිවෙළ වෙන් කර ගන්න ඕන. ඒ වගේම මේ අරගලය පොදු ජනතාවගේ අරගලයක් බවට පත් වෙන්න ඕන. බහුජනතාවගේ බලයක් බවට පත් කර ගන්නේ නැතිව අධිරාජ්‍යවාදී අභියෝයට මුහුණ දෙන්න බෑ. ඒ අභියෝගයට ශක්තිමත්ව මුහුණ දෙමු.“