தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
අන්තවාදය හමුවේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අන්තවාදය හමුවේ ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති!



ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනයා නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කරති.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ සාකච්ඡාවක් පවත්වා ඉන්පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් ඇමතිධුරවලින් ඉවත්වන්නට තීරණය කළ බව සඳහන් කළේය. ඒ අනුව කැබිනට් ඇමතිවරුවන කබීර් හෂිම්, රවුෆ් හකිම්, රිෂාඩ් බදියුදීන්, රාජ්‍ය ඇමතිවරුන්වන එම්.සී.එම්. ෆයිසාල්, එච්.එම්.එම්, හාරිස්, අමීර් අලි, අලි සහීර් මවුලානා සහ නියෝජ්‍ය ඇමති අබ්දුල්ලා මහරුෆ් ඉල්ලා අස්වී ඇත.

අන්තවාදී ප්‍රහාරවලින් අනතුරුව ජනතාව අතර කැළඹීම් ඇති නොවූ තත්වයක් තුළ ඉන්පසුව සති දෙකකට පසුව විවිධ අන්තවාදි සංවිධාන මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රහාර මාලාවක් එල්ල කළ අතර එහිදී සිදුවු මිනිස් ඝාතන හා විනාශයන් ගැන කිසිදු තොරතුරක් අනාවරණය නොකර වසන් කර තබන්නට ආණ්ඩුව කටයුතු කළේය. කෙසේවෙතත් මුස්ලිම් දේශපාලන නායකයන්, වෘත්තිකයන් හා මුස්ලිම් ජනයාගේ සංස්කෘතික හිමිකම් සම්බන්ධ වෛර සහගත ප්‍රහාරයන් තවදුරටත් සිදුවෙමින් පවතින අතර ආණ්ඩුව ඒ පිළිබද කිසිදු වගකිවයුතු මැදිහත්වීමක් හෝ ජනතාව අතර සංහිදියාවක් ඇති කරන ප්‍රවේශයක් ගෙන නැත. ඇතැම් දේශපාලන අරමුණු මත ජනයා අතර ගැටුම් පවත්වාගෙන යාම දේශපාලන නායකයන්ට වාසිදායක වී ඇත.

මේ තතු යටතේ මුස්ලිම් දේශපාලන නායකයන් ලෙස සැලකෙන අසාද් සාලි, හිස්බුල්ලා සහ අතාවුල්ලා ඉවත්කරන ලෙස අතුරලියේ රතන හිමි උපවාසයක් ආරම්භ කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස රටපුරා විවිධ ස්ථානවල විවිධ පුද්ගලයන් උපවාස හා විරෝධතා සංවිධානය කරන ප්‍රවණතාවක් ඇති විය. මේ අනුව රතන හිමිගේ උපවාසය යම් කිසි සංවිධානාත්මක අරමුණක් ඉටු කිරීමේ ආරම්භයක් ලෙස සලකුණු විය. අද දින කොළඹදී විපක්ෂය විරෝධතා සංවිධානය කරමින් ප්‍රචන්ඩ දේශපාලනයට මාවත විවර කරවන සටන්පාඨ භාවිත කරන ලදී. මහනුවරදීද එම විරෝධතා සදහා කඩසාප්පු වසා දමමින් වෙළද සංගම් කටයුතු කර තිබිණි. බොදුබල සේනා සංවිධානය විසින් මෙම අවස්ථාව තවදුරටත් ව්‍යාප්ත කිරීමට පෙළපාලියක් සංවිධානය කරන ලදී.

මෙවැනි පසුබිමක මුස්ලිම් ජනතාව නියෝජනය කරන දේශපාලන නායකයන් ඉල්ලා අස්වීම අන්තවාදයේ බලපෑම අනුව සිදුවන්නක් බව පැහැදිලිය. මෙතැනින් පසුව මුස්ලිම් ජනයා නියෝජනය කරන දේශපාලන නායකයන් ආණ්ඩුවේ මන්ත්‍රිවරු පමණකි. මෙහි අවසානය මුස්ලිම් ජනයා තමන්ගේ නියෝජනය සහිත අන්තවාදී දේශපාලන නායකයන් වෙතත් අන්තවාදී සංවිධාන වෙතත් තවදුරටත් ගොනු වීම පමණකි.

ඉල්ලා අස්වූ ඇමතිවරු මෙසේය.

ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය

කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය

සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය

අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය