தமிழ்
English
Contact
Tuesday 30th November 2021    
අනුරාධපුරයේ වන අලි අල්ලා සිරගත කිරීම වහා නවතනු! - ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අනුරාධපුරයේ වන අලි අල්ලා සිරගත කිරීම වහා නවතනු! – ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම් වදින වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ගාල් කිරීම නවතන ලෙස ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය, වනසම්පත් ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.
එම කවයේ කැඳවුම්කරු සුපුන් ළහිරු ප්‍රකාශ් විසින් වනජීවි රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක අමතා යවන ලද ලිපියකින් මේ ඉල්ලීම සිදුකර ඇත. මෙවැනි කල් නොපවත්නා විසඳුම් වෙනුවට අලි – මිනිස් ගැටුම වැළැක්වීමේ විධිමත් පියවර ගන්නා ලෙස එම සංගමය ඉල්ලා සිටී. පහත පළවන්නේ එම ලිපියයි.

වන අලි ජීවිත බිලිගන්නා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට නැවතත් අලින් බිලි නොදෙන ලෙස සිදුකරන ඉල්ලීමයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොතාන, කටුකැලියාව ප්‍රදේශයේ ජීවත්වන වන අලියෙකු ප්‍රදේශයේ ජන ජීවිතයට හානි සිදුකරන බව පවසමින් අල්ලා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය හෙවත් එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීමට කටයුතු කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුරාධපුර වනජීවී කලාපය භාර සහකාර අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබේ. මේ හේතුවෙන් එම අලියාගේ සහ අලි ඇල්ලීමට සහභාගීවන නිලධාරීන්ගේ ජීවිත අනතුරේ වැටීමේ අවදානමක් ඇති අතර හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුර තුළ තවත් අලියෙකු සිතා මතාම ඝාතනය වීම සිදුවන බැවින් එම තත්වය වැලැක්වීම සඳහා කඩිනමින් ඔබගේ අවධානය යොමුකරන ලෙස අප ඉල්ලා සිටිමු.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට සිටින අලි ඇල්ලීම සම්බන්ද හොඳින් පුහුණුව ලැබූ පළපුරුදු අලි ඇල්ලීමේ නිලධාරීන් කණ්ඩායම මෙසේ වන අලින් අල්ලා හොරොව්පතාන එළිමහන් අලි සිරකඳවුරට ගාල් කිරීම ප්‍රතික්ෂේප කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නියැලී සිටින්නේ එය සම්පූර්ණයෙන්ම අසාර්ථක අලි-මිනිස් ගැටුම් කළමනාකරණ ක්‍රියාමාර්ගයක් බව ප්‍රත්‍යක්ෂවී තිබීම හේතුවෙනි. එවැනි පසුබිමක් තුල අලි ඇල්ලීම සම්බන්දයෙන් පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් සහිත කණ්ඩායමක් යොදාගනිමින් මෙසේ අලියා ඇල්ලීමට කටයුතු කිරීම එම සත්වයාට මෙන්ම වනජීවී නිලධාරීන්ගේ ජීවිත වලටද බරපතල අවදානමකි. තවද දිගින් දිගටම අසාර්ථකත්වය සනාථවී ඇති හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට එම අලියා ගාල් කිරීම මගින් එම අලියාද අකාලයේ මරණයට පත්වීම නොවැලැක්විය හැකිය.

හොරොව්පතාන ප්‍රදේශයේ පවත්වාගෙන යන මෙම හස්ති වධකාගාරය අලි – මිනිස් ගැටුමට පිළියමක් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලද වන අලි සංරක්ෂණයට සහ අලි – මිනිස් ගැටුම් කළමනාකරණයට එමගින් කිසිඳු ප්‍රයෝජනයක් නැති බව ආණ්ඩුවේ විගණකාධිපතිවාරයා පවා පෙන්වාදී ඇති බව අප අවධාරණය කරමු. නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තවමත් සිදුකරමින් සිටින්නේ අලි – මිනිස් ගැටුමට දායකවන බවට චෝදනා ලබන අලින් අල්ලා මෙම සිර කඳවුරට ගාල් කර අකාලයේ මිය යාමට සැලැස්වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ කාර්ය සාධනය පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මාසයේ නිකුත්කළ අයිඊඑන්/එෆ්/ඩීඩබ්ලිව්සී/19/පීආර්/11 අංක දරන වාර්තාව මගින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ ඉටු කරගැනීමට නොහැකිවී ඇති බවත් වංචනික සිදුවීම් සිදුවී ඇති බවත් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ. ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයේද අලුතින් අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීමට ප්‍රථම හොරොව්පතාන වර්තමාන මධ්‍යස්ථානය සාර්ථක කරගැනීමට කටයුතු කළයුතු බවය.

හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානය වෙත 2015 සැප්තැම්බර් 04 දින සිට 2019 ජුනි 25 දින දක්වා කාලසීමාව තුල අවස්ථා 52 කදී අලි ඇතුන් මුදාහැර තිබේ. නමුත් 2019 ජුනි මස වන විට එහි ඉතිරිව සිට ඇත්තේ අලි ඇතුන් 09 දෙනෙකු පමණි. දොළොස් දෙනෙකු මියගොස් ඇති බවට වාර්තාවී ඇති අතර ඉතිරි අලින් 31 අතුරුදහන්වී ඇත. ලෝක සත්ව හා මින්මැදුරු පිළිබඳ සංවිධානයේ සත්ව සුභසාධන හා ආචාරධර්ම පටිපාටි පවා නොසලකා හරිමින් මුදා හැරුණු ජාතික සත්වෝද්‍යානයට අයත් අලින් දෙදෙනෙකුද ඊට අයත්ය. නමුත් මෙම මධ්‍යස්ථානය වෙත අලින් මුදාහැරීම ආරම්භකර ඇත්තේ 2013 වසරේ සිට වන අතර මේ දක්වා මුදාහැර ඇති අලින් ගණන 100 ක් පමණ විය හැකි බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පෙන්වා දෙති. ඒ අනුව අතුරුදහන් ලේඛණය මීට වඩා බොහෝ සෙයින් විශාල බව අප අවධානරණය කරමු. තවද මෙම වාර්තාව මගින් පැහැදිලිවන යථාර්ථය වන්නේ මෙම මධ්‍යස්ථානය තුල අලි ඇතුන්ට තම ජීවිතය හා බැඳුනු අවශ්‍යතා සපුරා ගැනීමට සහ ස්වභාවික හැසිරීම් රටා ප්‍රකාශ කිරීමට හැකි පරිසරයක් නොමැති බවය.

මෙවැනි මධ්‍යස්ථාන මගින් අලි – මිනිස් ගැටුමට පිළියම් නොලැබෙන බවටත් එමගින් සිදුවන්නේ අලි ඇතුන්ගේ ජීවිත තර්ජනයට ලක්වීම පමණක් බවටත් නොකිවමනාය. ප්‍රචණ්ඩකාරී හැසිරීම් පෙන්වන අලි ඇතුන් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදා හැරිය හැකිය යන මිත්‍යා මතය පදනම් කරගනිමින් ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානවල අසාර්ථකත්වය මානව පැහැදිළි වන්නේ දැනට මෙම මධ්‍යස්ථාන වලට ගාල් කර ඇති සියයකට අධික අලි ඇතුන්ගෙන් එකෙකුවත් පුනරුත්ථාපනය කර නැවත වනයට මුදාහැරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්වී ඇති බැවිණි. මෙසේ ගාල් කරනු ලබන අලි තමන්ට එල්ල වන පීඩනය හමුවේ තව තවත් ප්‍රචණ්‌ඩ හැසිරීම් දැක්‌වීම නිසා ඉදිරියේ දී අලි – මිනිස්‌ ගැටුම තව තවත් ඔඩුදුවන බව අප සිහිතබාගත යුතුය. මෙසේ ගාල් කරන සතුන්ට ඇති විකල්ප දෙක වන්නේ එක්‌කෝ ගාලෙන් පැන යෑම හෝ එසේත් නැතිනම් අකාලයේ මරණයට පත් වීම බව කණගාටුවෙන් නමුත් ප්‍රකාශකළ යුතුය.

තවද වනජීවී සංරක්ෂණ රාජකාරියේ යෙදී සිටියදී මියගිය වනජීවී නිලධාරීන් අතරින් ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කෙරුණු නිලධාරීන්ට අමතරව වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් ඝාතනය වී ඇත්තේ වන අලි සම්බන්ධ රාජකාරි අතරතුරදී බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නොදන්නවාද යන්න අප නොදනිමු. එවැනි තත්වයක් තුල පුහුණුවක් සහ අත්දැකීමක් නොමැති නවක සහ ආධුනික නිලධාරීන් වන අලි ඇල්ලීමේ රාජකාරි වල යෙදවීම සිතා මතාම එම නිලධාරීන්ගේ ජීවිත අනතුරේ හෙළීමක් වන අතර එවැනි ආධුනික නිලධාරීන් විසින් අල්ලන අලියාටද එමගින් ජීවිත අවධානමක් ඇතිවේ.

එබැවින් ජෛව විවිධත්ව සංරක්‍ෂණය හා පර්යේෂණ කවය ලෙස අපි ඔබ තුමන්ගෙන් ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින්නේ මෙම අවදානම් තත්වය ඉවත්කිරීම සඳහා කඩිනමින් මැදිහත්වන ලෙසත්, අලි-මිනිස් ගැටුම විසඳීම සඳහා මෙවැනි මිත්‍යා විසඳුම් යෝජනා කිරීමෙන් වැළකී තිරසාර අලි-මිනිස් ගැටුම් අවමකිරීමේ ප්‍රවේශයකට යොමුවන ලෙසත්ය.

සුපුන් ළහිරු ප්‍රකාශ් – කැඳවුම්කරු, ජෛව විවිධත්ව සංරක්‍ෂණය සහ පර්යේෂණ කවය