தமிழ்
English
Contact
Sunday 15th December 2019    
අයිතීන් දිනන අරගලය වෙනුවෙන් ජනතා බලවේග ශක්තිමත් කරනවා - පුුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයිතීන් දිනන අරගලය වෙනුවෙන් ජනතා බලවේග ශක්තිමත් කරනවා – පුුබුදු ජයගොඩ



පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කළේ සමාජවාදය ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙළේම පියවරක් ලෙස බැවින් පෙර කලාක් මෙන් ඉදිරියටත් ජනතා බලවේග ශක්තිමත් කරමින් අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලයේ නිරතවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අද(18) මේ බව පැවසුවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් පළකිරීමේ මාධ්‍ය හමුවේදීය. පෙ.ස.ප. බත්තරමුල් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු කළ අදහස් දැක්වීමේ සංක්ෂිප්තයක් පහත පළ වේ.

“ගෝඨාභයට ඡන්දය දුන්නු ලක්ෂ 69ක්, සජිත්ට ඡන්දය දුන්නු 55 මෝඩකමට වහල්කමට දුන්නා කියලා හිතන්නේ නෑ. ඒ ඡන්දය දුන්නු අයට දේශපාලන අභිලාෂයන් තිබුණා. ගොඨාභයට ඡන්දය දුන්නු අය ජාතික ආරක්ෂාව, ස්වාධිපත්‍ය වගේ දේවල් බලාපොරොත්තු වුණා. ජාතික ඒකාබද්ධතාව ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සජිත්ට ඡන්දය දුන්නු අය හිතුවා.

සමහරු අහනවා, ජවිපෙට මොකද වුණේ කියලා අහනවා. අපි හිතන්නේ අපේ සමාජය මුහුණ දෙන දේශපාලන, ආර්ථික, සංස්කෘතික අර්බුදය සමාජ ආර්ථික ක්‍රමයත් එක්ක බැඳිලා තියෙනවා. ඒ ප්‍රශ්නයට උත්තරය ලෙස සමාජවාදය ඉදිරිපත් කළ යුතුයි ඒක බිංදුවේ ඉඳලා හරි පටන් ගත යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ හිටියේ ජනප්‍රිය මතයට දණ ගහලා. ප්‍රතිඵලය දිහා බැලුවාම පේනවා, ජවිපෙට ඡන්දය දීලා තියෙන්නේ විකලප්යක් විශ්වාසයක් කරන, වමේ ව්‍යාපාරයක් ගොඩනැගීම ගැන විශ්වාස කරන, සමීපතම සාමාජිකයන් සහ හිතවතුන් විතරයි කියලා. විකල්ප වැඩපිළිවෙළක් ගෙනාවත් ඒ අය ස්ථිරවම ඡන්දය දෙන අය. ඒ අය කැඳවූ රැස්වීම්වලට ගෙනාපු පේක්ෂකයෝයි වේදිකාවයි අතර පරතරයක් තිබුණා. වේදිකාවේ ජවිපෙ දකුණට ගෙන යන නායකයන් හිටියා. බිම විකල්පයක් බලාපොරොත්තු  වෙන අය හිටියා.

විකල්ප බහුජන ව්‍යාපාර ගොඩනැගීම වෙනුවෙන්, බහුජන ව්‍යාපාර තුළට දේශපාලනය ගෙන යාම වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. අපේ ප්‍රතිපත්තිය දශමයකින්වත් කේවල් කරන්නේ නෑ. ඒ ප්‍රතිපත්ති නිවැරදියි කියන දැඩි විශ්වාසයකින් අපි කටයුතු කරනවා.

ජයග්‍රහණය සමරන කිරිබත් කන අයට කියන්න තියෙන්නේ මේ අර්බුදය ඉදිරියේ තනි නායකයෙක් හරි දේශපාලන පක්ෂයක් මත විතරක් විශ්වාසය තියන්න බෑ. ලබන මාර්තු වෙද්දි ගෙවන්න තියෙන ණය පොලී වරිකය ගෙවා ගන්න අමාරු තැනක ආර්ථිකය තියෙන්නේ. මේකට උත්තර විදියට ඇති වෙන්න නියමිත උත්තර තිබෙන්නේ, වැඩියෙන් බදු බර පටවන එක, ජනතා සහන, සුබසාධන කප්පාදු කිරීම, චීන-ඇමරිකන් කඳවුරුවලට සමීප වෙලා සල්ලි ටිකක් ගන්න එක. ඔබ ඡන්දය දී පත් කරන නායකයන් ඔබේ අපේක්ෂාවන් පාවා දෙන්න නියමිතයි. ඒක 2015දී ඒ බලවේගය අත්වින්දා. ජාතික ආරක්ෂාව වගේ දේවල් බලාපොරොත්තු වෙන පිරිසක් ඉන්නවා. ඔවුන්ටත් කියන්නේ ඒ අපේක්ෂාවන් පාවාදීමට නියමිතයි.

ඊයේ ගෝඨාභය ජයග්‍රහණයෙන් පසු කතා කරද්දි මට ඡන්ද දුන් නොදුන් ජනතාවගේත් ජනාධිපති කියලා. ඒ ස්ථාවරය ඔහු රැක්කත් නැතත් ඒ ස්ථාවරයේ සිට කටයුතු කරන්න කියලා හැම පැත්තටම ඡන්දය දුන්නු ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ බලාපොරොත්තුවෙන් ආර්ථික යුත්තිය පිළිබඳ සටන සටන අතහරින්න එපා. ජාතික ආරක්ෂාව, ස්වාධිපත්‍ය ගැන බලාපොරොත්තුව නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන, ජාතික සමගිය, සියලු ජනතාව එක ඉන්න එක ගැන තියෙන බලාපොරොත්තු අතහරින්න එපා. මේ බලවේග දෙකෙන්ම ඉල්ලනවා, මේ සියලු බලාපොරොත්තු වෙනුවෙන් එකට එකතු වෙලා වැඩ කරමු. බය වෙලා ඉන්න අයට කියන්න තියෙන්නේ, බය වෙන්න දෙයක් නෑ. සමාජ බලවේග ශක්තිමත් නම් ප්‍රජාතන්ත්‍රවාදය උදුරා ගන්න, ආර්ථික අයිතීන් දුරා ගන්න, අපිව භේදබින්න කරන්න අධිරාජ්‍යවාදී වැඩපිළිවෙළට යට කරන්න ලැබෙන්නේ නෑ.

විශ්‍රාම වැටුප නැවත දිනා ගන්න වෙන්නේ, ප්‍රතිත්‍රස්ත පනත පරද්දන්න වෙන්නේ, පෞද්ගලික අංශයට ඇවිත් තියෙන නව කම්ෙකරු පනත පරද්දන්න වෙන්නේ, එම්.සී.සී හරහා ගොවි ඉඩම් උදුරා ගැනීම පරද්දන්න වෙන්නේ, අධ්‍යාපනය, සෞඛ්‍ය අයිතීන් දිනා ගැනීමේ සිට වතු කම්කරුවන් ඉල්ලන දවසට රුපියල් දහසක වැටුප ඇතුළු මේ සියලු දේ දිනා ගන්න වෙන්නේ ජනතා බලවේග ශක්තිමත් කරලා. ඒ කර්තව්‍යයට අද සිට මහන්සි වෙනවා.”