தமிழ்
English
Contact
Thursday 5th December 2019    
අයි.එස් වරුන්ගේන් ඉරාකය මුදාගත් බව නිවේදනය කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අයි.එස් වරුන්ගේන් ඉරාකය මුදාගත් බව නිවේදනය කරයි



අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමිය ත්‍රස්තවාදී සංවිධානය සමඟ තම රට කළ සටන අවසන් බව ඉරාක රජය නිල ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරාකය සතු භූමියෙන් සැලකිය යුතු කොටසක් , අයි.එස්.අයි.එස්.  ත්‍රස්තවාදීන් පසුගිය වසර කිහිපය තුල  අත්පත් කරගෙන සිටි අතර පසුව ඉරාක ආරක්ෂක අංශ ඔවුන්ට සහාය ලබා දෙන ඒකාබද්ධ හමුදා සමග මාස කිහිපයක සිට එල්ලකරනු ලැබ ප්‍රතිප්‍රහාරයන් විසින් මේ වන විට ඉරාකයේ සියලුම ප්‍රදේශ තම හමුදා යටතට ගත හැකිවූ වූ බව ඉරාක රජය නිවේදනය කරයි

ඊයේ මෙම නිවේදනය නිකුත් කළ අතර ඒ අවස්ථාවට ඉරාක අගමැති හයිදර් අල් අබාදි, බැග්ඩෑඞ් අගනුවර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත.

මාස කිහිපයක සිට ඉරාක රජයේ හමුදාවේ ප්‍රබල ප්‍රතිප්‍රහාරයන් හමුවේ ප්‍රහාර හමුවේ පලා යමින් සිටින ත්‍රස්තවාදීන් මේ වනවිට ඉරාක දේශසීමාවේ සැඟවී සිටින බවත්, ඔවුන් ද මුලිනුපුටා දැමීමට කටයුතු කරන බවත් ඉරාක අගමැති පවසා තිබේ.

ත්‍රස්තවාදීන් විසින් අත්පත් කරගනු ලැබ සිටි අවසන් නගරය වූයේ ඉරාක දේශසීමාවට යාබදව පිහිටා ඇති රාවා නගරයයි. රාවා නගරය ද මේ වනවිට මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඉරාක රජයේ හමුදාවෝ සමත් වී සිටිති.

අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් ඉරාකයේ පමණක් නොව ඉරාකයේ අසල්වැසියකු වන සිරියාවේ ද ක්‍රියාත්මක විය. අයි.එස්. ත්‍රස්ත සංවිධානයට ඝාතනයට ලක් වුණු ඉරාකයේ හිටපු නායක සදාම් හුසේන්ගේ බාත් පක්ෂයේ ක්‍රියාකාරීන්ද ඇතුලත්ව බිහිවුණු ඉස්ලාමීය අන්තවාදී සංවිධානයකි.

මොවුන්ගේ ආරම්භය ඉරාකය වුවත්, පසුව ඉරාකයෙන් සිරියාවට යන මොවුන් කරළියට පැමිණියේ සිරියානු සිවිල් යුද්ධය හරහාය. බටහිර රටවලින් මුස්ලිම් අන්තවාදීන් රැසක් සිරියාවට හා ඉරාකයට ගොස් මෙම සංවිධානය සමඟ එක් වූහ.

සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් පාලනයට එරෙහිව  විපක්ෂ දේශපාලන කණ්ඩායම් අවි අතට ගෙන සටන් වදිද්දී, ඉරාකයේ සිට පැමිණි අයි.එස්. ත්‍රස්තවාදීන් සහ අල් කයිඩා හිතවාදී අල් නුස්රා ත්‍රස්තවාදීන් වෙන් වෙන්ම සිරියානු විපක්ෂ ක්‍රියාකාරීන්ට සහාය දැක්වීය. බටහිර රටවලින් ලැබුණු අවිවලින් ශක්තිමත් වූයේ අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. එය ඉන්පසු මුළු ලොවටම තර්ජනයක් විය.

සිරියාවේ ද අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට සිරියානු රජයේ හමුදාවෝ සමත් වී සිටිති. ඒ, රුසියානු හමුදාවෙන් ලැබුණු සහාය හේතුවෙන්.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමත් සමඟ රුසියාව පවසා ඇත්තේ සිරියාවට යැවූ රුසියන් හමුදා ආපසු ගෙන්වා ගැනීමට මේ වනවිට කටයුතු කෙරෙමින් පවතින බවය.