தமிழ்
English
Contact
Wednesday 17th August 2022    
අරගලයේ ආසන්න හෙට දවස ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරගලයේ ආසන්න හෙට දවස !



හෙට දිනය තීරණාත්මකය. මා කතා කරන්නේ ‘අරගලයේ’ අවසන් ප්‍රහාරය ලෙස බොහෝ දෙනෙකු විසින් හඳුන්වනු ලබන ජූලි නමවෙනිදා පැවැත්වීමට නියමිත ජනතා විරෝධතා ව්‍යාපාරය ගැන පමණක් නොවේ. අප ඇතුල් වෙමින් සිටින දීර්ඝ අරගලකාරී හෙට දවස ගැනය. වත්මන් අර්බුදයේ තීව්‍රතාව දෙස බලන විට එම හෙට දවස දශකයක් තරම් දීර්ඝ වූවක් විය හැකිය. එම දීර්ඝ හෙට දවස ගැන කතා කිරීම පසුවට තබා මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ අපගේ ආසන්න හෙට දවස නොහොත් ජූලි නමයට අදාළ දේශපාලනික/න්‍යායික කාරණා කිහිපයක් සාකච්ජා කිරීමය.

ජනතාව නමැති හිස් හැඟවුම්කාරකය 
ජූලි නමය නැගී සිටීම දේශපාලනිකව තීරණාත්මක එකක් වීමට ඉඩ තිබෙන බව අමුතුවෙන් කිව යුතු නැත. එය පසුගිය අප්‍රේල් මාසයේ ආරම්භයේ සිට විකාශනය වූ ‘අරගලයේ’ (දැන් අරගලය යන්න කිසිදු විශේෂණ පදයකින් තොරව භාවිත කෙරෙන පොදු යෙදුමක් බවට පත්ව තිබේ) කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. ආරම්භයේදී පැහැදිලි දේශපාලන නායකත්වයකින් තොරව පැන නැගුණු අරගලය මේ වනවිට විපක්ෂයේ බොහෝ පක්ෂ, සංවිධාන, වෘත්තීය සමිති සහ ජනතා ව්‍යාපාර ඒකාබද්ධ කරගත් ව්‍යාපාරයක් බවට පරිවර්තනය වන්නට සමත්ව තිබේ. ගාලු මුවදොර අරගල බිමේ ක්‍රියාකාරී වූ සංවිධාන සහ කණ්ඩායම් රාශියක් අතර පොදු එකඟතා මාලාවක් ගොඩ නගා ගන්නට එය සමත්ව තිබේ. අරගලකරුවන්ගේ කැපී පෙනෙන ජයග්‍රහණය වන්නේ සෘජුව හෝ වක්‍රව කිසිදු තනි දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රය යටතට නොවැටී එවන් එක්සත්භාවයක් ගොඩ නගා ගන්නට සමත් වීමය. 

අපගේ ඇතැම් මිතුරන්ගේ විවේචනයට ලක් වන ‘නිර්පාක්ෂික’ නොහොත් ‘සර්ව-පාක්ෂික’ යන උදෘතයේ දේශපාලනික වැදගත්කම වන්නේද පක්ෂ අනුව බෙදුණු ජනතාව පොදු අරගල බිමකට කැඳවීමට එහි ඇති සමත්කමයි. ආරම්භයේදී අරගලය කිසියම් පක්ෂයක මෙහෙයවීම මත සිදු වේ යැයි කවර අයුරකින් හෝ ප්‍රචලිත වූයේ නම්, බොහෝ දෙනෙකු එයට සහභාගී නොවී සිටින්නට ඉඩ තිබුණි. විශේෂයෙන්ම දේශපාලන අවකාශයට අලුතින් කඩා වැදුණු බොහෝ කොටස් සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය කෙරෙහිද විරෝධයක් දක්වමින් සිටි බැවිනි. ‘නිර්පාක්ෂික’ යන්නෙහි දේශපාලනික ශක්‍යතාව රැඳී පවතින්නේම එය නිශ්චිතව නිර්වචනය කළ නොහැකි වීම මතය. එය දැනට දේශපාලන ලෝකයේ පවතින කිසිදු නිශ්චිත තනි අරුතකට ලඝු කළ නොහැකිය. ඕනෑම කෙනෙකුට නිර්පාක්ෂික ජනතාවගේ නියෝජිතයෙකු විය හැකිය. නමුත්, කිසිවෙකුට එය තම පක්ෂයේ හෝ සංවිධානයේ සීමිත රාමුව තුළට මුළුමනින්ම කොටු කරගත නොහැකිය. න්‍යායිකව, අර්නෙස්ටෝ ලැක්ලාවූ ‘ජනතාව’ යනු හිස් හැඟවුම්කාරකයක් (empty signifier) යැයි පවසන්නේ මේ අරුතිනි. 

නමුත්, මෙම හිස් හැඟවුම්කාරකයෙන් නියෝජනය වන විශ්වීයත්වයේ ස්ථානය අත්පත් කරගන්නට විවිධ දේශපාලන නායකත්වයන් අරගලයක යෙදෙමින් සිටී. හෙජමොනික අරගලය යනු එයයි. පසුගිය මාස තුනක කාල පරිච්ජේදය තුළ බොහෝ දේශපාලන පක්ෂ ප්‍රයත්න දරමින් සිටියේ අරගල බිම තුළ ප්‍රකාශයට පත් වන ජනතා ඉල්ලීම්වල නියෝජනය බවට පත්වීම සඳහාය. එමගින් පැහැදිලි වන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, අප්‍රේල් මස ආරම්භයේ සිට මෙරට හෙජමොනික අරගලයේ කේන්ද්‍රස්ථානය වන්නේ ‘අරගල බිම’ (මෙයද දැන් විශේෂණ පදයකින් තොරව භාවිත වන යෙදුමකි. ව්‍යවහාරික දේශපාලන භාෂාවේ සිදුව ඇති මෙම වෙනස අපට සමකාලීන දේශපාලන ගතිකත්වයන් ගැන වැදගත් පාඩම් උගන්වයි) බවයි. තීරණාත්මක සටන ජයගත යුත්තේ එතැනයි. එය නොතකා හරින දේශපාලන ව්‍යාපෘතීන් සේම දේශපාලන න්‍යායික ප්‍රවණතාද ඉක්මණින්ම අතීතයට එක්වනු ඇත. 

සුවිශේෂකත්වය සහ විශ්වීයත්වය
ජනතාව නමැති පොදු දෙයෙහි නියෝජනය බවට පත්වීමට දරන ප්‍රයත්නයේදී දේශපාලන පක්ෂ මුහුණදෙන මූලික අභියෝගයක් වන්නේ තම පක්ෂවල සුවීශේෂී අනන්‍යතා, ස්ථාවරයන්, දෘෂ්ටිවාදී එළඹුම්, න්‍යායපත්‍ර සහ වැඩ පිළිවෙලවල් යනාදියෙන් සැකසුණු පක්ෂ රාමුව පවත්වා ගන්නා අතරම, ජනතාවගේ පොදු නියෝජනය බවට පත්වන්නේ කෙසේද යන්නයි. මේ අභියෝගය විශේෂයෙන්ම අදාළ වන්නේ පක්ෂවලින් සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතව ජනතාවාදී (populist) දේශපාලනයක පැන නැගීමක් සිදුවන තත්ත්වයක් තුළදීය. වත්මනෙහි මෙරට පවතින තත්ත්වය එබන්දකි. පක්ෂවල සුවිශේෂී අනන්‍යතාවන් පෙරටු කොටගත් වහාම ජනතාවගෙන් සැලකිය යුතු කොටසක් ඒවායින් වියෝ වී යයි. විශේෂයෙන්ම කාලාන්තරයක් පුරාම මැතිවරණ අරමුණු කරගත් පක්ෂ දේශපාලනය කෙරෙහි සමාජයීය විවේචනයක් ගොඩ නැගී පවතින සංධර්භයක් තුළදී මේ අභියෝගය වඩා තීව්‍ර වේ. 

මේ අභියෝගය ජයගැනීම සඳහා ලාංකීය දේශපාලන පක්ෂ ගණනාවකම පොදු ප්‍රතිචාරයක් වී ඇත්තේ තම පක්ෂවල නිල රාමුවට පිටතින් කිසියම් බහුජන සංවිධාන ව්‍යුහයක් නිර්මාණය කර ගැනීමයි. නිදසුනක් ලෙස, රාජපක්ෂ ව්‍යාපෘතිය වටා ජනවාර්ගික ජාතිකවාදී ව්‍යුහයක් ගොඩ නැගීමත් ජනතා විමුක්ති පෙරමුණ වටා ජාතික ජන බලවේගය ගොඩ නැගීමත් ගත හැකිය. මේ අරුතින් මෙරට බොහෝ දේශපාලන පක්ෂ සතුව යානීස් ස්ටව්රකාකිස්ගේ වචනයෙන් කිවහොත්, ‘ජනතාවාදී අතිරික්තයක්’ (populist surplus) පවතී. 

මෙරට හෙජමොනික දේශපාලනයේදී ඉතාම වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නා වූ මෙම ජනතාවාදී අතිරික්තයක් ගොඩ නගා ගැනීමේදී විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණය සමයේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය කිසියම් දුර්වලතාවක් ප්‍රකට කළ බව සැබෑය. නමුත්, වත්මනෙහි ඔවුන්ද වේගයෙන් එම අභියෝගය භාර ගනිමින් සිටින බව පෙනේ. මෙතෙක් කලක් එම පක්ෂය ස්ථානගත වී සිටියේ සමාජයේ ජනප්‍රිය දේශපාලන මනෝභාවයට පිටතින් වුවද, වත්මන් ජන අරගලයේ හැරවුමත් සමග හෙජමොනික අරගලය තුළ ඔවුනගේ පිහිටුම සැලකිය යුතු තරමින් වෙනස් වී තිබේ. එපමණක් නොව, පාර්ලිමේන්තුවට පිටතින් ජනතා බලය අභ්‍යාස කරන විකල්ප ව්‍යුහයන් ගොඩ නැගීමේ පෙසප වැඩ පිළිවෙල පැහැදිලිවම ග්‍රාම්ස්චියානු අරුතින් ප්‍රති-හෙජමොනික දේශපාලනයක ලක්ෂණ ප්‍රකට කරයි. මෙම පරිවර්තනයේ දේශපාලන ගම්‍යතා මොනවාදැයි ඉදිරියේදී නිරීක්ෂණය කළ හැකි වනු ඇත.

කෙසේ වුවද, පක්ෂ දේශපාලනයේ සුවිශේෂකත්වයේ තර්කණය අබිබවමින් අරගලයේ පොදුභාවයේ තර්කණය ඉස්මතුවීම පිළිබඳ ඉතාම වැදගත් පණිවිඩයක් පසුගියදා ප්‍රකාශයට පත්වූ බවද මෙහිදී සටහන් කළ යුතුව තිබේ. එනම්, පසුගිය කාලයේ අත්අඩංගුවට පත් ජන අරගලයේ නායකයින් කිහිපදෙනෙකුට පමණක් අධිකරණයෙන් ඇප හිමිවීමෙන් පසුව එම පිරිස තම සගයින් සියළුම දෙනා හට ඇප ලැබෙන තෙක් ඔවුන් සමග රිමාන්ඩ් භාරයේ සිටින්නට තීරණය කිරීම මගින් ලබා දෙන ලද පණිවිඩයයි. (එම සංකේතාත්මක ක්‍රියාවෙන් දින කිහිපයකට පසුව ඔවුන් ඇප තැන්පත් කිරීම හේතුවෙන් එකී පණිවිඩයේ වැදගත්කම කිසිසේත්ම අඩු වී නොයයි). ඔවුන් දුන් පණිවිඩයේ සුවිශේෂත්වය වන්නේ ඇප ලැබුණු සහ ඇප නොලැබුණු පිරිස එකම දේශපාලන පක්ෂයකට හෝ ව්‍යාපාරයකට අයත් නොවූවද, ඔවුන් අතර ඉතාම සවිමත් සහයෝගීතාවක් ගොඩ නැගී තිබෙන බව එයින් සංකේතවත් වීම නිසාය. ජන අරගලය මේ වනවිට පක්ෂ දේශපාලනයේ චර්යාවන් මගින් මුළුමනින්ම නියාමනය කළ නොහැකි තරමට කිසියම් ස්වායත්ත ගතිකත්වයක් වර්ධනය කරගෙන සිටින බව මෙයින් ගම්‍ය වේ.

නිර්-දේශපාලනයේ ද්විත්ව අනතුර
නිර්-පාක්ෂික නොහොත් සර්ව-පාක්ෂික ජනතාවත් දේශපාලන පක්ෂත් එකිනෙකට අභිමුඛ වන වත්මන් මොහොතේදී සැළකිල්ලට ගත යුතු තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්, පොදු අරගලයේ ක්‍රියාකාරීත්වයත් සුවිශේෂී සංවිධානවල ක්‍රියාකාරීත්වයත් අතර නිරන්තරයෙන්ම පවත්වාගත යුතු තුලනය කවරාකාර වේද යන්නයි. මේ සම්බන්ධයෙන් යානීස් ස්ටව්රකාකිස් වැදගත් න්‍යායික අදහසක් ප්‍රකාශ කරයි. ඔහු පවසන්නේ ජන අරගලය කිසියම් සිරස් සංවිධාන ආකෘතියක් යටතට රැගෙන ඒමට දරන ප්‍රයත්නයන් වඩා බලවත් වුවහොත්, එය ජනතාවාදී ව්‍යාපෘතියේ අවසානය වනු ඇති බවයි. වෙනත් ලෙසකින් කිවහොත්, අරගලය කිසියම් පක්ෂයක ආධිපත්‍ය යටතට ගැනීමට දරන ප්‍රයත්නයක් වනාහී ජනතාවාදයට එරෙහි ප්‍රයත්නයකි. පක්ෂයක් විසින් අරගලයට දින නියම කිරීම යනු අරගලයේ හෙජමොනික ශක්‍යතා පහළ දැමීමකි.
එසේම, එහි අනෙක් අන්තයද එතරම්ම ගැටළුකාරීය. අරගලය කිසිදු සිරස් නායකත්වයක් පිළි නොගන්නා අන්තයකට ගමන් කළ හොත්, එයින් පවතින ක්‍රමය අභියෝගයට ලක් කෙරෙන ආකාරයේ කිසිදු පරිවර්තනයක් ඇති කළ නොහැකි වනු ඇත. ස්ටව්රකාකිස් පෙන්වාදෙන පරිදි එක්සත් ජනපදයේ වෝල් වීදිය අල්ලා ගැනීමේ ව්‍යාපාරයට සිදු වූයේ එයයි. අරගලය තුළ මුළුමනින්ම දියවී යන ලෙස පක්ෂ සහ සංවිධානවලින් ඉල්ලා සිටීම අතිශය අදේශපාලනික යෝජනාවක් වන්නේ මේ නිසාය.

අරගලයේ සාමූහික නායකත්වය විපක්ෂයේ පක්ෂ සහ සංවිධාන සමග එකඟතාවක් ගොඩ නගා ගැනීමෙන් පසුව දියත් කෙරෙන ජූලි නමවෙනිදා මෙහෙයුම දේශපාලනිකව තීරණාත්මක හැරවුමක් වන්නේ ඉහත තතු යටතේය. අරගලයේ පොදුභාවයත් පක්ෂ දේශපාලනයේ සුවිශේෂකත්වයත් අතර ද්වන්ධාත්මක සම්බන්ධය මේ හැරවුමෙන් පසුව නිරන්තර සැළකිල්ලට ලක් කළ යුතු කාරණයක් වනු ඇත. අරගලය ධූරාවලීගත සංවිධාන ආකෘතියක් ඔස්සේ ගමන් කිරීමේ අන්තයත්, සංවිධාන ආකෘතීන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමේ අරාජකවාදී අන්තයත් එකසේ විනාශකාරීය. 

කෙසේ වුවත්, වත්මන් මොහොත දක්වා මේ ද්විත්ව විනාශකාරී අන්තයන් මග හරිමින් අරගලයේ සාමූහික නායකත්වය විසින් බලවේග හසුරුවා ඇති ආකාරය විශ්මය උපදවන තරම් විශිෂ්ටය. අප ඇතුල් වෙමින් සිටින අන්ධකාර යුගය තුළ කිසියම් හෝ අස්වැසිල්ලක් ලබා දෙන එකම කාරණාව එය පමණි. 
– සුමිත් චාමින්ද  

පරිශීලන

Laclau, Ernesto, 2005, On Populist Reason, Verso, London.

Stavrakakis, Yanis, 2020, The People is an Empty Signifier, in Populismus Interventionsno. 06, hessaloniki, http://www.populismus.gr/wp-content/uploads/2020/01/intervention-6-stavrakakis.pdf