தமிழ்
English
Contact
Thursday 29th September 2022    
අරගලයේ මෙතෙක් කතාව | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරගලයේ මෙතෙක් කතාව



ජන අරගලයේ එක් සුවිශේෂී සන්ධිස්ථානයක් සලකුණු කරමින් අප්‍රේල් 09 වැනිදා කොළඹ ගාලුමුවදොර පිටියට කැඳවනු ලැබූ විරෝධතාව පුරා මාස 3කට අධික කාලයක් මේ රටේ ජනතාවගේ අභිලාෂයන් ප්‍රකාශයට පත් කළ සහ ජනතා අරගලයේ දිශානතියට බලපෑම් කළ ක්‍රියාදාමයකි. එපමණක් නොව, එය සාමුහික ජනතා අපේකෂාවන් කුළුගැන්වීම වෙනුවෙන් සියලු බේද අත්හැර සටන් වදින ආදර්ශයක් මෙන්ම සංවිධානාත්මකව අරගල කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් දේශපාලන පාඩම් පොතක්ද විය. අගෝස්තු 10 වැනිදා අරගල බිමෙන් ඉවත්ව යන්නට ගාලුමුවදොර අරගලකරුවන්ගේ මූලික ක්‍රියාකාරි කමිටුව ගත් තීන්දුව අනුව බොහෝ අරගලකරුවන් එතැනින් ඉවත්ව ගිය අතර තවත් ඇතැම් අරගලකාරී කන්යඩායමක් එම තීරණය ප්‍රතික්ෂේප කරමින් විරෝධය දැක්වීමේ සිය අයිතිය භාවිත කරමින් රැඳී සිටියහ. කෙසේවෙතත්, අගෝස්තු 12 වැනිදා පොලිසිය විසින් එම කණ්ඩායම්ද ඉවත් කිරීමට කටයුතු කරන ලදී. මේ සමග අප පළ කරන්නේ, අරගලයේ පසුවිපරමක් කිරීමේ උත්සාහයක් ලෙස අගෝස්තු මස ‘වම’ පුවත්පතේ පළ වූ ලිපියකි.

(උපුටාගැනීමේදී කර්තෘ අයිතිය සුරකින්න)

#GoHomeGota තේමාවෙන් ඇරඹුණු ජනතා අරගලයේ මුඛ්‍ය පරමාර්ථය ජයග්‍රහණය කරමින්, ජුලි 9 ජනතා නැගිටීම විසින් ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකරන ලදී. ලංකා ඉතිහාසය තුළ, රාජ්‍ය නායකයකු ජන අරගලයක් හරහා පලවා හැරි පළමු අවස්ථාව වන මෙය ලොව පුරා අරගලකරුවන් සහ දේශපාලන විචාරකයින්ගේ දැඩි අවධානයට පාත්‍ර විය. කෙසේවෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ සහයෝගය මත රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම සමග ප්‍රතිගාමීත්වයේ යුගයක් යළි නිර්මාණය වී තිබේ. දේශපාලන පක්ෂ සහ අරගලකරුවන් දඩයම් කෙරෙමින් පවතින වකවානුවක වුවත් අරගලයේ දේශපාලනය, ශක්‍යතාවයන් හා අභියෝග පිළිබඳ පුළුල් වාමාංශික කියවීමක් අත්‍යවශ්‍ය ව ඇත. මෙය ඒ සඳහා වන එක්තරා පෙරවදනකි.

අරගලයේ මූලයන්

අර්බුදය ධනවාදයේ ජාති ලක්ෂණයකි. ධනවාදී ආර්ථිකයේ ගතිකතා විසින් අර්බුදය නිර්මාණය කරයි. ඒ හරහා එය අරගලයට අවශ්‍ය කොන්දේසි ද සපුරනු ලබයි.
දශක 7ක් පුරා ලංකාවේ බලයට පත්වූ ආණ්ඩු විසින් ගෙන ගිය ප්‍රතිපත්ති හා 77න් පසු ගත් නව ලිබරල්වාදී උපායමාර්ග හරහා ක්‍රමික ණය උගුලක මුව විටට ආර්ථිකය පැමිණ තිබිණි. වසංගතය තුළ විදේශ විනිමය ගලා ඒම අඩපණ වූ අතර එයට විසඳුම් ලෙස ගත් ක්‍රියාමාර්ග හරහා අර්බුදය වඩාත් උත්සන්න විය. කොතලාවල පණතට එරෙහි විරෝධතා සහ ඉන් අනතුරුව පැන නැගුණු ගුරු අරගලය විසින් ගෝඨාභය රාජපක්‍ෂ ආණ්ඩුව සතුව පැවති 2/3 පාර්ලිමේන්තු බලයට අභියෝග කිරීම, අරගලයට අවශ්‍ය සමාජයීය කොන්දේසි නිර්මාණය කළේ ය. වේගයෙන් හීන වූ ඩොලර් සංචිත ආරක්‍ෂා කරගැනීමට ගත් පියවරයක් වූ රසායනික පොහොර තහනම ආහාර අර්බුදයක අවදානම නිර්මාණය කරන ලදී. 2022 වසර ආරම්භය වන විට ඉන්ධන, ගෑස්, කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට මුදල් නොතිබණි. දිගු පෝලිම් සුලභව දැකිය හැකි විය. මාර්තු මස වන විට ආණ්ඩු විරෝධී දේශපාලන කණ්ඩායම් මෙන්ම ජනතාවගේ ස්වෙච්ඡා මැදිහත්වීමෙන් ද වීදි හා නගර උද්ඝෝෂණ ආරම්භ කෙරිණි. මාර්තු 27වනදා ජන අරගල ව්‍යාපාරයේ පළමු සමුළුව මුළුදෙන්නේ මෙවැනි තත්වයකදී ය.
ජනතා අරගලයේ පළමු වෙඩි මුරය, මාර්තු 30වනදා මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස අසල පැවති විරෝධතාවය යි. එහිදී අත්අඩංගුවට පත්වූ පිරිස වෙනුවෙන් පසුදා උදෑසන අතිවිශාල නීතිඥ කණ්ඩායමක් පෙනී සිටීම, අරගලය වෙත තිබුණු ජනතා අනුමැතිය දක්වන දර්ශකයක් විය.

අරගලයේ සමාජයීය සංයුතිය

නැගී ආ ජනතා අසහනකාරීත්වය ක්‍රම විරෝධී අරගලයක් වෙත ගොණුවීමේ හැකියාවක් පැවතුනු බව දැකිය යුතුය. ජන අරගල ව්‍යාපාරය විසින් අරගල සභා ගොඩනගමින් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා ආණ්ඩුවක් ගොඩනැගීමේ උපාය මාර්ගය හරහා උත්සහ කළේ මෙය ප්‍රායෝගිකත්වයට ගෙන එන්නට යි.
නමුත් #GoHomeGota සටන් පාඨය සමාජ ජාල හරහා වේගයෙන් ජනප්‍රිය වූ අතර මැද පන්තික තරුණ ප්‍රජාව අරගලය තුළට වේගයෙන් කැඳවීමට එය සමත් විය. ඉන්ධන, ගෑස් සහ විදුලිය කප්පාදු කිරීම් හරහා මැද පන්තික සමාජ ස්ථරයන් වේගයෙන් අර්බුදයට යවා තිබිණි. හැෂ්ටැග් (#) සටන් පාඨයක් යොදා ගනිමින් සමාජ ජාල හරහා ජනතාව අරගලයට කැඳවූ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසය තුළ සටහන් වේ. සමාජ ජාල සාක්ෂරතාවය සහිත මැද පන්තිය අරගලයේ ආරම්භක වැඩ කොටස ඉටු කරන ලදී.
කෙසේවෙතත් නැගී ආ අර්බුදයට දක්වන සමාජ ප්‍රතිචාරය #GoHomeGota හරහා පුද්ගල විරෝධයක් දක්වා හකුළා දැමිණි. එමෙන්ම සියලුම ආකාරයේ සංවිධිත දේශපාලන මැදිහත්වීම් ප්‍රතික්‍ෂේප කරන නිර්පාක්ෂික අරගලයක් ලෙස ද එය නාමකරණය කරනු ලැබීය. ගෝඨා ගෙදර යැවීමෙන් පසු කුමක් විය යුතු ද යන ප්‍රශ්නය එය විසින් විවෘතව තබා තිබූ අතර මේ තුළ දේශපාලන ප්‍රතිගාමීත්වයක අනතුර පවා තිබූ බව හඳුනාගත යුතුය. නමුත් ජන අරගලය වෙත සුවිසල් සමාජ මැදිහත්වීමක් දිනාගත්තේ ද මේ පැවති හිඩැස යි.
අප්‍රේල් 3වනදා මුළු රට ම වීදි බසින ලෙස සමාජ ජාල හරහා නිර්නාමික ආරාධනයක් සිදුකෙරිණි. ඒ වෙනුවෙන් සමාජ ජාල කණ්ඩායම් ප්‍රාදේශීය මටටමින් සකස්වී තිබිණි. නමුත් අප්‍රේල් 2වන දින ඇඳිරි නීතිය පැනවීමට ගෝඨාභය රාජපක්‍ෂ ගත් තීරණය අරගලයේ දිශානතිය හා සංයුතිය තීරණය කිරීමේ සුවිශේෂී බලපෑමක් සිදුකළේ ය. ඇඳිරි නීතිය හා සමාජ ජාල අවහිර කිරීම සමග 3වන දා වීදි බසින සැලසුම අභියෝගයට ලක් විය. කෙසේවෙතත් සංවිධානාත්මක දේශපාලන සංවිධාන අප්‍රේල් 2 සවස් කාලයේ සිටම සහ 3වනදා උදෑසන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් සිදුකළ විරෝධතා හේතුවෙන් එදින සවස් කාලය වන විට මුලු රට ම විරෝධතා අරගල බිමක් බවට පත්ව තිබිණි. මේ හරහා සංවිධානාත්මක දේශපාලන කණ්ඩායම්වලට ජන අරගලය වෙත ප්‍රවේශ වීමට මග හෙලි කරන ලදී.

සමාජ ජාලයෙන් ඔබ්බට

අප්‍රේල් 9 වනදා ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම විරෝධතාකරුවන් විසින් අවහිර කිරීම සමග ගාලුමුවදොර අල්ලා සිටීමේ (occupying) අරගලය ආරම්භ විය. එදින ම අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පාගමනකින් පැමිණ ඒ වෙත එක්වූ අතර වෙනසක තාරුණ්‍යය වැනි වාමාංශික තරුණ සංවිධාන මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල් පාර්ශ්වයන් හා කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැති අතිවිශාල තරුණ ප්‍රජාවක් මේ සමග දේශපාලන ක්‍රියාකාරීත්වයට පිවිසිණි. සමාජ ජාලයන්ට ඔබබෙන් ඒ සමග ආරම්භ වූ අරගලය බහු පාක්ෂික අරගලයක් ලෙස හැඳින්වීම වඩා උචිත වේ.
පෙර නුවූ විරූ අරගල මාදිලියක් වීම හා ඉන් දිනාගත් පුළුල් ජනතා සහභාගීත්වය සමග අරගලය විසින් ජාතික දේශපාලනයට සිදුකළ බලපෑම අතිමහත් විය. කැබිනට් මණ්ඩල කිහිපයක් ඉවත්වූ අතර රාජපක්‍ෂ පවුල තුළ බල අරගලය මහින්ද රාජපක්‍ෂ ඉල්ලා අස්වීම දක්වා දීර්ඝ විය. කෙසේවෙතත් මැයි 9 දින අරගල භූමියට ආණ්ඩුවේ මැරයන් විසින් එල්ල කළ ප්‍රහාරය හරහා අරගලය යළි ඔප දැමිණි.
අරගලය ආරක්‍ෂා කිරීම සඳහා දැක්වූ ප්‍රතික්‍රියාව හරහා ජනතාව තමන් සතු බලය යළි අනාවරණය කරගත් බව පසු ආවර්තීය ව බැලූ විට පෙනී යයි. එය කිසිදු මෙහෙයවීමක් නොමැතිව අධික වේගයකින් පැතිර ගිය අතර ප්‍රහාරයට මැරයන් පැමිණි බස් රථ හා ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණනාවකගේ නිවාස පුළුස්සා දමන ලදී. මැයි 9 අත්දැකීම් නොවන්නට ජුලි 9 සිදුනොවනු ඇතැයි කීම වරදක් නොවේ.

අරගලය තුළ දේශපාලනය

මැයි 9 සිදුවීම්වලින් පසු ආරම්භවූ අත්අඩංගුවට ගැනීම් සමග අරගලය නිහඬ අවධියකට ගමන් කළේ ය. නමුත් මේ ඉසිඹුව, අරගලයට සහභාගීව සිටි විවිධ කණ්ඩායම් අතර දේශපාලන මතවාදී අරගලය පෝෂණය වීමට ඉවහල් විය. ලිබරල්, වාමාංශික හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් අතර පැවති මෙම මතවාදී අරගලය අනාගතයේදී ලාංකේය අරගල සාහිත්‍යය වෙත විවෘත කළ යුතුව ඇත. දීර්ඝ සංවාද හා විසංවාදයන්ගෙන් අනතුරුව සම්පාදනය කෙරුණු අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම ජුලි 5වනදා ජනගත කෙරිණි. ගෝඨාභය ගෙදර යනු සටන් පාඨයෙන් ඔබ්බට අරගලයේ අභිලාෂයන් ඒ හරහා තහවුරු කරන ලදී. ජනතාව සංවිධානය කෙරෙන විකල්ප මහජන කවුන්සිල ව්‍යූහයක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ජනතාවට බලය ලැබෙන නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම ඉන් ප්‍රමුඛ විය.
ජුලි 9වනදා ජනතා නැගිටීම ගාලුමුවදොර අරගලකරුවන් විසින් කැඳවූ අතර ඒ සඳහා ලක්‍ෂ 20ක් පමණ ජනකායක් සහභාගී වූ බව බුද්ධි අංශ වාර්තා කරන ලදී. ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අරලියගහ මන්දිරය, අග්‍රාමාත්‍ය කාර්යාලය වැනි රාජ්‍ය මර්මස්ථාන රැසක් ජනතා පාලනයට නතු විය. දින කිහිපයක් එම ස්ථාන මහජන ප්‍රදර්ශනය වෙත විවෘත කෙරුණු අතර පසුව අතහැර දමන ලදී.

ඉදිරි අභියෝග

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම හා පැරණි පොදුජන පෙරමුණු රජයේ බහුතරයකින් පාර්ලිමේන්තු බලය තහවුරු කිරීම සමග ජන අරගලය නව පරිච්ඡේදයකට ගමන් කර තිබේ. ජුලි 22වනදා අළුයම ගාලුමුවදොර ඉලක්ක කරගත් දැවැන්ත මිලිටරි ප්‍රහාරයක් දියත් කෙරුණු අතර හදිසි නීතිය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආදී මර්දන අණපනත් හරහා ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර තිබේ.
මෙම තත්වය තුළ අරගලය නියෝජනය කරන ඇතැම් ප්‍රවණතා අතරින් හදිසි මැතිවරණයක් සඳහා වන ඉල්ලීම් පැමිණ ඇත. නමුත් වඩාත් අවධානයට ගත යුතු කරුණ වන්නේ මෙතරම් පැතිරුණු ජනතා අරගලයක් වුවත් දේශපාලන ආර්ථික රාමුවේ යම් වෙනස්කම් සිදුකිරීමට එය මෙතෙක් අපොහොසත් ව තිබීම යි.
අරගලය විසින් ජනාධිපතිවරයෙක් බලයෙන් පහකිරීම ඓතිහාසික ජයග්‍රහණයක් වුවත් සැබෑ ජනතා ජයග්‍රහණ අත්පත් කරගැනීම අරගලයේ ඉදිරි අභියෝගයක් ලෙස හඳුනාගත යුතුය. ඒ සඳහා වාමාංශික ව්‍යාපාරය පෙරමුණ ගත යුතු බව අරගලයේ සංයුතිය දෙස බැලූ විට පෙනී යයි. අපේක්‍ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මෙන්ම ක්‍රම වෙනසක් සඳහා වන ප්‍රාරම්භක පියවරයන් තැබීම හරහා සමාජයට සැබෑ ජයග්‍රහණ දිනාගත හැකිවන්නේ වාමාංශික ප්‍රවේශයක් හරහා පමණි.