தமிழ்
English
Contact
Saturday 23rd November 2019    
අරගලයේ රොමෑන්තිකයට ගිනි බිඳින ‘කොට තුවක්කු’ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අරගලයේ රොමෑන්තිකයට ගිනි බිඳින ‘කොට තුවක්කු’



ප්‍රියන්ත ලියනගේ විසින් ලියු ප්‍රථම නවකතාව ‘කොටතුවක්කු‘ පසුගිය කාලයේ පාඨකයා අතට පත්විය. ඒ පිළිබඳ විවරණාත්මක ලිපියක් ලියමින් සහෘද සටහනක් තබන්නේ කවියකු, ලේඛකයකු හා විචාරකයකු ලෙස අවධානයට ලක්වන නලින්ද සංජීව ලියනගේ විසිනි.

නවකතාව යනු කතන්දරයක් නොවේ. කතන්දරයක් නොවන්නේද නොවේ. එපමණටම නවකතාව යනු යථාර්ථයද නොවේ. යථාර්ථය නොවන්නේද නොවේ. මාර්ටින් වික‍්‍රමසිංහ යථාර්ථවාදී නවකතා ලියුවේය. ඩබ්ලිව්. ඒ ද සිල්වා සුන්දර කතන්්දරකාරයෙකු වූයේ ඊට සාපේක්ෂවය. එදිරවීර සරච්චන්ද්‍ර භාෂාවේ කාව්‍යමය මටසිලිටි බවෙන් වික‍්‍රමසිංහයන්ගෙන් වෙනස් විය. එහෙත් කිසිවිටෙක යථාර්ථවාදී රීතියෙන් පිට පනින්නට ඔහුට වුවමනා නොවීය. ආරම්භක අවධියේ ලිංගිකත්වයේ අබිරහස අතපත ගෑ අමරසේකර පසුව ඍජු නවකතාමය දේශපාලන නිරීක්ෂකයෙකු විය. නවගත්තේගම නවකතාවේ ඉන්ද්‍රජාලික විශ්මය විය. ගෙවුණු සියවසේ සිංහල නවකතාව සිය පියසටහන් තැබුවේ ඔවුන් තැනූ මංපෙත් දිගේය.

නිබඳවම වෙනස් චමත්කාරයක් ප‍්‍රදානය කළ ද මෙකී නිර්මාණකරුවන් එකිනෙකා සම්මුඛ වූ පොදු ලක්ෂ්‍යයක් විය. ඔවුන් බොහොවිට රුසියානු සාහිත්‍යයෙන් සහ යුරෝපීය සාහිත්‍යයෙන් ආභාෂය ලැබූවෝ වූහ. ඔවුන්ගේ සාහිත්‍ය විලාසය වනාහි නිශ්චිත සමාජමය චලිතයක දී, ඒ චලිතය කෙරෙහි ඔවුන්ට වූ දයලෙක්තික සමිබන්ධය විය. මේ සමාජමය චලිතය ද ධාරාවන් කිහිපයක අඩංගුවක් මිස හුදෙකලා ප‍්‍රපංචයක් නොවීය. ආර්ථික සංස්කෘතික දේශපාලනික සාරයන් හෝ අසාරයන් එකී චලිතයේ ප‍්‍රමුඛ වර්ණ සංයෝජකයන් විය. සාහිත්‍යය ඇසුරේ ද පරාවර්තනය වූයේ එකී වර්ණයන්ගේ දීප්තිමත් චමත්කාරය හෝ දුර්වර්ණ මලානිකත්වයයි. එහි අරුත් සහෘදයාට අභිරහසක් නොවීය. චලිතයේ කොන්දේසි මත තබා ඒවායේ අරුත් පසිඳලන්නට ඔවුහු සමත් වූහ.

එහෙත් සියවස අවසාන වනවිට නවකතාව එතැනම ලැග නොසිටියේය. එය වෙනත් පිම්මක් පැන තිබූ අතර ඕනෑ නම් තවත් පිමි පනින්නට අරඅඳිමින් සිටියේය. ඕනෑම විෂයකට අදාළව එකතැන ලැග සිටීම තරමක අමන බවක් ප‍්‍රකට කරනවා සේම, එකතැන ලැග සිටින්නට සිදුවීම නිසාම පිම්මක් පනින්නට සිතීම ද බුද්ධිගෝචර නොවන්නේය. පිම්මෙන් අනතුරුව ස්ථානගත වන්නේ කොතැනද යන්න පිළිබ`දවද කල්පනා කළ යුතු වන්නේය. සිංහල නවකතාවට අදාළ විවාදාපන්න කාරණාව නම්, අන්න ඒ කල්පනාව කෙරෙහි කොයිතරම් දුරට සාවධාන වූවාද යන්නය.

අලූත් සියවස ඇරඹුණේ අලූත් ඉසව්වක ස්ථානගත වූ නවකතා ප‍්‍රවර්ගයක් ද සමගිනි. එතෙක් සිංහල නවකතාව සමගින් සුහදශීලීව ගනදෙනු කරමින් උන් සහෘදයාට මේ ඉසව්ව තරමක් ආගන්තුක විය. මේ ඉසව්වේදී ඔහුට හමුවූයේ එතෙක් හුරුපුරුදුව සිටි මුල, මැද, අග සහිත සරල ආඛ්‍යාන රටාවම නොවේ. කලින් අනුදත් යථාර්ථවාදී රීතියම ද නොවේ. චරිත හැසිරුණු ආකාරය ද චලිතයේ කොන්දේසිවලට අනුව පමණක් කියවාගත නොහැකි වූවා මෙන්ම, තාර්කිකත්වයේ සම්ප‍්‍රදායක මිනුමෙන් විනිශ්චය කරන්නට ද පුළුවන්කමක් නොවීය. භාෂාමය අතින් ගත් කල, භාෂාමය වංකගිරියකට අභිමුඛ වූ සෙයක් ද දැනුණේය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ සිංහල බෞද්ධ විචාර රීතියවත් සරච්චන්ද්‍රයන්ගේ කල්පනාලෝවාදයවත් සහෘදයාගේ පිහිටට නාවේය. සමාජසත්තා යථාර්ථවාදය ද දුර්වලම මෙවලමක් සේ පෙනුණේය. යතුරක් සොයාගත හැකිව තිබුණේ මාක්ස්වාදී විචාර ක්ෂේත‍්‍රයේ දී පමණි. එහෙත් එය තවදුරටත් සම්ප‍්‍රදායික මාක්ස්වාදී විචාරය නොවිය යුතු විය. කොටින්ම එක්තරා අබිරහස් කලාපයකට ඇතුළු වන්නටත් එහි මංමුලා වන්නටත් පාඨකයාට බල කෙරී තිබුණි.

සාහිත්‍ය කියවීම තවදුරටත් සරල ක‍්‍රියාකාරකමක් නොවීය. මංමුලාවෙන් මිදී අභිරහස් අනාවරණය කරගන්නට නම් කෘතිය සමගින් අනිවාර්ය අභ්‍යාස සමයක් ගෙවා දමන්නට පාඨකයාට සිදු විය. සාහිත්‍ය ඇසුරු කිරීමෙන් සහෘදයා උසස් රසවින්දනාත්මක තලයකට එසවෙන්නේ යැයි යන සනාතන සත්‍යය ඇස්පනාපිට වැඩ කරන්නට තිබුණේය.
මේ අබිරහස් අවකාශයේ සාහිත්‍ය සූරයන් වූයේ මාකේස්ය. අයියන්ඬේය. රුෂ්ඩිය. පාවුලෝ කොයියෝය. කුන්දේරාය. ඔවුන්ගේ ආනුභාවයෙන් උත්තේජනය ලද එකා දෙන්නා සිංහල නවකතාව තුළ ද බෝවන්නට පටන්ගෙන තිබුණි. ගෙවුණු සියවසේ සහෘදයාගේ මනෝභාවයෙන් තරමක් දුරස්ථ වුවද මේ නව ප‍්‍රවණතාව කිසිසේත්ම නිශේධනාත්මක නොවීය. ජීවිතයේ අබිරහස අනාවරණය කරන්නට එතෙක් අනුදත් රීතීන් හි පැවැති අසමර්ථකම හෝ සීමාවන් නිසා නව විලාසයක් සොයා ගන්නට යුගය විසින් බලකෙරී තිබුණි. ඇතිවෙමින් තිබුණු මේ නව ප‍්‍රවණතාව විසින් නියෝජනය කළේ මේ නව විලාසයයි.

‘කොට තුවක්කු’ ද සමගින් ප‍්‍රියන්ත ලියනගේ නවකතාකරණයට ප‍්‍රවේශ වන්නේ මෙකී නව විලාසය පසුබිම් කර ගනිමිනි. ඒ පසුබිම පිළිබදව වන ප‍්‍රමාණවත් දැන හදුනා ගැනීමකින් තොරව කොට තුවක්කු කියවා ගැනීමට යාම නවකතාකරුවාට කරන සාහසික අසාධාරණයක් වන්නේය.

ජීවිතය සරල රේඛාවක් නොවේ. එය බොහෝ විට විධිමත් ද නොවේ. නවකතාවක් සිය වියමන තුළ ජීවන විවරණයක යෙදෙන්නේ නම්, ඊට ද සරල රේඛීය මාවතක ගමන් කරන්නට පුළුවන් වන්නේ නැත. එහි නිරූපිත පාත‍්‍රවර්ගයාද පූර්වයෙන් සූදානම් කරන ලද විධිමත් ස්භාවයකින් කටයුතු කරන්නේ නැත. යථාර්ථවාදී රීතිය ඉක්ම වූ වෙනත් විලාසයක් තුළ සිය කෘතිය විකාශනය කිරීමට නිර්මාණකරුවාට සිදුවන්නේ මෙන්න මේ අභියෝගය ජය ගැනීමටය. නොඑසේව ආකෘතික සරඹ පාන්නට නොවේ.

ප‍්‍රියන්ත ලියනගේ සිය මාවත පාදා ගන්නේ ආදරයේ ‘ආදරයේ දේශපාලනය’ නම් පරාදීසය කරා යන්නටය. ඒ වූ කලී සුපිපි කුසුමින් සුසැදි සුව පහසු මාවතක් නොවේ. සමබිමක්, නිම්නයක් නොවේ. දකුණේ තරුණ කැරැුලි දෙකකින්ද, උතුරේ විමුක්ති අරගලයකින් ද ලේ වැකි මාවතකි. ඒ මාවතේ මින් පෙර ඇවිද ගිය වුන් එක්කෝ මුග්ධ ලිබරල් භාවයටත්, නැත්නම් ව්‍යාජ වාමවාදයටත් ඇද වැටීමෙන් සිය ගමන කෙළවර කර ගත්හ. ඒ දෙඅන්තයම යෝජනා කරන්නේ ආදරය කිරීමටය. සිය ජීවිතයේ වැඩිම වසර ගණනාවක් පූර්ණකාලීන දේශපාලන ක‍්‍රියාධරයකු ලෙසින් කැප කොට ඇති ප‍්‍රියන්ත, කොයියම්ම හෝ ප‍්‍රපංචයක් නිර්දේශපාලනික නොවන වග හොඳින් ම දනී. එනිසාම ඔහු යෝජනා කරන නව මාවත, එනම් ආදරයේ දේශපාලනය, අදේශපාලනික තක්කඩිකමක තැනට පිරිහෙලන්නට ද ඔහුට වුවමනා නොවේ. කෘතිය තුළ සිය දෘෂ්ටිවාදී නිරවුල්වත්, සීරුමාරුවටත් තනා ගන්නට ඔහුට නව්‍ය ආකෘතියක් හමුවේ.
ආකෘතියේ සංකීර්ණත්වය යනු කතුවරයාගේ අහංකාර පරවශ ශිල්පීය හරඹයක් නොව, අනතර්ගතයේ වන ඉහත කී දේශපාලන වියවුලමය. එහෙත් ඒ වනාහී ලිහාගත නොහී විපිලසරව බලා සිටින්නට සිදු වන වර්ගයේ සදාතනික වියවුලක් නොවේ.

බෝවේලාවෙන්ම ලිහෙන්නට නියමිත වියවුලකි. එතෙක් ආකෘතික විධික‍්‍රම සමගින් මදක් ඔට්ටු වීමට පාඨකයාට සිදු වේ. එසේ ඔට්ටු වීම පිළිබඳ කේන්තියක් හෝ මහන්සියක් ඇත්නම්, එකී විඩාව සන්සිඳුවාලන කෙම්බිම නවකතාව මධ්‍යයේ දී අපට හමු වේ. ඒ වනාහි කෘතියට පසුබිම් වන සුළුගුණේ තරම්ම සීතල, සුන්දර, නිසංසල, කලාපයක් නොවීම වෙනකකි.
කන්ද උඩරට පවන්‍යාට උතුරින් ආ ඩර්බාත්, දකුණින් ආ හේමන්තත් එකම යුගයකදී හමුුවීම වනාහි හුදු අහම්බයකට එහා ගිය දේශපාලනික අනිවාර්යතාවකි. ඒ අනිවාර්යතාව හමුවේ ව්‍යාකූලත්වයට ඇද වැටීම වෙනුවට පවන්‍යා වඩාම ප‍්‍රායෝගික පිළිතුර සොයා ගනී. එය වඩාත් ආදරණීය පිළිතුර ද වන්නේය.

”ඩර්බයියෙ ඔයා කියන්නෙ මේ සමාජෙ නැති තරම් හොඳ ගතිගුණ තියෙන විරල මනුස්සයෙක්. ඔයා දැනුත් හිතමින් ඉන්නෙ මගෙ යහපත ගැන, මගේ සතුට වෙනුවෙන් ඔයාගෙ සතුට, ඔයාගෙ ආදරය සඟවගෙන පහුබහින එක ගැන. ඇයි මිනිස්සු එහෙම කරන්න ඕනෙ. ජීවිත කැප කරන්න ලෑස්ති මිනිහෙකුට ආදරේ බෙදාගන්න බැරි වෙයි කියලා ඇයි ඔයා හිතන්නෙ? අපිට බැයිද තුන්දෙනාටම එක පවුලක් හැටියට ජීවත් වෙන්න. ඉරිසියාවෙන් තොර ආදරයක්, සම්භෝගය, අපිට ඒක කළමනාකරණය කරගන්න බැරිද? දෙන්නගෙන් එක්කෙනෙකුට හරි බැරි නම් දැන් කෙළින් කියන්න. එතකොට දෙන්නවම අතහරින්න මට පුළුවන්. එක්කෙනෙක් අතහරිනවට වඩා ඒක මට පහසුවක්…”
(208 පිටුව)

අනුරාගයට ආනන්දයක් ද ආදරයට අධ්‍යාත්මයක් ද පවතින වග අපි දනිමු. එහෙත් මෙහි සඳහන් අනුරාගයටත්, ආදරයටත් ඇත්තේ වෙනම පැහැයකි. පෙර නොවූ පැහැයකි. නිර්දේශපාලනික නොවීමට පරිස්සම් වීම විසින් ඒ පැහැය තීරණය කොට තිබෙන වග පැහැදිලිය. ඒ වනාහි තත්කාලීන, සමාජ, ආර්ථික, සංස්කෘතික හැඩතල තුළින් මුදානොගත් ආදරයකි.මිනිස් සන්තානයේ සදාතනික සදාතනික අබිරහස් පරිශ‍්‍රයට බැල්ම ලන්නට කවුළුවක් විවිර කර ගත හැකි ආදරයකි. ඒ ආදරය තවත් විශේෂ වන්නේ අනාදරයේ මාවත් හි පැටලෙන මංමුලා වැල් මොන තරම් විෂකුරුද යන්න අවබෝධ වූ විටය.

අනාදරය පිළිබඳ ප‍්‍රියන්තගේ දැක්ම වනාහි නවකතාවට එළඹිය හැකි තවත් ප‍්‍රවේශ මාර්ගයක් පමණක් නොවේ. එය ලාංකේය රැඩිකල් වාමාංශය පිළිබඳවද කතාවකි. ධනවාදය ලාභයට මිස ආදරයට වටිනාකම් ප‍්‍රදානය කරන්නේ නැත. ධනවාදය සුණු විසුණු කොට දමා සමාජවාදී සමාජයක් ගොඩනැගිය යුතුව ඇත්තේ එනිසාය. එසේ ගොඩනගන්නට වෙර දරන්නන් වනාහි ආදරණීය සටන් සගයන්ය යන්න යෞවන හදවත් තුළ මුල් බැසගත් රොමෑන්තික විශ්වාසයකි. එහෙත් ප‍්‍රියන්ත සිය කොට තුවක්කුවෙන් ඒ රොමෑන්තිකයට නිල බලා ගිනි බිඳී.
හේමන්තට වෙඩි තබන්නේ ව්‍යාපාරයේම ‘අමුත්තන්ය.’ ”මං ආවෙ අපේ රැුකවල් මැද්දෙන්. මට ඉස්සරහින් සතුරු හමුදාව හෝ පොලීසිය හිටියෙ නෑ”
(207 පිටුව)

ආදරණීය මිනිසුනට ඒ සා සැහැසි විය හැකිද? දේවභාෂිතයක් සේ අදහමින් සිටින යම් මතවාදයක් ප‍්‍රශ්න කළ පමණින් සගයෙකුට වෙඩි තබන්නට හැකිද? ද්‍රෝහියකු සේ හංවඩු ගසා පිටුවහල් කරන්නට හැකිද? ඒ භාවිතාව නිසාමදෝ වාමාංශය නිරතුරුවම මිතුරන් අහිමි කර ගනිමින් සිටිති. ද්‍රෝහීන්ගේ ගොඩ වැඩි වෙමින් තිබේ. මෙන්න මේ අනාදරය පිළිබ`ද සියුම් ධ්වනියක් නවකතාව පුරාම රාව නංවනු පෙනේ. එය සැහැල්ලූවෙන් බැහැර කළ නොහැක්කේ ලේඛකයාට එකී රැඩිකල් වාමාංශයේ දිගුකාලීන අත්දැකීම් ඇති බැවිනි. ඔහු ව්‍යාපාරයේම කොටසක් මිස ඉන් පිටස්තර නොවේ. නවකතාවේ පේළි අතර මතුවන අතිශයින්ම දේශපාලනික ධ්වනියට වම විසින් ප‍්‍රතිචාර දැක්විය යුතුව තිබේ.

සිය කුළුඳුල් ප‍්‍රයත්නයෙන්ම නවකතාව විෂයෙහි ප‍්‍රියන්ත විදහා පෙන්වන ප‍්‍රතිභාව බැහැර කළ හැක්කක් නොවේ. දේශපාලනිකය කියවීමට රිසි අයෙකුට අවශ්‍ය දේශපාලනයත්, කතන්දරයේ සෞන්දර්යය විදින්නට රිසි අයෙකුට ඒ සෞන්දර්යයත් සමබරව තබා ගැනීමේ අභියෝගයට කතුවරයා මුහුණ පා තිබේ. වඩාත්ම වැදගත් දේ නම් කතන්දරයේ සෞන්දර්යට දේශපාලනය යට නොකිරීමය. කතුවරයාට වියමනෙන් ගලවාගත් දෘෂ්ටිවාදී මුගුරක් නැත. ඔහු අත ඇත්තේ කතාවකි. කතාවේ චරිත දී ඇති තත්වයන් යටතේ නිරූපණය වේ. දෘෂ්ටිවාදයට වේදිකාව හැදෙන්නේ නිරූපණය තුළමය. එය කිසිසේත්ම නවකතාවෙන් මතුකෙරෙන රසයට හානි කිරීමක් නොව ඊට වඩා විශ්වීය හරයක් එකතු කිරීමකි. ඒ හරයේ නියෝජිතවරිය පවන්‍යාය.

”මං කැමතියි ජාතිය කියන්න බැරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි මගේ බඬේ ඉපදෙනවට. එතකොට ඒ ළමය කවදහරි ආදරය කරද්දි ජාතිය ගැන හිත රිදිල හරි, ජාතිය ගැන බය වෙලා හරි එයාට එයාගෙ ආදරෙන් පැනල යන්න වෙන එකක් නෑ. මට ඕනෙ මගෙ කුසෙන් ජාතියක් නැති ජන්මයක් දෙන්න. ජාතීන්ට ඉරි ගහල බෙදුණු ලෝකෙක ජාතියක් නැති මිනිස් දරුවෙක් වදන්න.”

පාඨකයා අනන්‍ය වන්නේ පවන්‍යාගෙ දැක්ම සමගිනි. පවන්‍යාගේ ආදරය සමගිනි. කතුවරයාද සියලූ ශිල්ප දක්වන්නේ එකී ආදරයට මෙහෙ කිරීමේ අරමුණෙනි. අපට සතුටු වීමට අවශ්‍ය තරම් හේතු තිබේ. පළමුවැන්න නම්, දේශපාලනිකය බරින් සහ ගැඹුරින් සිය නිර්මාණකරණයට පාදක කරගන්නා නවකතාකරුවෙක් බිහිවී තිබීම ගැනය. වඩාත්ම ආකර්ශනීය දෙවන හේතුවයි. මේ නවකතාකරුවා නවකතාවේ සීමා මායිම් පිළිබඳ දූපතෙන් ඔබ්බට කල්පනා කරයි. විශ්ව සාහිත්‍යයේ හරය සිංහල නවකතාවට මුහු කරගත හැක්කේ එබඳු සිතීමක් ඇතුළේ සක‍්‍රීය වන්නෙකුට පමණි.

– නලින්ද සංජීව ලියනගේ –