தமிழ்
English
Contact
Tuesday 14th July 2020    
අලුතින් 150,000ක් බඳවා ගෙන පොදු සෞඛ්‍ය සේවය පුළුල් කරනු - ජර්මන් කොමියුනිස්ට් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අලුතින් 150,000ක් බඳවා ගෙන පොදු සෞඛ්‍ය සේවය පුළුල් කරනු – ජර්මන් කොමියුනිස්ට් පක්‍ෂය ආණ්ඩුවෙන් ඉල්ලයි



කොරෝනා වසංගතයට මුහුණදීමේදී පසුගිය කාලය පුරා ධනපති ආණ්ඩු පොදු සෞඛ්‍ය සේවය දුර්වල කිරීම බරපතල ගැටළුවක් වී ඇති බව ජර්මන් මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්‍ෂය පවසයි. පවත්නා තත්වයට මුහුණ දීම සඳහාවන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ පිළිබඳ කරුණු දක්වා තිබේ.

ඉතාලිය මෙන්ම ජර්මනියේද මෑත පොදු සෞඛ්‍ය සේවයට ප්‍රතිපාදන අඩුකිරීම නිසා පොදු රෝහල් ගණනාවක් වැසී ගිය බවත් මේ මොහොතේ මෙම තත්වයට මුහුණටදීමට ජර්මනිය තුල සෞඛ්‍ය කාර්ය මණ්ඩල මෙන්ම සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බවත් ඔවුන් පෙන්වා දී ඇත. ඒ අනුව වහාම 150000ක් අලුතින් සෞඛ්‍ය සේවයට බඳවාගත යුතු බවත් පවත්නා සෞඛ්‍ය පහසුකම් සහ කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන් දෙගුණ කරන ලෙසද කොමියුනිස්ට් පක්ෂය ඉල්ලා සිටී.

මෙම ව්‍යසනය හමුවේ තම ලාභ වැඩිකරගැනීමට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ සමාගම් උත්සහාකරන බවත් ඒ සඳහා ජනතාව බිලිනොදෙන ලෙසද එහි සඳහන් කර තිබේ. එමෙන්ම කම්කරුවන්ගේ ජීවිත අවධානම නොතකා පවත්වාගෙන යන අත්‍යවශ්‍ය නොවන ක්ෂේත්‍රවල කටයුතු වහා නතර කරන ලෙසත් මේ මොහොතේ ධනවාදයට ලාභය මූලික වුවත් වඩාත් මූලික විය යුත්තේ ජනතාවගේ ජීවිත බවත් කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දී ඇත.

ජර්මන් කොමියුනිස්ට් පක්ෂය වැඩිදුරටත් පවසා ඇත්තේ තම පක්‍ෂය හා සම්බන්ධ තරුණ ලීගය “ජනතාව වෙනුවෙන් සේවය” නැමති තේමාව සමග ස්වෙච්ඡා කටයුතු වලට යොමුව ඇතිබවද “තනිව බේරීම” කිසිදු රටකට කල නොහැකි මෙම තත්ත්වය ධනවාදයේ නොහැකියාව හොඳින්ම නිරූපණය කරන්නක් බවත් සාමූහික ප්‍රයත්නයකින් වත්මන් අභියෝගය ජයගැනීමට පෙලගැසිය යුත්තේ සමාජවාදයේ තර්කික අවශ්‍යතාව මතුකරමින් බවයි.