தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගන්නත් පාරට බැහැලා සටන් කරන්න වෙනවා - පුබුදු ජයගොඩ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැක ගන්නත් පාරට බැහැලා සටන් කරන්න වෙනවා – පුබුදු ජයගොඩ



පවතින අවම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඒ අන්දමින්ම ආරක්ෂා කරගැනීමට පවා ජනතාවට විදි බැස සටන් කිරීමට සිදුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
දේශපාලන බලපෑම් නිසා යම් යම් රාජ්‍ය ආයතන ස්වාධීනව පවත්වාගෙන යාමට නිලධාරින් බලවත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බවද රනිල් වික්‍රමසිංහ ආරක්ෂා කිරීම ප්‍රජාතන්ත්‍රවාදය රැකීමක් බවද යනුවෙන් විවිධ අදහස් ප්‍රකාශ කළ සමාජ ක්‍රියාකාකරින්ට මේ වනවිට සිදුවෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සම්බන්ධව පිළිතුරු දීමට වගකීමක් ඇති බවද එම පක්ෂය අවධාරනය කරයි.
මේ බව ප්‍රකාශ කෙරුණේ පෙ.ස.ප. අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ විසින් අද(25) පෙ.ස.ප. ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය. බොගවන්තලාව වතු කම්කරු රැලියට එහෙිව දේශපාලන මැර තර්ජනය, අධිකරණයෙන් තහනම් නියෝග ගැනීම, රත්ගම තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් මරා පුලුස්සා ඇති බවට චෝදනා මතු වීම සහ දේශපාලන පක්ෂ, වෘත්තිය සමිති, විරෝධතා මර්දනය කිරීමේ නීති සම්මත කිරීමේ උත්සාහය සම්බන්ධව මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ විය. පෙ.ස.ප. අධ්‍යාපන ලේකම්වරයා විසින් පළ කළ අදහස් සංක්ෂිප්තයක් මෙසේය.

“වතුකම්කරු දෛනික මූලික වැටුප රු. 1000ක් කිරීම ඇතුළු ඉල්ලීම් වෙනුවෙන් ‘1000 ව්‍යාපාරය’ විසින් පෙබරවාරි 25 පැවැත්වීමට නියමිත වූ රැස්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පැනවීම, දේශපාලන මැරයන් විසින් තර්ජන කිරීම විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුව ඇති තර්ජනය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අපගේ අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

මෙම ප්‍රසිද්ධ රැස්වීමට පෙර වතු කම්කරු ජනතාව ඇතුළු ප්‍රදේශවාසින් දැනුවත් කිරීම සදහා ‘1000 ව්‍යාපාරය’ විසින් බොගවන්තලාවේ පූර්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එම කටයුතු කරමින් පෙබරවාරි 23 වැනිදා බොගවන්තලාව නගරයේ පත්‍රිකා බෙදමින් සිටි ‘1000 ව්‍යාපාරයේ’ ක්‍රියාකාරිකයන් පිරිසකට ඇමති දිගම්බරම්ගේ සහ කොළඹින් ගෙනගිය එක්සත් ජාතික පක්ෂයේ මැර පිරිසක් විසින් තර්ජනය කරමින් බාධා පමුණුවා ඇත. එම තර්ජන සිදුකරන අවස්ථාවේ පොලිස් නිලධාරින් කිසිදු ක්‍රියාමාර්ග නොගෙන බලා සිටි අතර මැරයන් විසින් අසභ්‍ය වචනයෙන් බැණවැදීමේ සිට බෝම්බ ගසා මරා දමන බවට තර්ජනය කිරීම දක්වා අයිතිවාසිකම් කඩ කිරීමක හා සාමය උල්ලංඝනය කිරීමේ යෙදී සිටියදී පොලිසිය කිසිවක් නොකර බලා සිටින ලදී. 1977 ජේ. ආර්. ජයවර්ධන විසින් ආරම්භ කළ මැර දේශපාලන භාවිතය අද වනවිට ජේ.ආර්.ගේ බෑනා වන රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරියට ගෙන යමින් සිටී.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලනය මැර දේශපාලනය මුල් කරගෙන පවත්වාගෙන යන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරු මත්ද්‍රව්‍ය ගන්නා බව ප්‍රකාශ කළ රන්ජන් රාමනායක මන්ත්‍රිවරයාට කණ පැලෙන්න ගහන බවට එ.ජා.ප. මන්ත්‍රි හරින් ප්‍රනාන්දු ප්‍රකාශ කර තිබිණි. මේ නිසා පිටස්තර සමාජයට පමණක් නොව, පක්ෂය තුළ පවා ප්‍රශ්න විසදන්නේ මැරකම්වලින් බව පැහැදිලි වේ. මැරකමින් ප්‍රචණ්ඩත්වයෙන් දේශපාලනය කිරීමේ ක්‍රමයක් එක්සත් ජාතික පක්ෂයේ අදත් භාවිතවන ක්‍රමය බව පැහැදිලි වේ. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මැරයන්ට සාමකාමි වෙන්න කියන්න අපි යන්නෙ නෑ. මොකද ඒ අයගෙ මැර ඉතිහාසය අපි දන්නවා. නමුත් මේ මැරයන්ට චරිත සහතික දෙන්න ගිය සිවිල් සමාජ ක්‍රියාකාරින් ගැන අපට ප්‍රශ්නයක් තියෙනවා. පසුගිය දේශපාලන අර්බුදය වෙලාවෙ වුණත් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඉදිරියට ඇවිත් රනිල් වික්‍රමසිංහ ලිබරල් මහත්තයෙක්, එක්සත් ජාතික පක්ෂය නීතිගරුක පාලනයක් ගෙනයනවා කියලා චරිත සහිතක දෙන්න පටන් ගත්තා. අපි අවධාරණය කරන්නෙ රනිල් වික්‍රමසිංහලා කවුද කියලා දන්න නිසා දැන් ඒ අයට චරිත සහතික ලියපු ඒ සිවිල් සමාජ ක්‍රියාකාරින් මේ සිදුවීම් සම්බන්ධව තමන්ගේ අදහස් කියන්න ඕන.

ඒ වගේම පසුගිය ජනවාරි 23වැනිදා රත්ගම පොලිස් වසමේ පදිංචිව සිටි රශින් චින්තක සහ මංජුල කුමාර කියන පුද්ගලයන් දෙන්නෙක් පැහැරගෙන ගිහින් ඝාතනය කළ සිදුවීමක් සම්බන්ධයෙන් දකුනු පළාතේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මේ පුද්ගලයන් පැහැරගෙන ගිහින් මරලා පිච්චුවා, ලේ තැවරුනු නිල ඇදුම් පවා පිච්චුවා කියලා පාපෝච්චාරණය කර තිබෙනවා. මේ නිසා පොලිසියට විශේස බලයක් ලැබිලා තිබෙනවා මිනිසුන් පැහැරගෙන යන්න, වධ දෙන්න සහ මරා දමන්න හැකි පරිසරයක් ඇති වී තිබෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන ලෙස නිල වශයෙන් හදුව්න තැන්වලට අමතරව වධකාගාර ලෙස නිවාස භාවිත කරන බවත් හෙලි වී තිබෙනවා. අපි පොලිස්පතිගෙන් සහ පොලිස් කොමිසමෙන් අහනවා මේ වගේ තවත් පොලිස් වධකාගාර කීයක් තියෙනවද කියලා. අනිවාර්යයෙන් එවැනි තැන් තිබෙනවා. මිනිස්සු පැහැරගෙන යනවා, වද දෙනවා, මරා දමනවා. එක කාලයක තිබුනේ පැහැරගෙන ගිහින් වද දීලා මරලා බඩ කපලා මුහුදට දානවා මෝරුන්ට කන්න. පැහැරගෙන ගිය මිනිහගෙ මරනය ගැන කිසිම හෝඩුවාවක් ඉතිරි වෙන්නෙ නෑ. දැන් තියෙන්නෙ පැහැරගෙන ගියාට පස්සෙ වද දීලා මරලා කැලේට ගිහින් පුච්චන ක්‍රමයක්. මේ සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් නිලධාරින් උපරිම දඩුවමකට ලක්කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාහකයා කියනවා. නමුත් දැන් කරලා තියෙන්නෙ ඒ අය ස්ථාන මාරුකරලා විතරයි. දකුනු පලාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙ අනිකුත් නිලධාරින් දැනගෙන හිටියා. ඔවුන් සම්බන්ධයෙන් ගන්න පියවර මොකක්ද? සාමාන්‍ය කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන විදිය සහ පොලිසියෙ කෙනෙක් මිනිමැරුමකට චෝදනාවට ලක් වෙනකොට සදුවන දේ වෙනස මේකයි.

ඒ වගේම පහුගිය කාලෙ පොලිසියට දේශපාලන අතපෙවීම් නිසා පොලිසිය දූෂිතයි කියලා ඒකට පිළියම් හැටියට ස්වාධීන කොමිෂන් හදලා ඒක නිසා පොලිසිය උපරිම නිවැරදි ලෙස කටයුතු කරනවා, උපරිම ලෙස ස්වාධිනයි කියලා කියපු කතාව අපට මතක් වෙනවා. 19 වැනි වයවස්ථා සංශෝධනය යටතේ ඒ ස්වාධීන කොමිෂන් කතාව කියන වෙලාවෙ අපේ පක්සයෙ මන්ත්‍රිවරයා අජිත් කුමාර සහෝදරයා ඒ සංශෝධනයට පක්ෂව හෝ විපක්ෂව චන්දය දුන්නෙ නෑ. ඒ සම්බන්ධව අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළා. අපි ඒ සහෝධනයට විරුද්ද නෑ, මොකද දේශපාලනඥයන් වෙත ඇති බලය අඩු කිරීම නිසා පොලිසියට යම් නිදහසක් ඇති වෙන බවට අදහසක් තිබුණ නිසා. නමුත් ඒ බලය නිලධාරි පැලැන්තියකට කේන්ද්‍ර කරන එක ගැන අපට විවේචනයක් තිබුණ නිසා අපි පක්ෂව චන්දය දුන්නෙත් නෑ. පොලිසිය දේශපාලකයන්ගෙන් නිදහස්කරලා නිලධාරි පැලැන්තියකට බලය මාරු කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා කියලා බොරුවක් ඒ වෙලාවෙ මවලා ඒක තමයි ප්‍රචාරය කළේ. පහුගිය කාලෙ නිලධාරි ශක්තිමත් කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙන බව කියලා ගෙන ගිය ක්‍රියාවලිය නිසා පොලිසියට හැකි වෙලා තියෙනවා පහළ පන්තික ජනතාව මත කෘර මර්දනයක් පටවන්න. නිලධාරි පැළැන්තියකට බලය මාරු කළාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙනවා කියලා කෑ ගහපු, කුමන්ත්‍රණ පරාදයි, 19 සම්මතයි, දැන් ඔක්කොම ස්වාධිනයි කියලා පෝස්ටර් ගහපු අය මේ ව්‍යසනයට වගකියන්න ඕන. ස්වාධින නෑ කිව්වෙ දේශපාලකයන් නිසානෙ. දැන් දේශපාලකයො නෙවෙයි නිලධාරියො මැදිහත් වුණාම ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වෙලාද? මේක ඇඹිලිපිටියෙදිත් පොලිසිය විසින් ඝාතනයක් සිදු කළා. දැන් ඒ ගොඩනැගිල්ලෙන් පහළට තල්ලු කරලා මරලා දාපු තරුනයා සම්බන්ධ පොලිස් කොමිසමේ ක්‍රියාකලාපය නින්දා සහගතයි. පොලිස් මාධය ප්‍රකාහකයා නීතිඥයෙක් හැටියට අධිකරණයට යැව්වා පොලිස් කොමිසම. ඒ කියන්නෙ පොලිස් කොමිසම නිලධාරින්ගෙ පැත්තෙ, ජනතාවගේ පැත්තෙ නෙවෙයි.

ඊළගට ප්‍රශ්නයක් හැටියට තියෙන්නෙ ‘1000 ව්‍යාපාරය’ රැස්වීමට අදාළව ගත්ත අධිකරණ නියෝගය. පාර්ශ්ව දෙකක් එකම දවසේ රැස්වීම් දෙකක් තියන කොට එක් පාර්ශ්වයකට විතරක් වාරණ නියෝග නිකුත් කරන්නෙ කොහොමද? ඒ කියන්නෙ බොගවන්තලාවෙදි රනිල් වික්‍රමසිංහට රැස්වීම් තියන්න පුලුවන්, වතු කම්කරුවන්ට රැස්වීම් තියන්න බෑ. රනිල් වික්‍රමසිංහ රැස්වීම් තියද්දි සාමය කඩ වෙන්නෙත් නෑ, මොකවත් වෙන්නෙ නෑ. හැබැයි වතු කම්කරුවන් රැස්වීමක් තියලා අපට රු. 1000ක වැටුප දෙන්න කිව්වොත් ගොඩක් ප්‍රශ්න ඇති වෙනවලු. ඒ අය අධිකරණ නියෝග නිකුත් කළේ ඒ නිසා. ඒ කියන්නෙ මේ අයට කන්න ඕන උණාම කබරගොයා තලගොයා වෙනවා. නීතිය මේ විදියට තමන් කැමති ආකාරයට අර්ථ දක්වනවා.

මැරයන් සහ නීතිය කැමති විදියට අර්ථකතනය කළ අය විසින් කඩාකප්පල් කළත් 1000 ව්‍යාපාරය දැන් මාර්තු 3 වැනිදා ඒ රැස්වීම පැවැත්වීමට තිරණය කර තිබෙනවා. ඒ නිසා මාර්තු 3 වැනිදා රනිල් බොගවන්තලාවට එන්න පා, මොකද එයා එනකොට වෙන කාටවත් රැස්වීම් තියන්න බැරි වෙනවා. රනිල් වික්‍රමසිංහලා ප්‍රජාතන්ත්‍රවාදින් කියපු අයටත් අපි කියනවා, රනිල් වික්‍රමසිංහට සුදුහුණු ගාපු අයටත් කියනවා මාර්තු 3 ඇවිත් මැර ප්‍රහාරවලින් වතු කම්කරුවන් ආරක්ෂා කරන්න කියලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ රනිල් වික්‍රමසිංහ රකින එක කියලා හිතන අය දිගටම ඒක කරගෙන යන්න, නමුත් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන අය ඉන්නවා නම් එදාට වතු කම්කරුවන්ගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්න කියලා අපි ආරාධනා කරනවා.

මේ අතරෙ අපිට දැනගන්න තියෙනවා ‘ප්‍රති ත්‍රස්ත පනත’ මේ වනවිට පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවට ඇවිල්ලා. 2018 ඔක්තෝබර් සිදුවීමට පෙරාතුව මේ පනත ගෙනාවම අපි පක්ෂයක් ලෙස අධිකරණය ඉදිරියට ගියා. අදිකරණය ඒ සම්බන්ධව කළ නිගමනය කථානායකට බාර දී තිබෙනවා. අපි දන්නෙ නෑ එහි කුමක් තියෙනවද කියලා. නමුත් ඒ පනත තුළ වෘත්තිය සමිති කටයුතු, දේශපාලන විවේචන, විරෝධතා ආදිය ත්‍රස්තවාදි ක්‍රියා ලෙස නම්කරන්නත්, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස විරෝධය පළ කරන්න ව්‍යවස්ථානුකූලව ඇති අයිතිය භාවිත කරන අය ත්‍රස්තවාදින් ලෙස නම්කර මර්දනය කරන්න හැකි වගන්ති අඩංගු කර තිබුණා.

ඒ අනුව දැන් නිලධාරින්ට බලය දීමෙන් ජනතාව මරා දමන්න බලය අරගෙන තිබෙනවා. ඇඹිලිපිටියෙදි, රත්/මදි අපි දැක්කෙ ඒක. දේශපාලකයන් අත නීතිය නැටවීමෙන් කම්කරුවන් මර්දනය කිරීමට මැර බලය භාවිතා කරන්න සහ හිතු හිතු හැටියට තර්ජන කරන්න අවස්ථාව ලබාගන්නවා. බොගවන්තලාවෙදි පත්‍රිකා බෙදද්දි මැරයන් හරහා අපි දැක්කෙ ඒකයි. ඒ වගේම නීතිය කැමති කැමති ආකාරයට ජනතාව මර්දනය කරන්න හැකි ආකාරයේ එකක් බවත් ඒ නීති අපි වෙනුවෙන් අපේ කැමැත්තෙන් පනවන ඒවා නෙවෙයි, පාලකයන්ට අවශ්‍ය විධියට හදන කබරගොයා තලගොයා කරන්න පුලුවන් ජනතාව මර්දනය සදහාම ඇති නීති බවත් අපි දැන් වටහා ගත යුතුයි. මේ වනවිට අන්තිම අයුක්ති සහගත ප්‍රති ත්‍රස්ත නීතියක් සම්මත කරන්න යනවා ලබන මාසෙදි. නමුත් දැන් විධායක ජනාධිපති ක්‍රමය පාර්ලිමේන්තුවට දුන්නම සේරම හරි යනවා කියලා සංවාදයක් අරගෙන යනවා. නමුත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට අදාළ එකක් නෙවෙයි, මහින්ද රාජපක්ෂට බලයට එන්න කපන පාරක් ඒක. රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණය දිනන්න බැරි නම් කොහොමද රට පාලනය කරන්නෙ කියන ප්‍රශ්නයට ඒක අදාළයි. ඒ නිසා දැන් ජනතාවට ඇති ඇත්තම ප්‍රශ්නය ජනතාවගේ අයිතිවාසිකම් අහිමි කරන ප්‍රහ්නයයි. දේශපාලකයොවත් නිලධාරියෝවත් ඒ ජනතා අයිතිවාසිකම් ආරක්ෂා නොකරන බවට දැන් ඕන තරම් සාක්ෂි තියෙනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් රත්ගම ජනතාව පාරට බැහැලා විරෝධය දක්වනවා.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත් කෙනෙක් මරා දැමිය නොහැකියි කියලා සම්මතයක් ආවෙ 20 වැනි සියවසේදි කියලා අපේ අදහස. නමුත් දැන් ඒ අයිතිය වෙනුවෙනුත්, අයිතිවාසිකම්වල අවමය බින්දුව වශයෙන් පවත්වාගෙන යන්නත් පාරට බැහැලා අරගල කරන්න සිදු වී තිබෙනවා. අලුත් යමක් දිනාගන්න එක පැත්තක තිබ්බත් පවතින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගන්නත් පාරට බහින් වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා, ගෙවල්වලට වෙලා ඉන්න එපා, මේ අවම අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න විරේධය පළ කරන්න පාරට එන්න, අපි ඒ විරෝධය ප්‍රකාශ කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් ජනතාව සමග අරගල කරන්න සූදානම්. අනෙක්තු ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවලින් අපි ඉල්ලා සිටිනවා මේ සීමාවන් ආරක්ෂා කරගන්නවත් එකට ඒකවී පුලුල් ජනතා අරගලයක් ආරම්බ කරන්න පෙළ ගැසෙන්න කියලා.”