Posted on 03.17.2021 by Chandana Sirimalwatte in උණුසුම් පුවත් with 0 Comments
ප්‍රවීණ අධ්යක්ෂවරයකු ලෙස සිනමාව මාධ්‍ය කරගත් අශෝක හඳගම වසර 31කට පසුව, නැවත සිය මුල් කලා මාධ්‍ය වෙත එනම් වේදිකා නාට්‍ය වෙත අවතීර්ණ වී ඇත.
ඔහුගේ නවතම නාට්‍ය නිර්මාණය ‘ඇන්ටික් කඩයක මරණයක්’ මාර්තු 19, 20 හා 21 තෙදින තුළ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී ප්‍රේක්ෂකයා වෙත පිරිනැමේ.
1985 වසරේදී ‘භූමිකා’ නිර්මාණයෙන් වේදිකාවට ප්‍රවේශ වූ මෙම වේදිකා නාට්‍යකරුවා, 1987 දී ‘හෙණ’ හා 1989 දී ‘මාඝාත’ වේදිකා නාට්‍ය නිර්මාණ බිහි කරමින් ප්‍රේක්ෂාගාරයට ඔහුටම ආවේණික දේශපාලනික නාට්‍ය සංවාදයක් ගෙන ආවේය.
පසුව ඔහු ටෙලි නාට්‍යකරණයටත් සිනමාවටත් අවතීර්ණ වූ අතර වේදිකා නාට්‍ය නිර්මාණයට තිබූ අවධානය අත්හැරියේද නැත. වරින්වර නාට්‍ය හා සිනමා උලෙලවල කාර්යභාරයක් ඉටු කළ හඳගම ප්රසාංගික කලා විනිසුරු මණ්ඩලවල ජූරි සභිකයකුද විය. කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ආරම්භ කිරීමේදී ඔහු පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය.
කලාත්ම නිර්මාණයන්හිදී පශ්චාත් නූතන තත්වය ලෙස දාර්ශනිකව කියැවෙන විශ්ලේෂණය හා අනන්‍ය ලෙස නිර්මාණ බිහිකිරීමට ඔහු උත්සාහ දරණ බව විචාරකයන් පෙන්වා දෙන කරුණකි. මූලික වශයෙන් වඩා යහපත් මනුෂ්‍ය ජීවිතයක් වෙනුවෙන් මානව ප්‍රේමය, රස වින්දනය හා විචාරාත්මක දැක්ම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඔහු සිය කලාත්මක හා විචාරාත්මක ශ්‍රමය දායක කර ඇති බව අවිවාදිතය.