தமிழ்
English
Contact
Thursday 2nd July 2020    
අසර්බයිජානයේ දී මියගිය සිසුවියන්ගේ සිරුරු ලංකාවට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

අසර්බයිජානයේ දී මියගිය සිසුවියන්ගේ සිරුරු ලංකාවට!



අසර්බයිජානයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබමින් සිටියදී නේවාසිකාගාරයේ ගින්නක් නිසා මියගිය ලාංකික ශිෂ්‍යාවන් තිදෙනාගේ සිරුරු ලංකාවට ගෙන්වා ගැනීම සඳහා කටයුතු සම්පාදනය කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ පවසයි.

අසර්බයිජානයේ, බාකු අගනුවර කැස්පියන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ලාංකික ශිෂ්‍යාවන් තිදෙනෙකු නැවතී සිටි නේවාසිකාගාරයේ පහත මාලයේ ගින්නක් හටගෙන ඇත. එහිදී හටගත් දුම ආඝ්‍රාණය වීමෙන් ඇති වූ ආසාත්මිකතාව හේතුවෙන් මෙම ශිෂ්‍යාවන් තිදෙනා රෝහල්ගත කර ඇති අතර එහිදී ඔවුන් මියගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ තවත් ශිෂ්‍යාවකි. කඩුවෙල සහ පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි මෙම ශිෂ්‍යාවන් වයස අවුරුදු 21, 23 සහ 25 හැවිරිදි වියේ පසුවන බවද වාර්තාවේ.
අසර්බයිජානයේ ලංකා තානාපති කාර්යාලයක් නොමැති අතර ටෙහෙරාන්හි පිහිටි තානාපති කාර්යාල නිලධාරීන් විසින් එම රජය සමඟ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බව ඔහු සඳහන් කළේය.

සෝවියට් සමාජවාදී සමුහාණ්ඩුවට අයත්ව තිබුනු අසර්බයිජානයේ සෝවියට් රාජ්‍ය පද්ධතිය බිඳවැටීමෙන් පසුව 1991 පිහිටුවන ලද මෙම විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයකි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නවාතැන් පහසුකම් හා ජීවිත ආරක්ෂාව දුර්වල මට්ටමෙන් පවත්වාගෙන යමින් අධික ලාභ ඉපදවීම එම පෞද්ගලික විශ්වවිද්‍යාලවල අරමුණය.