Posted on 07.02.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි අහ්නාෆ් ජසීම් කවියාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කර දෙන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාග කිරීම නීතිපති දෙපාර්තමේන්තුවේ සහභාගිත්වයක් නොමැති වීමෙන් කල් දමා තිබේ.
අහ්නාෆ් ජසීම් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සංජය විල්සන් ජයසේකර පවසන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව හෝ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් ජුලි 1 බ්‍රහස්පතින්දා අධිකරණයට පැමිනි නොසිටි නිසා විනිසුරුවරයා නඩුව ජුලි 06දා දක්වා කල් තැබු බවයි.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය (CTID) විසින් අහ්නාෆ් ජසීම් අත් අඩංගුවට ගන්නා ලද්දේ 2017 දී ලියා පලකළ නවරසම් (நவரசம்) දෙමළ පද්‍ය සංග්‍රහය විසින් අන්තවාදී මතවාද ප්‍රචාරය කරන බවට චෝදනා කරමිනි.
වසරකට වැඩි කාලයක් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාශය මගින් රඳවාගෙන සිටි ඔහු පසුගිය මාසයේ නීතිඥයන්ටවත් නොදන්වා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් කර තිබුණි.
අත්අඩංගුවේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙනුවෙන් ඔහුගේ නීතිඥයන් විසින්, ආරක්ෂක ලේකම්, පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ නීතිපතිට එරෙහිව, (අංක SC FRA 114/2021 දරණ) මූලික අයිතිවාසිකම් නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබුනේ අප්‍රේල් 16 දිනයි.
අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගනු ලැබීම, රඳවා තබා ගැනීමට සහ වධහිංසා පැමිණවීමට භාජනය නොවීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඇතුළු ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පෙන්වා දෙන පෙත්සම මගින් ඉල්ලා තිබුනේ අහ්නාෆ් ජසීම් නිදහස් කොට රුපියල් කෝටි දහයක වන්දි ඇතුළු සහන කිහිපයක් ලබා දෙන ලෙසයි.