Posted on 08.05.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අවුරුද්දක් පුරා චෝදනා හෝ නඩු විභාගයක් නැතිව රඳවාගෙන සිටින කවියෙකු වන අහ්නාෆ් ජසීම් අහ්නාෆ් ජසීම් මුණගැසීම සඳහා ඔහුගේ නීතිඥයන්ට අවසර ලබාදෙන්නැයි ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
පොලීසිය පවසන්නේ ඔහු තම කාව්‍ය නිර්මාණ හරහා අන්තවාදයට ආධාර අනුබල ලබාදී ඇති බවයි.
අධිකරණයකට ඉදිරිපත් නොකර රැඳවුම් භාරයේ තබාගෙන සිටින තමාව නිදහස් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහු ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබිණි. ඒ මුර්දු ප්‍රනාන්දු, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් පෙන්වා දුන්නේ පසුගිය මැයි මාසයෙන් පසුව සිය සේවාදායකයා අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති බවයි. ඒ අනුව සිය සේවාදායකයා හමුවීම සඳහා කිසිදු අවස්ථාවක් හිමිව නොමැති බවත්, එය පෙත්සමේ ඉදිරි කටයුතු සඳහා බාධාවක් බවත් නීතිඥවරුන් පෙන්වා දී තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සඳහන් කළේ රඳවා ගැනීමේ නියෝගය අවසන්වීමෙන් පසුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි. සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව නීතිපතිවරයා විසින් සීමිත විරෝධතා ගොනුකර ඇති බවද ඔහු පවසා ඇත.
කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අනාෆ් ජසීම් හමුවීම සඳහා නීතිඥවරුන්ට අවස්ථාව ලබාදෙන ලෙසට බන්ධනාගාර නිළධාරීන් වෙත නියෝග කර ඇත. පෙත්සම වැඩිදුර සලකා බැලීම සැප්තැම්බර් 08 වැනිදා දක්වා කල්තබා තිබේ.