தமிழ்
English
Contact
Sunday 31st May 2020    
ආගමික ඒකරාශීවීම් නිසා ඉන්දියාව පුරා කොරෝනා තවාන් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආගමික ඒකරාශීවීම් නිසා ඉන්දියාව පුරා කොරෝනා තවාන්



මිනිසුන් අසරණභාවයට පත්වීම තුළ ආගමික විශ්වාසයන් පසු පස අතාර්කිකව ඇදීයාම දැකිය හැකි දෙයක් වුවද මේ මොහොතේ ආගමික ඒකරාශී වීම් ලොව පුරා කොරෝනා වසංගතය ව්‍යාප්ත කරන අනතුර වැඩි කරමින් තිබේ. පසුගිය 24 වනදා රටපුරා ඇඳිරි නීතිය පනවමින් ඉන්දියාව දින 21ට වසා තැබීමට එරට ආණ්ඩුව පියවර ගනු ලැබීය. මෙම හදිසි තීරණයත් සමග තම ගම් බිම්වලට යාමට නොහැකිව අතරමං වූ සංක්‍රමණික කම්කරුවන්ට පොලිසිය යොදා පහර දීම ඉන්දියාවේ සුලබ දසුනක් විය.

එසේ වුවද ආගමික ඇදහිලිවලට ඉහළ නැඹුරුවක් ඇති එරට තවදුරටත් ආගමික ඒකරාශී වීම් ආණ්ඩුවේ අනුග්‍රහය සහිතව පැවැත්වේ. පාලක භාරතීය ජනතා පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයට සම්බන්ධ හින්දු ජාතිවාදී සංවිධාන පසුගිය 16 වනදා පටන් වසංගතය හමුවේ දේව ආශිර්වාදය ලබා ගැනීමට යැයි පවසමින් ගව මුත්‍රා පානය කරන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටී. එසේම සුප්‍රකට අයෝධ්‍යාවේ රාම් නවාමි පූජාව ඇඳිරි නීතිය පැනවූ 24 වන දින රාත්‍රියේ දේශපාලකයන්ගේද සහභාගීත්වයෙන් පැවැත්වුණි.

පසුගිය 12 වනදා පටන් හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබියදීම තිරුපති දේවාලයේ 17,18 දෙදින විශාල පිරිස් සහභාගීත්වයෙන් දේව පූජා පැවැත්වුණි. මේ අතර දිල්ලියේ නිසාමුදීන් පල්ලියේ දෙස් විදෙස් බැතිමතුන් දහස් ගණනක් සහභාගීවූ තබ්ලික් ඊ ජමාත් නම් ඉස්ලාම් නිකායේ උත්සවයක් පසුගිය 13 සිට 15 දක්වා පැවැත්වුණි. මේ සඳහා ලාංකිකයන් පිරිසක්ද සහභාගීවූ බව වාර්තාවේ. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව හෝ මධ්‍යම ආණ්ඩුව මෙම ඒකරාශීවීම වැලැක්වීමට කටයුතු නොකල අතර මෙ වන විට මෙම උත්සවයට සහභාගීවූ 10 දෙනකු මියගොස් ඇති අතර 300ක් පමණ නිරෝධායනයට යොමුකර තිබේ.

 මෙම නිසාමුදීන් පල්ලියේ සිදුවීම ඉන්දියාව තුල බරපතල ආනදෝලනයක් ඇති කර තිබෙන අතර ආණ්ඩුව එය තම නොහැකියාවන් වසා ගැනීමට මුස්ලිම් විරෝධයක් සඳහා පාවිච්චි කරමින් සිටී. ආණ්ඩුවේ වගකීම් විරහිතභාවය වෙනතකට යොමු කරමින් මෑතකදී ආණ්ඩු පක්ෂ සංධානය පරාජයට පත්වූ දිල්ලි සහ ජාර්කාන්ද් ප්‍රාන්තව අහිමි වු ජනපදනම ජාතිවාදී ලෙස යලි ගොඩනගා ගැනීමට මෙම සිදුවීම පාවිච්චි කිරීම ඉන්දීය මාක්ස් ලෙනින්වාදී කමියුනිස්ට් පක්‍ෂය පිලිකුලෙන් යුතුව හෙලා දකී. එසේම එරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල අත්‍යවශ්‍ය පහසුකම් නොමැතිව මේ වන විට බරපතල අනතුරකට මුහුණපා සිටින බවත් ආණ්ඩුව මෙම වසංගතයට මුහුණදීමට සූදානම්වනු වෙනුවට පෙබරවාරියේ එරට සංචාරයකල එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිගැනීමට  වැඩි අවධානයක් යොමුකල බවටද මාක්ස් ලෙනින්වාදී කමියුනිස්ට් පක්‍ෂය චෝදනා කරයි.