தமிழ்
English
Contact
Monday 10th December 2018    
ආචාර්ය හිගය මැද දිරි දීමනා කපයි, විභාග නවතී -රජරට වෛද්‍ය පීඨය අවුලක! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආචාර්ය හිගය මැද දිරි දීමනා කපයි, විභාග නවතී -රජරට වෛද්‍ය පීඨය අවුලක!



රජරට විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ට ගෙවු දිරිදීමනා කප්පාදුව නිසා ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබුණු විභාග පවා ඇනහිටින මට්ටමේ අර්බුදයක් හට ගෙන ඇත.

සිසුන් 1100ක් පමණ වෛද්‍ය අධ්‍යාපනය ලබන රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය අධ්‍යයන කටයුතු සඳහා මහාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් සහ කතිකාචාර්යවරුන් 110 දෙනකු සිටිය යුතුවූවත් දැනට සිටින්නේ 37 දෙනකු පමණකි. මේ තත්වය තුළ පුරප්පාඩු නොතකා ආචාර්ය මහාචාර්යවරු ශිෂ්‍ය අධ්‍යයන කටයුතුවලට වෙහෙස වෙති. 2014 වර්ෂයේ සිට රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා ඇතුළු මහාචාර්යවරුන්ට ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා කථිකාචාර්යවරුන්ට ගෙවු රඳවා ගැනීමේ දිරිදීමනාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට නතර කිරීමට රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ගෙන තිබෙන තීරණයට විරෝධය පළ කරමින් එම පිරිස මෙතෙක් ඔවුන් දැරු ධුරවලින් ඉවත් වී ඇත.

මහාචාර්යවරයකුට රුපියල් ලක්‍ෂයක් ද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකුට රුපියල් අසූදහසක් හා කථිකාචාර්යවරයෙකුට රුපියල් පනස් දහසක් ද වශයෙන් මාසිකව ගෙවූ දිරි දීමනාව නතර කිරීම නිසා, ඔවුන් ඉදිරියේ දී රජරට වෛද්‍ය පීඨය හැරයාමට ඉඩ ඇතැයි කී මහාචාර්ය සිරිබද්ධන මේ නිසා අසීරුතාවයට පත්වන්නේ පීඨයේ වෛද්‍ය සිසුන් බව පැවැසීය. මේ වන විට  අවශ්‍ය ආචාර්යවරුන් ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් සිටින තත්ත්වයක් යටතේ වුවද දැනට සේවය කරන මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්වරුන් සහ කථිකාචාර්යවරුන් උනන්දුවෙන් ඉගැන්වීමේ කටයුතුවල නිරතවීමට මෙතෙක් ඔවුන්ට ලැබුණු දිරි දීමනාව ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවැසීය. මෙම ගැටලුව පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ සමග ද සාකච්ඡා කළ නමුත් විසඳුමක් නොලැබුණු නිසා මෙතෙක් දැරූ පීඨාධිපතිධුරයෙන් ඉවත්වූ බවද, තමා සමග වෛද්‍ය පීඨයේ සියලු දෙපාර්තමේන්තුවල අංශ ප්‍රධානීන් ද ඉවත් වූ බවද මහාචාර්ය සිරිබද්ධන පවසයි.

රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජයවර්ධන මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත පැවසුවේ එස්.බී. දිසානාය‍ක උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරද්දී 2014 වසරේ සිට වෛද්‍ය පීඨයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සඳහා මෙම දිරිදීමනාව ගෙවා ඇත්තේ “කට වචනයට” බවය. මෑතක දී මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කළ චක්‍රලේඛයක් නිසා එම දිරිදීමනාව පසුගිය මාසයේ සිට නැවැත්වීමට සිදුවූ බව කී උපකුලපතිවරයා, එය නැවැත්වීමට පෙර එම දීමනා ගෙවීම සඳහා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට තමන් උත්සාහ කළද එය සාර්ථක නොවූ බවද පැවැසීය.