தமிழ்
English
Contact
Tuesday 29th November 2022    
ආණ්ඩුව පෙරලන්න කඩා ගන්න තියෙන්නෙ මන්ත්‍රීවරු 11 දෙනයි! - ගම්මන්පිල | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව පෙරලන්න කඩා ගන්න තියෙන්නෙ මන්ත්‍රීවරු 11 දෙනයි! – ගම්මන්පිල



(TopNews) ආණ්ඩුවේ මන්ත්‍රීවරු 156 දෙනකු සිටි නමුත් මේ වනවිට තිබෙන තත්වය අනුව, ආණ්ඩුව පෙරලන්නට අවශ්‍ය වන්නේ මන්ත්‍රීවරු 11 දෙනකු පමණක් බව උදය ගම්මන්පිල පවසා ඇත.

ඔහු මෙසේ පවසා ඇත්තේ ආණ්ඩුවේ පක්ෂ 11 ක නායකයන් මල්වතු අස්ගිරි නායක හිමිවරු හමුවීමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

ගෝඨාභය-මහින්ද ආණ්ඩුව බිහි කිරීමේදී ප්‍රමුඛ කාර්යයක් ඉටු කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල ඇතුළු වත්මන් ආණ්ඩුවේ ඇමති ධුර දැරු පිරිසක් ආණ්ඩුව ජනතාවගේ අප්‍රසාදයට පත්වීමේ ප්‍රතිපලයක් ලෙස මේ වනවිට කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් තමන්ද නියෝජනය කරන ආණ්ඩුව විවේචනය කරති. වසර දෙකක් තිස්සේ රටේ සමාජ ආර්ථික පිරිහීමට දායක වූ දේශපාලන තීරණවලට අත එසවූ ඔවුන් ගිලෙන නැවෙන් පැන යන මීයන් ලෙසද ජනතාව අතර චෝදනාවට ලක්ව සිටී. ජනතාව පවතින දුෂ්කරතා සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් විසඳුම් හා සහන ඉල්ලා සිටියදී මෙම පක්ෂ 11 කණ්ඩායම ආණ්ඩුව පෙරලීමේ අරමුණක් දක්වමින් විපක්ෂයේ ජනතා ආකර්ෂනය දුර්වල කිරීමේ උත්සාහයක් ගනිමින් සිටින බවටද ජනතාව අතර මතයක් පවතී.

පසුගිය දා මල්වතු අස්ගිරි නායක හිමිවරු හමුවී කළ සාකච්ඡාවේදී ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමන් එම හිමිවරුන් වෙත කරුණු දැක්වූ බව හිටපු ඇමතිවරයා, මාධ්‍යවේදීන්ට පවසා ඇත. ඔහු එහිදී කියා සිටියේ තම පක්ෂ 11 සතුව මන්ත්‍රවරු 30 දෙනකු සිටින බවද දැනටමත් සුසිල් ප්‍රේමජයන්ත්, විජේදාස රාජපක්ෂ හා නිමල් ලන්සා යන ඇමතිවරු ආණ්ඩුවෙන් වෙන්ව සිටින තත්වය තුළ ආණ්ඩුවේ 156 මන්ත්‍රි ආසන ගණන 112 දක්වා අඩු කිරීමට අවශ්‍ය වන්නේ මන්ත්‍රිවරු 11 දෙනකු පමණක් බවය.

කෙසේවෙතත්, ආණ්ඩුව පෙරලීමේ බලය තමන් සතු බව අඟවමින් ඔහු ඇත්තටම පවසන්නේ තමන් ආණ්ඩුවේ තීරණාත්මක සාධකයක් බැවින් ‘සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය හා අනෙකුත් විපක්ෂයේ පක්ෂ සියල්ලම එකතු වුවද ආණ්ඩුව පෙරලීමේ හැකියාවක් නැති බවය. ව්‍යාජ ලෙස ආණ්ඩු විරෝධයක් මවමින් ආණ්ඩුව ආරක්ෂා කිරීමේ නාටකයක් රඟ දක්වමින් ජනතාවගේ විරෝධය නැවත වටයකින් ආණ්ඩුව ආරක්ෂා කිරීම දෙසට සංවිධානය කරන බවට පක්ෂ 11 කණ්ඩායමට ඇති චෝදනාව සරල ලෙස බැහැර කළ නොහැකි වන්නේ ඒ නිසාය.