தமிழ்
English
Contact
Friday 25th September 2020    
ආණ්ඩුව සංඛ්‍යාලේඛන සෙල්ලමක - කෝවිඩ්19 දූෂිතයන්ට ඡන්ද ඉල්ලමක්? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආණ්ඩුව සංඛ්‍යාලේඛන සෙල්ලමක – කෝවිඩ්19 දූෂිතයන්ට ඡන්ද ඉල්ලමක්?



කෝවිඩ්19 වෛරස ආසාදනය නිසා හටගෙන ඇති හදිසි තත්වය ලාභදායක ලෙස ආණ්ඩුවේ ඉදිරි මැතිවරණයට වාසිදායක ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත්කරගෙන ඇති බවට චෝදනා නැගේ.

මෙහිදී අවධානයට ලක්වූ අවස්ථාවක් ලෙස, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කොරෝනා ආසාදනය සම්බන්ධයෙන් සිදුකළ ‘ජාතිය ඇමතීමේ කතාව’ සැළකිය හැක. ජනාධිපතිවරයා විසින් කොරෝනා වසංගතය සම්බන්ධ සමාජ අවධානය පහසු ලෙසින් පාවිච්චි කරමින්, මෙම වසංගත අවදානම තුරන් කිරීමට නම් සිය පාලනය ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් අවශ්‍ය බව අවධාරනය කිරීම අවධානයට ලක් විය. එසේම ජනාධිපතිවරයාට සමාන්තරව අගමැති මහින්ද රාජපක්ෂ කටයුතු කළේද සිය දේශපාලන ජීවිතයේ අත්දැකීම් ජනතාව මුහුණ දෙන අභියෝග හඳුනාගෙන පරිණත දේශපාලකයකු පියවර ගන්නා ආකාරයට නොවන බවට චෝදනා නැගී ඇත. අවශ්‍ය තරම් සැපයුම් ඇති බවත් යුද්ධය ජයගත් තමන්ගේ නායකත්වය යටතේ වසංගතය එතරම් අබියෝගයක් නොමැති බවත් අගමැතිවරයා මාධ්‍ය හමුවේ වගාඩම්බර කතා පැවැත්වීය. නායකයන් කුමක් ප්‍රකාශ කළද දැන් පෙනී යන ආකාරයට ඔවුන් සැබවින්ම කර ඇත්තේ ජනතාවගෙන් අවම මට්ටමේ ජීවනෝපායක් සහිත ස්ථරයට කිසිදු හව්හරණක් නැති ආකාරයෙන් තීරණ ගැනීමය. ජනාධිපති හා අගමැති විසින් සිදුකළ දේ අනුව යමින්, කොරෝනා19 ආසාදනය පදනම් කරගෙන විවිධ දේශපාලන නායකයන් සහ ඇතැම් ව්‍යාපාරිකයන් සිය ප්‍රතිරූපය වර්ධනය කරගැනීමේ ව්‍යාපෘති දියත්කර ඇත. කල්දමා ඇති මහමැතිවරණය වෙනුවෙන් කොරෝනා වෛරස ආසාදනය ආශිර්වාදයක් කරගැනීමේ දේශපාලන ක්‍රියාකාරිත්වයක් පොදුවේ දක්නට ඇති බව විවේචකයන්ගේ අදහසයි. දූෂිත දේශපාලකයන් විසින් තමන් සතු ධනය පාවිච්චි කරමින් ජනතාව ආකර්ෂණය කරගැනීමේ විවිධ සහන වයාපෘති ආරම්භකර ඇති අතර ආණ්ඩුවේ වගකීම පැත්තෙන් සහන ක්‍රියාත්මක නොවීම නිසා ඔවුන්ට කෝවිඩ්19 ඡන්ද ඉල්ලමක් වී ඇත.

විශේෂයෙන්, කොවිඩ්19 වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන්ට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයින පුරා රෝහල් 30ක් සූදානම් කර ඇති බවට ආණ්ඩුව ගෙන යන ප්‍රචාරය සම්බන්ධ ගැටලුවක් ඇත. හඳුනා ගනු ලබන රෝගීන්ට අදාළ ප්‍රදේශයේ නම්කරන ලද රෝහල්වලදී වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාවක් නැත. මුල්ලේරියාව රෝහලට යවන්නට සිදුවන අතර එවැනි තත්වයකදී රෝගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් වඩාත් දුෂ්කරතාවන්ට පත් වේ.

කොරෝනා ආසාදනය සම්බන්ධ ආණ්ඩුව ගත් මුල් පියවරේ සිට අද දක්වාම රෝගීන් විධිමත්ව හඳුනාගැනීමේ තාක්ෂණය නොමැතිව රෝහල් නම් කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රෝහල් කාර්ය මණ්ඩල කැපවී ක්‍රියාකාරි වුවද වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යවශ්‍ය භෞතික පහසුකම් අවම තත්වයක් පවතින අතර මැතිවරණ ආසන්නයේ ආණ්ඩුවේ ප්‍රතිරූපය වර්ධනය කරගැනීමට ආණ්ඩුව සංඛ්‍යාලේඛන සෙල්ලමක යෙදී සිටී. රෝගීන් ඇතුළත්කර ගෙන කොළඹ වසංගත රෝග රෝහලට එවන්නට නම් රෝහල් ගණනක් නම් කිරීමේ අර්ථයක් නොමැති බව වෛද්‍යවරු පවසති.

අවම වශයෙන් රෝහල් කාර්යමණ්ඩල සම්බන්ධ ප්‍රවාහන ඇතුලු අනෙකුත් පහසුකම් වෙනුවෙන් ආණ්ඩුව නිසි ක්‍රමවේද සකස්කර නොමැතිව ඇඳිරි නීතිය පැනවූ බවට විවේචන එල්ල වී ඇත. නිසි සැලසුමකින් තොරව, ජනතාව ස්වයං නිරෝධායනයට යොමු කිරීමේදී අවම ආදායම් මට්ටම් සහිත එදිනෙදා ජීවන මාර්ග සහිත ජනයා මහත් දුෂ්කරතාවන්ට ගොදුරු වී ඇත. මේ වනවිට ඇතැම් සහන ක්‍රියාත්මක කිරීමේ අවධානයක් යොමුව තිබෙන නමුත් ආණ්ඩුව විසින් මේ ආකාරයේ ක්ෂනිත තීන්දු ගැනීමේදී අමතක කෙරෙන පීඩිතයන් සම්බන්ධ ගැටලුව අනෙකුත් ජනතාවගේ අවධානයෙන් ගිලිහී යන තැනකට පත්ව ඇත.