தமிழ்
English
Contact
Sunday 28th February 2021    
ඇමතිවරුන් මාධ්‍ය හරහා විවේචනයකර තනතුරු වෙනසකට බැසිල්ගෙන් සැලැස්මක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරුන් මාධ්‍ය හරහා විවේචනයකර තනතුරු වෙනසකට බැසිල්ගෙන් සැලැස්මක්!



ගෝඨාභය-මහින්ද ආණ්ඩුව විසින් සැලැසුම් සහතතව බලය තහවුරු කරගැනීමේ අවශ්‍යතාව මත ඇමති සංශෝධනයකට සූදානම් වෙමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට ඉතාමත් කෙටි කාලයකදී ආණ්ඩුව ජනතා අප්‍රසාදයට පත්වීමේ හේතුව මත ඒ තත්වය ජනාධිපතිවරයාගේ අඩුවක් නොව, ඇතැම් ඇමතිවරුන් ගෙන ගිය ක්‍රියාමාර්ගවල ගැටලුවක් ලෙස පැහැදිලි කිරීමේ මාධ්‍ය මෙහෙයුමක්ද ඊට අයත්ය. මේ ආකාරයට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල හා වෙනත් ඉලක්ක කළ ඇමතිවරුන්ට සියුම් ලෙස චෝදනා ගොඩ නගමින් ආණ්ඩුවේ ඉහළ නායකත්වය නිවැරදි බවට මතයක් ගෙනයාමට මෙම පියවර සැලසුම්කර ඇති බවද දැනගන්නට ඇත. මහමැතිවරණයෙන් මාස කිහිපයක් තුළ ජනාධිපතිවරයා අසමත් නායකයකු ලෙස විපක්ෂය ගෙන ගිය (Sir Fail) ප්‍රචාරය, රට තුළ තදින් තහවුරු වී ඇති බවට ලැබී ඇති වාර්තා පදනම් කරගෙන මෙම සැලැස්ම යෝජනා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ විසිනි.

ඉදිරි කාලයේ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදුවීමට නියමිත බව Lanka Lead News වාර්තා කර ඇත. පසුගිය කාලය පුරා ප්‍රබල මහජන විරෝධයක් එල්ල වූ අධිකරණ අමාත්‍යය ධූරය සහ වරාය අමාත්‍යය ධූරය ඇතුළු තවත් ප්‍රබල ඇමති තනතුරු රැසක් සංශෝධනය වීමට නියමිත බව ද එම පුවත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ. (මෙම Lanka Lead News වෙබ් අඩවිය ආණ්ඩුව සම්බන්ධ ‘ජාතික සංවිධාන එකමුතුව’ විසින් පවත්වාගෙන යන්නක් වන අතර බැසිල් රාජපක්ෂ විසින් ආණ්ඩුව තුළ ගෙන යන කාර්යභාරය විවේචනය කිරීමටද මෙම වෙබ් අඩවිය පසුගිය කාලයේ විවිධ ප්‍රවෘත්ති පළකර ඇත.)

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් සූදානම් කෙරෙන මෙම කැබිනට් සංශෝධනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ වෙතද රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවනු ඇතැයි අපේක්ෂිතය. මෙම කැබිනට් සංශෝධනයට ඉඩ ලබාදීම පිනිස ඇමතිවරුන් මේ දක්වා කරන ලද කාර්යභාරය ඇගයීමට අවධානය යොමුකර ඇත.

පසුගිය කාලයේ ඇතැම් රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති මගින් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ දුර්වලකම් අනාවරණයවන ප්‍රවෘත්ති කිහිපයක් ප්‍රචාරය කෙරුණේද මෙම අරමුණ ඇතිව බව අපගේ ආරංචි මාර්ග අනාවරණය කරයි. ඇමති තනතුරු සහ භාරදුන් විෂයන් වෙනස් කිරීමේ අවශ්‍යතා මත ඔවුන්ට පවරා තිබු වගකීම් ඉටු කිරීම පිළිබඳ තුළ සැහීමකට පත්විය නොහැකි බවට මතයක් ආණ්ඩුවේ ප්‍රචාරක අංශ හරහා ගෙනයාමේ සැලැස්මක් තිබුණු බව මේ අනුව පැහැදිලි වේ.