தமிழ்
English
Contact
Friday 15th November 2019    
ඇමසන් ගින්න අතරතුර මහා බාධක කොරල් පරය මරණය අබියස! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමසන් ගින්න අතරතුර මහා බාධක කොරල් පරය මරණය අබියස!



පසුගිය සති කිහිපයක් ඇමසන් සදාහරිත තෙත් වනාන්තරය ගින්නෙන් විනාශය කරා යන බවට ලෝකය කම්පා වූ නමුත් පසුගිය වසර දසකයක් තිස්සේ ලොව දැවැන්තම ජීවියා ලෙස සැළකෙන ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් පරය රහසේම මිය යමින් තිබේ.

මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව පසුගිය දිනවල ඇතැම් පරිසරවේදීන් හා විද්‍යාඥයන් විවිධ ආකාරයෙන් ලොවට දැනුම් දෙනු ලැබීය. එහෙත් එය තවත් පරිසර ගවේශකයන්, විද්‍යාඥයන් විසින් ප්‍රතික්ෂේප කරමින් කොරල් පරයේ දැවැන්ත විනාශයක් සිදුවෙමින් තිබියදී පවා පැවැත්ම තවදුරටත් ආරක්ෂා කිරීමට හැකි බවට කරුණු දක්වා ඇත. වසර මිලියන 25 පැරණි බව සැළකෙන මහා බාධක පරය දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් දිගින් යුතු කොරල්පරයක් විය. ලොව සිටින තල්මසුන් විශේෂ ගණනාවක් අතුරින් විශේෂ 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආශ්‍රිතව බවත් මෙම කොරල් පරය වැනසී මළ සොහොනක් බවට පත් වීමෙන් ඒ ආශ්‍රිතව වසන තල්මසුන් ඇතුළු කිසිදු ජීවියකුට එය වාසස්ථානයක් නොවනු ඇති බවත් සාගර විද්‍යාඥයෝ පෙන්වා දෙති. එනම්, කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුගන්නට නියමිතය. මෙහි වැදගත්කම කොතරම්ද යත් බ්‍රිතාන්‍යයේ වර්ග ප්‍රමාණයටත් වැඩි වර්ග කි.මි. 346,000ක භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටී. මහා බාධක කොරල්පරය, සඳේ සිට දැකිය හැකි මිහිමත වූ එකම ජිවියා බවටත් හඳුන්වා තිබිණි.

මහාබාධක කොරල්පරය වැනසී එහි ජීවින් මිය ගියහොත් ඊට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් බව නිසැකය. නිශ්චිතව කිවහොත් කාර්මික රාජ්‍යයන් විසින් නිකුත් කරන විෂ වායු නිසා සිදුවන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය හේතුවෙන් මෙම අපරාධය සිදුකරමින් සිටී. වසර මිලියන 25ක් සජීවිව පැවති සෑම මොහොතකම වැඩෙමින් මිය යමින් පැවති මේ අපූරු ජීවියා අනතුරුදායක ඉරණමකට ඇද දැමුවේ තවත් වසර ගණනාවකින් මිනිස් වර්ගයාට මිහිතලයම අහිතකර තැනක් බවට පත්කරන්නට නියමිත ලෝක සමාජ ආර්ථික රටාව එනම් නවලිබරල් ධනවාදී ක්‍රමය බව දැනට නිවේදනය කළ හැකිය. එහෙත් ඕස්ට්‍රේලියානු බලධාරින් සිය රාජ්‍යෙය් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමේ ප්‍රමුඛතාව යටතේ කොරල් පා දැවැන්තයා ආරක්ෂා කිරීමට යත්න දරමින් සිටී.

මහා බාධක කොරල් පරය අභ්‍යවකාශ ඡායාරූපයකින් පෙනෙන ආකාරය
මහා බාධක කොරල් පරයේ දැවැන්ත විහිදීම