தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ඇඹිලිපිටිය පොලිසිය සිදුකළ මිනීමැරුමට රජය මුදලින් වන්දි ගෙවයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඹිලිපිටිය පොලිසිය සිදුකළ මිනීමැරුමට රජය මුදලින් වන්දි ගෙවයි!



ඇඹිලිපිටිය පොලිසියේ පොලිස් නිලධාරින්ගේ ප්‍රහාරයෙන් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනී මුණසිංහට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (17) රජයට නියෝග කළේය.

2010 ජනවාරි 04 වනදා ඇඹිලිපිටිය නිවසක පැවති සාදයකට කඩාවැදුණු පොලිස් නිලධාරීන් පිරිසක් එක් දරු පියකුවන මියගිය තැනැත්තාට  පොලුවලින් පහරදී ගොඩනැඟිල්ලේ ඉහළ මාලයෙන් බිමට තල්ලු කර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබේ. මෙහිදී ඔහුව බිමට තල්ලු කර ඝාතනය කළ බවට මූලිකවම චෝදනා එල්ල වූයේ එවකට ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරීවරයාව සිටි ඩී. ඩබ්. ධර්මරත්නටය.  බරපතළ තුවාල බලා රෝහල්ගත කර සිටි සුමිත් ප්‍රසන්න දින තුනකට පසු මිය ගියේය.

ඒ වනවිටත් ගැබිණියකව සිටි සුමිත්ගේ බිරිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ අනාවරණය ආන්දෝලනයකට හේතු විය. ඇය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමෙන් පසුව ඇගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මියගිය තැනැත්තාගේ බිරිඳට වන්දි ගෙවන ලෙස රජයට නියෝග කළේය. ඊට අමතරව මෙම මරණයට වගකිවයුතු එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ඇතුළු සිවු දෙනකුට පෞද්ගලික මුදලින් රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් වන්දි මුදල් පෙත්සම්කාරියට ගෙවන ලෙසද නියෝග කෙරිණි.

මෙම සිද්ධියෙන් මියගිය සුමිත් ප්‍රසන්න නමැත්තාගේ බිරිඳ වන ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ පදිංචි තරංගා ලක්මාලි නැමැත්තිය විසින් ගොනුකර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස එවකට ඇඹිලිපිටිය පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති නිරෝෂාන් අබේකොන්න්, පොලිස් සැරයන් වසන්ත සුරවීර, පොලිස් කොස්තාපල්වරුන් වන හේවා සංගප්පුලිගේ චමින්ද, පුෂ්පකුමාර, ඇඹිලිපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක පීටර්, ප්‍රධාන පොලිස් පරීක්ෂක විජිත් කුමාර, ඇඹිලිපිටිය සහකාර පොලිස් අධිකාරි ආනන්ද සමරසේකර, පොලිස්පති, ඇඹිලිපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය උත්පලා ආටිගල සහ නීතිපති නම්කරනු ලැබ සිටිති. මෙම තීන්දුව එල්.ටී.බී. දෙහිදෙණිය, මුර්ඳු ප්‍රනාන්දු සහ එස්. තුරේරාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම සිදුවීම සිදුකළ පොලිසියේ නිලධාරින් වෙනුවෙන් රජය වන්දි ගෙවිය යුත්තේ ජනතාවගේ බදු මුදලිනි. ඒ අනුව මෙහි වරදකරුවන් ලෙස අවසන් වශයෙන් තීරණයවී ඇත්තේ බදුගෙවන ජනතාවය. මිනිමරන පොලිසියක් නඩත්තු කරමින් ඔවුන්ගෙන් නීතිය හා සාමය ආරක්ෂා කෙරෙතැයි අපේක්ෂා කරන ජනතාවට මෙසේ වන්දි ගෙවීමට සිදුවීම සරදම් සහගතය.