தமிழ்
English
Contact
Thursday 12th December 2019    
ඇයි මේ ජවිපෙ 19 වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක? | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇයි මේ ජවිපෙ 19 වෙනුවෙන් මරාගෙන මැරෙන සටනක?



නිමිත්ත
‘‘ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඇතුළුව නීතිමය ප‍්‍රතිසංස්කරණ ගණනාවක් සහිත 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම දින සියයේ වැඩපිළිවෙළේ් ප‍්‍රධාන අංගයක් වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පියවරකට අවශ්‍ය නීතිමය ප‍්‍රතිසංස්කරණ එම සංශෝධනය තුළ ඇතුළත් කර තිබුණා. විධායක ජනාධිපති ක්‍‍්‍රමයට අනුව එක් පුද්ගලයෙකු සතුවන අසීමිත විධායක බලතල 19වන සංශෝධනය හරහා විශාල ලෙස අඩුකිරීමට නියමිතව තිබෙනවා. ඇතැම් බලතල කිසිවෙකුටත් අයිති නොවන ආකාරයෙන් අහෝසිවී යනවා. ජනාධිපතිවරයාට හිමිව තිබූ පාර්ලිමේන්තුව විසුරුවීමේ බලය, ජනාධිපතිවරයා අධිකරණය හමුවට පැමිණවිය නොහැකි මුක්තිය වැනි බලතල අහෝසි වෙනවා. ඇතැම් බලතල ස්වාධීන කොමිෂන් සභාවලට පැවරෙනවා. අගවිනිසුරුවරයා, පොලිස්පතිවරයා, විගණකාධිපතිවරයා ඇතුළු තනතුරු පත්කිරීමේ බලය ස්වාධීන කොමිෂන් සභාවලට පැවරෙනවා. සෘජුවම ජනාධිපතිවරයා සතු වූ පොලීසියේ බඳවාගැනීම්, උසස්වීම්, මාරුකිරීම් බලතල කොමිෂන් සභාවලට පැවරෙනවා. ඇමතිවරුන් පත්කිරීම, අමාත්‍යාංශ ලේකම්වරු පත්කිරීම, වැනි බලතල අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට හිමි වෙනවා. සේනාධිනායකයා, රාජ්‍ය නායකයා වැනි ඇතැම් බලතල තව දුරටත් ජනාධිපතිවරයා සතුව පවතිනවා. මේ ආකාරයෙන් තනි පුද්ගලයෙකු සතු අසීමිත බලය 19 සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට, ස්වාධීන කොමිෂන් සභාවලට, කැබිනට් මණ්ඩලයට, අගමැතිවරයාට පැවරී තිබෙනවා.’’

අනුර කුමාර දිසානායක විසින් 2015 අප්‍රෙල් 23 දින පැවැත්වූ

මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස්

 

විධායක ජනාධිපති බලතල අහෝසි කළ යුතුය යන සාකච්ඡාවෙන් එළියට ආ ජවිපෙ දැන් අපට කියන්නේ 19 වෙනි සංශෝධනය සම්මත වූ විට ප්‍රජාතන්ත්‍රවාදයට අදාල ඔක්කොම හරියන බවය. 19 සම්මත කළාම විධායකයට අයත් අසීමිත බලතල විශාල ලෙස අඩුවන බව මොවුන්ගේ අදහසය.

තමන්ට 19ට පෙනී සිටීමට අවශ්‍ය නම් එය සිදුකළාට අපට ගැටළුවක් නැත. එහෙත් ඒ වෙනුවෙන් බොරු කීම සදාචාරාත්මක නැත. ජනාධිපතිව උසාවි ගෙනියන්න බැරි මුක්තිය මේ සංශෝධනයෙන් අහෝසි වන බව ජවිපෙ කියයි. මානව හිමිකම් නඩුවලදී නීතිපති හරහා ජනාධිපතිට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කියන වහෙන් හොරෝ වාක්‍යය හැරුණ විට ජනාධිපතිට එරෙහිව නඩු පැවරිය හැකි කොටින්ම ඔහුට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගත හැකි සංශෝධනයක් 19 තුළ අඩංගු නොවේ.

මෙතන සිද්ධ වෙන පැහැදිලි වෙනසක් තමයි අවුරුද්දකට පසු පාර්ලිමේන්තුව වැසුරවාහැරීමට තිබූ බලය වසර හතර හමාරක් දක්වා පස්සට දැමීම ඒක සාධනීය පියවරක්. ඒ ඇරුණම විශේෂ කතාවක් මෙතන නෑ. අගමැතිට පවරගන්න හදපු බලතලත් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණත් සමග ජනාධිපති අතටම ආයෙ ඇවිල්ලා. කොමිසන් සභා කියන්නේ වෙන කතාවක් මේවා හරියටම ප්‍රැක්ටිස් නොකර නිකන් කොමිනස්වලට ආවැඩීම වැරදියි. ධනවාදය පවතින්නේ විධායකය, පාර්ලිමේන්තුව මේ ඔක්කොම හවුල් වෙලා. දැන් ඒකට කොමිෂන් ටිකකුත් එනවා. මේ හැම එකක්ම කරන්නේ, සිස්ටම් එක පවත්වාගෙන යන එක. සිස්ටම් එකට ඕන තීන්දු තමයි මේවා ගන්නේ සිස්ටම් එක මේවා ගොඩනගන්නේ ඒකට. මාක්ස් කිසියම් යුගයක රජයන අදහස් වනාහි පාලක පන්තියේ අදහස් කියලා කිව්වේ මේකට. අපට නව ලිබරල් ආර්ථිකයෙන් නිදහස් වෙන්නේ නැතුව අරගෙන එන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. ඒ ආර්ථික උවමනා එපාකම් වෙනුවෙන් මේ ආයතන වැඩකරනවා. පාලකයන්ගේ කැමැත්ත තමයි ඒක.

ඉතිං මේ කතාව මගඇරලා, 19 සම්මත කරගන්න මරාගෙන මැරුණාට ඵලක් වෙනවාද කියලා අපි හිතන්න ඕන නේද?




Related News