தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ඇවන්ගාඩ් ගැන කපිතාන් උදය කොඩිතුවක්කු කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවන්ගාඩ් ගැන කපිතාන් උදය කොඩිතුවක්කු කියයි



කපිතාන් උදය කොඩිතුවක්කු දිසානායක ප‍්‍රශ්නගත ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගමේ ක‍්‍රියාන්විත අණදෙන නිලධාරියකු ලෙස ලංකාව තුළ මෙන්ම විදේශගතවද සේවය කළ විශ‍්‍රාමික හමුදා නිලධාරියෙකි.

ඇවන්ට්ගාඞ් සමාගම විසින් සිදු කළ බවට චෝදනා එල්ල වී ඇති අනීතික හා වංචනික ක‍්‍රියා රැුසක් ඔහු අනාවරණය කරයි.

ලක්ෂ දෙකක වැටුපක් පොරොන්දු වුණත් වැටුප් ගෙව්වේ සැප්තැම්බර් මාසයට විතරයි. ඉතුරු මාසවල වැටුප් දුන්නේ නෑ.
– කපිතාන් උදය කොඩිතුවක්කු

x ප‍්‍රධාන කාරණයට එන්න කලින් ඔබ හමුදාවෙන් ඉවත් වුණු හැටි සහ දේශපාලන පසුබිම ගැන පැහැදිලි කළොත්…

ති‍්‍රවිධ හමුදාවටම මූලික අයිතිවාසිකම් ගැටලූවක් තිබෙන බව මමයි හඳුන්වලා දුන්නේ. නීත්‍යනුකූලව හමුදාවෙන් ඉවත් වෙන්න හිතුවාම ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. තවත් අසාධාරණකම් කිහිපයක් සිදු වුණා. මට හිමි විය යුතු උසස්වීම් සහ වැටුප් වැඩිවීම් දුන්නේ නෑ. ඒ නිසා මම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට දැම්මා. ඒ අනුවයි ඉවත් වුණේ. ඉන් පස්සෙ තමයි යුද හමුදාවේ ගොඩක් අය මූලික අයිතිවාසිකම් නඩු පටන් ගත්තේ.

මම එක්සත් ජාතික පක්ෂයේ කඹුරුපිටිය ආසනයේ සම සංවිධායක විදියට වැඩ කළා. අපේ පවුලේ කවුරුවත් දේශපාලනයට සම්බන්ධ නෑ. වත්මන් අගමැතිතුමා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. ඊට පස්සේ පළාත් සභා මැතිවරණයේදී මට නාමයෝජනා ලැබුණා. ඊට පස්සේ සරත් ෆොන්සේකා මැතිතුමා ආවාම මම ඔහු එක්ක සම්බන්ධ වුණා. එතුමා මාව එතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස පත් කර ගත්තා. එතුමා වෙනුවෙන් හිරේ ගියා. මාස එකහමාරක් විතර සී.අයි.ඞී. එකේ අත්අඩංගුවේ හිටියා. අපට සෑහෙන්න වධ බන්ධනවලට ලක් වෙන්න සිද්ධ වුණා. අපට විරුද්ධව රජය පෙරළීමට කුමන්ත‍්‍රණය කිරීම, මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට උත්සාහ කිරීම සහ රාජ්‍ය විරෝධී ක‍්‍රියා සිදු කිරීම වගේ චෝදනා දාලා නඩු දැම්මා. ඒ නිසා සිරගත වෙන්න සිද්ධ වුණා.

x එතකොට ඔබ ගෝඨාභය රාජපක්ෂ සමඟ සම්බන්ධ වුණේ කොහොමද?

ඒක අවස්ථානුකූලව ගත්තු ක‍්‍රියාමාර්ගයක්. 2010දී මම පාර්ලිමේන්තුවට තරග කළා. ඔය ඉද්දී ගෝඨාභය, මහින්ද රාජපක්ෂ ඇතුළු රෙජීමය අපේ පස්සෙන් පන්නන්න ගත්තා. ඒ නිසා උපක‍්‍රමශීලි පියවරක් ලෙසයි සම්බන්ධ වුණේ. ඒ සම්බන්ධ වෙද්දී පොරොන්දු රාශියක් දුන්නා. නමුත් ඒවා ඉටු කළේ නෑ. ලැබුණේ මේක තමයි, ඇවන්ට්ගාඞ් මැරිටයිම් සමාගමේ ඉදිරි ක‍්‍රියාන්විත අණදෙන නිලධාරී ලෙස.

x ඇයි ඔබ ඇවන්ට්ගාඞ් සමාගම වංචනික සමාගමක් කියලා කියන්නේ?

මොකක් හරි සමාගමක රස්සාවක් දෙද්දී පත්වීම් ලියුමක් දෙන්න ඕන. නමුත් මේ සමාගමේ
එහෙම එකක් නෑ. සැලරි ෂීට් එකක් නෑ. ඊ.පී.එෆ්., ග‍්‍රැටිවිටි මොනවත් නෑ. මේකට සම්බන්ධ වුණාම තමයි දැන ගත්තේ මේක තනිකරම හොර, වංචනික එකක් කියලා. හොර ගුහාවක් කියලා. රටවල් 10ක පමණ මේ සමාගමේ ආයුධාගාර තිබෙනවා. මම ඒ ආයුධාගාර බාරව කටයුතු කළා. අපි හිතාගෙන හිටියේ මේක මහින්ද, ගෝඨාභය ඇතුළු රක්නා ලංකා ඇවන්ට්ගාඞ් සමගාමීව යන නිසා නීත්‍යනුකූල සමාගමක් කියලා. නමුත් පස්සේ තමයි දැන ගත්තේ මේක විධිමත්ව නොයන හොර ව්‍යාපාරයක් කියලා.

x ඔබ ලංකාව තුළද විදේශ රටවලද කටයුතු කළේ?

ඇත්තටම මම සම්බන්ධ වුණේ විදේශගත වෙන්න. නමුත් ලංකාව තුළ මාව තියාගෙන හිටියා මාස තුනක කාලයක්. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නියෝගයක් මත තමයි මම මේකට ගියේ. මම නිශ්ශංක සේනාධිපති හමුවුණා. වැටුප් කතා කළා. ලංකාවේ කටයුතු කරද්දී ලක්ෂ දෙකක වැටුපක් දෙන්න පොරොන්දු වුණා. පිටරට වැඩ කරද්දී ලක්ෂ පහක් මම ඉල්ලූවා. නමුත් ලක්ෂ තුනහමාරක් දෙන්නම් කිව්වා. මම ලංකාවේ 2012 ජූලි, අගෝස්තු, සැප්තැම්බර් මාසවල වැඩ කළා. නමුත් මට වැටුප් ගෙව්වේ සැප්තැම්බර් මාසයට විතරයි. ඉතුරු මාසවල වැටුප් දුන්නේ නෑ. ඔක්තෝබර් මාසයේ විදේශගත වෙන්න වුණා.

x කොහෙටද ගියේ…?

කෙන්යාවට. කෙන්යාවේ නයිරෝබිවලට ගිහින් එතැනින් මොම්බාසාවලට ගියා. නියාලි කියන ප‍්‍රදේශයේ තමයි වැඩ කළේ. මොම්බාසාවලින් කිලෝමීටර් 40ක් විතර දුර. අපට තිබුණේ මොම්බාසා වරායේ ඉඳලා නැව්වලට ආයුධ ගෙන යන්න, නැව්වලින් ගෙන එන ආයුධ නැවත වරායට අරගෙන එන්න වගේ දේවල්. නැවක් එනවා කියලා කොළඹින් දැනුම් දෙනවා. ඒ අනුව වැඩ කරනවා.

x වීසා ලැබුණු කි‍්‍රයාවලිය…?

ඇත්තටම මේක හොර වැඩක් කියලා කියන්න පුළුවන් තවත් එකක් තමයි ඒක. අපට ඒ රටවල පෞද්ගලික සමාගම්වලින් සංචාරයක් කරන්න කියලා ආරාධනා කරලා ලිපි එවනවා. ඊට පස්සේ අපි සංචාරක වීසාවලින් තමයි යන්නේ. මට ලියුම ආවේ ජැක් සීෆෝත් කියන සමාගමෙන්. මෙහෙන් යද්දිම කිව්වා කෙන්යාවෙදි ඇහුවොත් මොනවටද ආවේ කියලා සංචාරය කරන්න ආවා කියලා කියන්න කියලා. සංචාරක වීසාවලින් ගිහින් රැුකියා කරන්න තහනම්. රැුකියා කරන්න වෙනම වීසා ගන්න ඕන. නමුත් අපට සිද්ධ වුණේ එහේ ගිහින් ඒ රටවල පොලිසියෙන්, ආගමන විගමන නිලධාරීන්ගෙන් හැංගි හැංගි වැඩ කරන්න. අහු වුණොත් අත්අඩංගුවට ගන්නවා. එහෙම වැඩ කරද්දී මිය ගියොත්, අනතුරකට ලක් වුණොත් මොකද කරන්නේ…? අපි අසරණ වෙනවා. මේක ජාත්‍යන්තරව පිළිගත් සංවිධානයක් නම් එහෙම කරන්න අවශ්‍ය නෑ. හැංගිමුත්තං සෙල්ලමක් කළේ. එහෙම තමයි ඇවන්ට් මැරිටයිම් එකයි රක්නා ලංකා එකයි වැඩ කළේ.

x ඔබ කියන්නේ නීත්‍යනුකූල නොවන ආකාරයට කටයුතු කළා කියලද?

ඔව්. සංචාරක වීසාවලින් ගිහිල්ලා කිසිසේත්ම වැඩ කරන්න බෑ. ඒක නීති විරෝධීයි. ඒ වගේම ඒ රටවල්වල කිසිම නීතියක් නෑ. සල්ලිවලට ඕනම දෙයක් කරන්න පුළුවන්. මේ නීති විරෝධී විදියට වැඩ කිරීම නිසා අතරමැදියන්ට, තැරැුව්කරුවන්ට විශාල වශයෙන් සල්ලි ගෙවන්න වුණා. නිශ්ශංක සේනාධිපතිගේ ගෝලයන් දාලා බොරු වියදම් පෙන්නලා තියෙන්නේ. ඒ නිසා ඔය වියදම් කළා කියන ඒවා ඇත්ත වියදම් නෙවෙයි. සමහර වෙලාවල්වලදී නැවට ආයුධත් අරගෙන යන්න විනාඩි විස්සයි යන්නේ. එතකොට යන්නයි එන්නයි ආයුධ බාර දෙන්නයි ඔක්කොටම පැයක් යන වෙලාවලදී පැය තුනක් හතරක් ගියා කියලා දාලා තියෙනවා. මේවා රටට හම්බ වෙන්න තිබුණු සල්ලි. පැයකට ඩොලර් දාහක්, එක්දාස් පන්සීයක් විතර ගෙවනවා.

x මේ සංචාරක වීසාවලින් යන නිලධාරීන් සේවය කරන්නේ මුහුදේද ගොඩබිමද?

මුහුදේ යන්නේ මුහුදු ආරක්ෂකයන්. ඔවුන්ට කොහොමත් සංචාරක වීසා තමයි තිබෙන්නේ. නමුත් ගොඩබිම සිට වැඩ කරන නිලධාරීන්ට සංචාරක වීසාවලින් වැඩ කරන්න බෑ. කෙන්යාවේ මාස තුනකට සංචාරක වීසා දෙනවා. ඕමාන්වල සංචාරක වීසා නිකුත් කරන්නේ මාසයකට විතරයි. ඒ නිසා මාසෙන් මාසෙට අලූත් නිලධාරීන් යවනවා. ඉන්න අය මාසෙන් මාසෙට මාරු කරනවා. මොකද ඔවුන් ඉන්නේ සංචාරක වීසාවලින්. මේක මොන තරම් වියදමක්ද? අප් ඇන්ඞ් ඩවුන් ටිකට් එක කොච්චරද කියලා බලන්න… මේවා නීත්‍යනුකුලව කරන්න තිබුණු ව්‍යාපාර. යුද ජයග‍්‍රහණය නිසා ලංකාවේ හමුදාවට විශාල විදේශ ඉල්ලූමක් තිබෙනවා. ඒ නිසා ඊට අවශ්‍ය අණ පනත් සම්මත කරගෙන මේ ව්‍යාපාරය කරන්න තිබුණා.

x මේ සමාගම අවි වෙළෙඳාම් කළාද?

ඔබ දන්නවා, උදයංග වීරතුංග කියන රුසියාවේ හිටපු තානාපතිතුමා යුක්රේන් ගරිල්ලන්ට ආයුධ දුන් බවට චෝදනා එල්ල වුණා. මේ ආයුධ යවන්න පුළුවන් ක‍්‍රම දෙකයි තිබෙන්නේ. එකක් ගුවනින්. අනෙක මුහුදෙන්. ඇවන්ට්ගාඞ් කියලා පසුගිය දා අත්අඩංගුවට ගත්තු නැවේ කාර්ය මණ්ඩලයේ හය දෙනෙක් යුක්රේන් ජාතිකයන්. මේවා ගැන පරීක්ෂණයක් කරන්න ඕන. ඊළඟට ලංකාවේ ආයුධ වෙනත් විදේශීය සමාගම්වලට දෙනවා, ආරක්ෂා කරන්න, ගබඩා කරන්න, රඳවා තබා ගන්න. නැව්වලට පටවන්න… එහෙම කරන්න මොකක්ද තියෙන නීතිය?

x ඔබ කියන්නේ ලංකාවේ ආයුධ වෙනත් සමාගම් භාරයේ තිබුණා කියන එකද?

ඔව්. කෙන්යාවේ ජැක් සීෆෝත් කියන්නේ එහෙම සමාගමක්. ඉන්ච්කේප් සමාගම තවත් එකක්. මම දැන ගන්න කැමතියි හිටපු ජනාධිපතිතුමාගෙන්,
ආරක්ෂක ලේකම්තුමාගෙන් මොන අණ පනත් යටතේද මේවා කළේ කියලා… මට නිශ්ශංක සේනාධිපති මහත්තයා ගැන දුකකුත් හිතෙනවා. ලංකාවේ තවත් විශාල ආරක්ෂක සමාගම් තිබෙනවා. ඒවා එකක්වත් අල්ලගන්න ගෝඨාභය මහත්තයාට බැරි වුණා. නිශ්ශංක සේනාධිපති මහත්තයා ලොකු උගුලකට අහු වුණේ. ඇත්තම කතාව මේක හොරා පොලිස් ගේමක්.

x එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අත්අඩංගුවට ගත්තු අවි මේ සමාගම් හරහා භාවිත කළා, විකිණුවා කියලා සැකයක් තිබෙනවාද?

දැන් රහස් පොලිසිය කරන පරීක්ෂණ හරි නෑ. මොකද මේ ගැන මුලින්ම අහන්න ඕන ෆීල්ඞ්මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමාගෙන්. එතුමා තමයි දන්නේ යුද්ධය අවසන් වෙද්දී කොච්චර ආයුධ තිබුණාද, කොච්චර ආයුධ අත්අඩංගුවට ගත්තාද, කොච්චර ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකා මධ්‍යම අවි හා පතරොම් ගබඩාවට බාර දුන්නාද කියලා. එල්.ටී.ටී.ඊ. එකෙන් අල්ලගත්ත ආයුධ ලේඛනගත කරලා තිබෙනවා. දැන් ඒවා සසඳලා බලන්න ඕන, ඒ ආයුධ සියල්ලම තිබෙනවාද, නැත්නම් අඩුද කියලා.

x විශේෂ අත්දැකීම් මොනවාද?

අම්බටෝ ඞී අමාටෝ කියන නැව් සමාගමේ හිමිකරුත් ස්ටාම් ඩිවිෂන් කියන ඉතාලි ආරක්ෂක සමාගමත් එකතු වෙලා ඇවන්ට්ගාඞ් එකටත් රක්නා ලංකා එකටත් විරුද්ධව ලංකාවේ මුදලින් කෝටි 50ක් ඉල්ලලා නඩු දාන්න උත්සාහ කළා. මම තමයි මැදිහත් වෙලා ඒක නතර කළේ. ඇත්තටම මට තර්ජනය කරලා මාව යැව්වා. මම යද්දී ඊට අවශ්‍ය අවසර පත‍්‍රවත් මගේ ළඟ තිබුණේ නෑ.

x මොකක්ද ඒ සිද්ධිය…?

මේ නැවට ආයුධ ලබා දෙන්න තිබුණු දිනට වඩා දින තුනක් ප‍්‍රමාද වුණා. ඇත්තටම ඒකට හේතු වුණේ ඉන්දියාවේ ගුවන්ගමන් වර්ජනයක් ඇතුළු හේතු කිහිපයක්. නමුත් මේ නැවේ ගමන දින තුනක් ප‍්‍රමාද වීම නිසා ඔවුන් නඩු දාන්න සුදානම් වුණා. ඒ වෙලාවේ නිශ්ශංක සේනාධිපති සහ ගෝඨාභය රාජපක්ෂ මට කතා කරලා කිව්වා වහාම යන්න කියලා.

x ගෝඨාභය රාජපක්ෂ ඔබට පෞද්ගලිකව කතා කළාද?

ඔව්. මට කතා කරලා කිව්වා යන්න, නැත්නම් ලංකාවට එන්න බැරි වෙයි කියලා. ඒ නිසා මම ගියා. දවස් දහයක මුහුදු ගමනක්. මට නැව් අවසරපතවත් දුන්නේ නෑ. ඒ යද්දී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් එක්ක ගැටුමක් පවා ඇති වුණා. කොහොම හරි මම ගිහින් නැවට ආයුධ ටික බාර දීලා ඒ ප‍්‍රශ්නය නිරාකරණය කළා. ඊට පස්සේ ෆුජරාවලට ගියාම ඒ රටේ ආගමන විගමන නිලධාරීන් මාව අත්අඩංගුවට අරගෙන පැය 36ක් රඳවා ගත්තා.

x කොහොමද එතැනින් නිදහස් වුණේ?

ඒක කියන්නම ඕන. මම අත්අඩංගුවේ ඉන්න කොට නිශ්ශංක සේනාධිපතිලාගේ එහේ නියෝජිතයන් මාව ව්‍යාපාරිකයෙක් විදියට හඳුන්වලා ව්‍යාජ වීසා හදාගෙන ආවා. ව්‍යාපාරිකයෙක් කියලා පෙන්වලා වීසා හදන්න බැංකු ගිණුම් එහෙම පෙන්වන්න ඕන. ඔවුන් ඒවා හොරට හැදුවා. එහෙම තමයි නිදහස් වුණේ. නමුත් දැන් ඒ ගමන වෙනුවෙන් වෙන කෙනෙක්ගේ නම දාලා තියෙනවා. මම තමයි ගියේ. දැන් වෙන නිලධාරියෙක් ඒ සිද්ධිය ගැන සාක්ෂි දෙනවා. එතනින්ම පැහැදිලියි මේක කොයි තරම් හොර, කූඨ ව්‍යාපාරයක්ද කියලා.

x අවසාන වශයෙන් මොකක්ද කියන්න තියෙන්නේ…?

මේ පරීක්ෂණ කරන්න සුදුසු පරීක්ෂණ මණ්ඩලයක් පත් කරන්න. මේ පරීක්ෂණ විධිමත් කරන්න ඕන. ඇවන්ට්ගාඞ් එකට විරුද්ධව චෝදනා 2000ක් විතර තිබෙනවා. නමුත් කියන්න කනගාටුයි මේ ආණ්ඩුවත් මේ ගැන පරීක්ෂණ කරන බවක් පෙනෙන්න නැහැ. අපි රටට ආදරේ නිසා මේ ගැන හෙළිදරව් කළා. දැන් අපේ ආරක්ෂාව පවා අනතුරට ලක් වෙලා. පසුගිය 20 වැනිදා මම නතර වෙලා හිටි හෝටලයට ඩිෆෙන්ඩර් දෙකකින් ඇවිත් පිළිගැනීමේ නිලධාරියාට තර්ජනය කරලා හෝටලය පරීක්ෂා කරන්න අවශ්‍යයි කියලා කියලා තියෙනවා. යහපාලන ආණ්ඩුවක් පත් කර ගත්තාට තාමත් මහින්ද රාජපක්ෂලාට ඕන විදියට පොලිසිය, සී.අයි.ඞීය නීතිය ක‍්‍රියාත්මක කරන බවයි පේන්නේ.

ඇමැතිවරු මට කතා කරනවා සල්ලි ටිකක් අරගෙන මේක අතහැරලා දාන්න කියලා. ඒක බෑ කිව්වාම ඇමැතිවරු මට තර්ජනය කරනවා. මාව හිරේ දානවා කියලා කියනවා. ඒ නිසා අද මට ජීවිත තර්ජන එල්ල වෙලා තිබෙනවා.

සටහන – ජනක තුෂාර

උපුටා ගැනීම ජනරළ පුවත්පත




Related News