தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඇවන්ට් ගාඩ් සභාපතිට එරෙහි නඩුව අත්හිටුවන අතුරු නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවන්ට් ගාඩ් සභාපතිට එරෙහි නඩුව අත්හිටුවන අතුරු නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලයි



ඇවන්ට් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලනික අරමුණකින් යැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඊයේ (8) අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

එසේම ඔවුන් දෙදෙනාට එරෙහි එම අධි චෝදනා අල්ලස් පනතේ විධි විධාන වලට පටහැනි යැයිද එම නීතීඥවරුන් වැඩිදුරටත් පවසා ඇත.

නිශ්ශංක සේනාධිපතිගේ නීතීඥවරුන් මේ බව කියා සිටියේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව නඩුව විභාගයට ගැනීමට ගත් තීන්දුව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා “ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බවත් , එලෙස නිසි අනුමැතියකින් තොරව නඩු පැවරීම නීතිවිරෝධී බැවින් එම නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් ලබා දෙන ලෙස නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා ඇත.

සියලු කරුණු සළකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු තහවුරු කිරීම ලබන 17 වැනි දිනට කල් තැබිණි.

‘ඇවන්ට් ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන් අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ මෙම ප්‍රතිශෝධන පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් , නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්‍ෂ 355ක මුදලක් ලබාදීම හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදුකළ බවට “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපතිට සහ “රක්නා ලංකා” සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දුට එරෙහි නඩුව සම්බන්ධයෙන් විත්තියෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න එම නඩුව ජුනි මස 4 වැනිදා පටන් විභාග කිරීමට තීරණය කළාය.