Posted on 09.16.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
උද්ඝෝෂණයකදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් තම ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධවීම වෙනුවෙන් රජයෙන් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ආබාධිත සෙබළෙකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ වැඩිදුර විභාගය ලබන මැයි 4 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) තීන්දු තිබුණි.
විශ්‍රාම වැටුප් ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා 2016 වසරේ නොවැම්බර් මස 7 වන දා කොළඹ කොටුව ජනාධිපති කාර්යාලය අවට තමා ඇතුළු ආබාධිත සෙබළුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකළ බවත්, එම උද්ඝෝෂණය විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් අත්තනෝමතිකව එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර වලින් ඇසක් සම්පූර්ණයෙන්ම අන්ධ වූ බවත් , ඉන් තමා සදාකාලිකවම දෘෂ්‍යාබාධිත තත්ත්වයට පත්වූ බවද පෙත්සමින් කියා සිටී.
මෙම පෙත්සම් විභාගය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවිණි.
මාතර ප්‍රදේශයේ පදිංචි ආබාධිත සෙබළෙකු වන කම්කානම්ගේ නිශාන්ත මිහිරාජ් නැමැත්තා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් ගුණරත්න , පොලිස් මූලස්ථානයේ සහකාර පොලිස් අධිකාරි ඩී.ටී.එච්.ප්‍රශාන්ත, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, එවකට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක , ආරක්ෂක ලේකම් සහ නීතිපති නම් කරනු ලැබ තිබේ.
යුධ සමයේදී තුවාල ලැබීමෙන් පසුව මෙම යුධ හමුදා සෙබලා 2009 ඔක්තෝබර් 29 වැනිදා වෛද්‍ය හේතූන් මත යුද හමුදා සේවයෙන් ඉවත්ව තිබේ.
මාතර දිස්ත්‍රික් රණවිරු එකමුතුවේ සභාපති ලෙස කටයුතු කළ පෙත්සම්කරු වසර 12කට අඩු සේවාවක් ඇති ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප් ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ තිබුණ ද එවකට පැවති රජය එය ලබා දීමට කටයුතු නොකළ බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.