தமிழ்
English
Contact
Monday 8th March 2021    
ඇස්ට්‍රාසෙනෙකා එන්නතට අනුමැතිය දී ඇත්තේ හදිසි භාවිතයට පමණයි - තවත් එන්නත් දෙකකට අනුමැතිය ඉල්ලලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇස්ට්‍රාසෙනෙකා එන්නතට අනුමැතිය දී ඇත්තේ හදිසි භාවිතයට පමණයි – තවත් එන්නත් දෙකකට අනුමැතිය ඉල්ලලා



කෝවිඩ් -19 මර්දන එන්නත් දෙකක්, එනම් රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී සහ ඉන්දියාවේ භාරත් බයෝටෙක් නිෂ්පාදිත කොවැක්සින් යන දෙකම ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අනුමැතිය ඉල්ලා ඇතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි.

ඖෂධ නියාමන අධිකාරි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ පවසා ඇත්තේ සෑම එන්නතකටම අදාළ ලියකියවිලි මේ වනවිට ලැබී ඇති බවත්, තීරණයක් ගැනීමට පෙර මෙම සියලු ලියකියවිලි හොඳින් පරීක්ෂා කිරීම සිදුකරන බවයි.

මේ අතර, ජනවාරි 22 වන දින ඖෂධ නියාමන අධිකාරිය ශ්‍රී ලංකාවේ හදිසි භාවිතය සඳහා ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේය

“හදිසි භාවිතය” යන පදය පැහැදිලි කරමින් වෛද්‍ය ජයසිංහ පවසා ඇත්තේ කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඖෂධ ලියාපදිංචියට අදාළ ක්‍රියාවලිය සිදුකිරීමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති නිසා ලොව පුරා කොවිඩ් -19 එන්නත් හදිසි භාවිතය සඳහා අනුමත කරන බවයි.

ඖෂධ නියාමන අධිකාරියේ විධායක අධ්‍යක්ෂකවරයා පෙන්වා දී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයද කොවිඩ් එන්නත් හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදී ඇත්තේ ඒ නිසා බවයි.