தமிழ்
English
Contact
Friday 14th May 2021    
ඇස්ට්‍රාසෙනෙකා එන්නත යළි ලබාදෙන දිනයක් ගැන කිව නොහැකියි - ඉන්දීය විදේශ ලේකම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇස්ට්‍රාසෙනෙකා එන්නත යළි ලබාදෙන දිනයක් ගැන කිව නොහැකියි – ඉන්දීය විදේශ ලේකම්



ඉන්දීය රජයේ “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් සැපයීම ලබන ජුලි මාසයට පෙර යළි ආරම්භ කිරීමට නොහැකිවනු ඇති බව ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් පවසා තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශයෙ සහ නේපාලය ඇතුළු රටවල් සඳහා “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නත් සැපයීම තවත් මාස කිහිපයකින් ප්‍රමාද වන බවද ඉන්දීය විදේශ ලේකම්වරයා කියා සිටී.

එම කටයුතු යළි ආරම්භ කරන දිනයක් මේ දක්වාත් ප්‍රකාශයට පත් කළ නොහැකි බව ඉන්දීය විදේශ කටයුතු ලේකම්වරයා සඳහන් කර තිබේ.

ඉන්දියාවේ පවතින තත්ත්වයත් සමඟ එන්නත් අවශ්‍යතාව ඉහළ යාම මීට හේතු වී ඇති බව ඉන්දියාවේ “හින්දු” පුවත්පත වාර්තා කර තිබේ.

දෙවන කොවිඩ් රැල්ලේ ව්‍යාප්තියත් සමඟ දේශීය එන්නත් අවශ්‍යතාව ඉහළ යාම හේතුවෙන් ප්‍රදානයන් හා මිලදී ගැනීම් ලෙස රටවල් විසින් ඉල්ලුම් කළ කොවිඩ් මර්දන එන්නත් තොග ද අපනයනය කිරීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ඉන්දියාව පියවර ගනු ලැබීය.

මේ අතර මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශයන්හි ඉදිරිපෙළ සාමාජිකයින් සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමේ කටයුතු සිදුවෙමින් පවතියි. ඒ සඳහා ප්‍රමාණවත් එන්නත් ප්‍රමාණයක් නොමැති බවට තොරතුරු අනාවරණය වී තිබේ. එයට හේතුව ලංකාවේ විශාල පිරිසකට එන්නත් ලබාදෙන බව පෙන්වීම සඳහා ආණ්ඩුව කිසිම සැලසුමකින් තොරව එන්නත් භාවිතා කිරීමයි.

ඒ අනුව පළමු මාත්‍රාව ලෙස ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදුන් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස වෙනත් වර්ගයක කොවිඩ් මර්දන එන්නතක් ලබාදිය හැකිද යන්න ගැන සෞඛ්‍ය බලධාරීන් සොයා බලමින් සිටින බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණි. එය සාර්ථක නොවුනහොත් මෙරට තුළ කොවිඩ් වසංගතයට තව තවත් ජනතාව ගොදුරු වීම වැළක්විය නොහැකි වනු ඇත.