தமிழ்
English
Contact
Tuesday 20th August 2019    
ඉතාලියේ සංක්‍රමණ විරෝධී නව නීතිවලට විරෝධය! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉතාලියේ සංක්‍රමණ විරෝධී නව නීතිවලට විරෝධය!



සියලූ සංක‍්‍රමණිකයින් පීඩාවෙන් පීඩාවට පත්කරන ජාතිවාදය සහ සමාජ විරෝධය කුළු ගන්වමින් ඉතාලියේ අභ්‍යන්තර කටයුතු ඇමති මතෙයෝ සල්වීණි ගෙනා නව නීති සංශෝධනයට එරෙහිව අද ඉතාලියේ බ්‍රේෂියා නගරයේ දී විරෝධතාවයක් පවත්වන ලදී.
මේ වන විට ඉතාලිය තුළ රැකියා කරන සංක‍්‍රමණික ජනතාවගේ අයිතිවාසිකම් බොහෝමයක් උදුරාගනිමින් පවතී. ඊට අදාලව පැවති බොස්සි ෆීනි නීතියට එහා යමින් අභ්‍යන්තර කටයුතු ඇමති මතෙයෝ සල්වීණි විසින් ගෙනා නව නීති සංශෝධනය සියලූ සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කරන්නකි. මීට වසර තිහකට පෙර ඉතාලියට පැමිණ රැකියා කරන ඉතාලි සමාජ ආර්ථික සංස්කෘතික ක්ෂේත‍්‍රයන් ගණනාවකට දායකත්වය සැපයූ ඊට අදාල බොහෝ අත්දැකීම් සහ පලපුරුද්ධ සහිත ශ‍්‍රමිකයාගේ වටිනාකම කිසි සේත්ම තක්සේරුවට ලක් නොකර ඔවුන්ද ඊයේ පෙරේදා පැමිණි විදේශිකයාගේ තත්ත්වයට හෙළා ඇත.
පෙර්මෙස්සෝ දි සර්ජෝර්නෝව සහිත නිත්‍යානුකූලව රැඳී සිටි අයගේ නීත්‍යානුකූලභාවය අහෝසි කිරීම සඳහා අවශ්‍ය විවිධ කොන්දේසි මෙමගින් පනවා ඇත. කිසිසේත්ම සංක‍්‍රමණිකයා වග කිව නොයුතු හෝ ඔවුන්ට පාලනය කර ගත නොහැකි දෑ කොන්දේසි ලෙස පනවා ඇත. එමගින් සොජෝර්නොව අවලංගු කිරීමට හැකි සංශෝධන ගණනාවක් මෙයට ඇතුළත් කොට ඇත.
ඒසේම කාර්ත දි සර්ජෝර්නෝව හිමි අයගේ එම අයිතිවාසිකමද උදුරා ගන්නට දැන් සිටම ක‍්‍රියාත්මකව ඇත. නීතියේ නැති කරුණු පවා යොදා ගනිමින් එය සාමාන්‍ය සර්ජෝර්නෝවක් බවට පත් කිරීමට හෝ අවලංගු කිරීමට කටයුතු කරමින් පවතී. ඒ විතරක් නොව එය ඉල්ලූම් කිරීමේ කොන්දේසිද ඉහල දමා එය ලබා ගැනීම අසීරු කර ඇත.
3ඉතාලි පුරවැසිභාවය අයදුම් කරන්නන් හට වසර 10 ක කාලයට තවත් වසර හතරක් එකතු කර කාලය දීර්ඝ කර ඇත. අය කරන ගාස්තු ද ඊට ඉදිරිපත් කලයුතු ලිපි ලේඛන මට්ටමද ඉහළ දමා ඇත. එපමණක් නොව අවශ්‍ය විටෙක පුරවැසිභාවය අවලංගු කිරීමට අදාල කොන්දේසිද ඊට එකතු කර ඇත.
නීති්‍යානුකුලභාවය නැති අය අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නා කාලය දීර්ග කරන ගමන් ඔවුන් පිටුවහල් කිරීමේ ක‍්‍රියාවලියද වේගවත් කර ඇත. නිවාස නැති අය විසින් අත්හැර දැමු ගොඩනැගිල්ලක් තුළ වාසය කළ හොත් ඔවුන් බන්ධනාගාර ගතකිරීමට නීති පනවා ඇත.
සංක‍්‍රමණිකයින් හට රැකවරණය දීම හා දේශපාලන රැකවරණ ලබා දීම සඳහා යුරෝපා එකගතාවලට අනුව වෙන්කර තිබූ අරමුදල් කපා හැරීමද සිදු කර ඇත. ඒ අනුව ඔවුන් සඳහා පහසුකම් සැලසීමේ කටයුතු කොමුනෙ ආයතන හා විවිධ සංවිධාන බාරගෙන තිබූ අතර දිනකට ඒ වෙනුවෙන් වෙන් කල යුරෝ 35ක මුදල කපා හැර ඒ වෙනුවට දැන් ලබා දෙන්නේ යුරෝ 21.50කි. මේ නිසා විවිධ දුෂ්කරතාවන්ට ඔවුන් මුහුණ දී සිටින අතර එම කාර්යයෙන් ඉවත්වීමට බොහෝ සංවිධාන තීරණය කර තිබෙන අතර සමහර සංවිධාන නීති ක‍්‍රියාමාර්ගවලට අවතීර්ණව ඇත.
ඒ වගේම කිසියම් වැඩවර්ජනයක දී පාරක් අවහිර කළහොත් ඔවුන් බන්ධනාගත කිරීමේ නීති සංශෝධනද මෙහි ඇතුලත් කොට ඇත. මෙය සංක‍්‍රමණිකයාට පමනක් නොව සියලූ දුප්පතුන්ට සහ ඉතාලි කම්කරුවාට ද බලපාන ලෙස සකස් කල පනතකි.
ඉතාලිය තුළ ජීවත්වන සංක‍්‍රමණිකයින්හට ඇත්තේ එකම ආකාරයේ ගැටලූ සහ අවශ්‍යතාවයන් බව අප කවුරුත් දනිමු. එහෙත් මෙම පනත මගින් ඔවුන් විවිධ මට්ටම් වලට වෙන්කර ඔවුන්ගේ අයිතිවාසිකම් වලටද සීමාකම් පනවා ඇත. මෙය මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
එම නිසා මෙම පනත ඔවුන්ට උවමනා ආකාරයට ක‍්‍රියාවට නගන්නට ඉඩදී බලා සිටිනවාද එමගින් සිදුවන පීඩාවන් දරාගෙන සිටිනවාද නැතිනම් ඊට එරෙහිව හඩ නගා එය පරාජය කිරීමට එක්වනවාද යන්න ඔබ තීරණය කල යුතුව ඇත. ජයග‍්‍රහණය හෝ පරාජය ඇත්තේ ඔබේ තීරණය මත බව සහ එය මග හැරිය නොහැකි සමාජ වගකීමක් බවද තමාද එහි කොටසක් බව තේරුම් ගැනීමද ඊට ඇතුලත්ය.