தமிழ்
English
Contact
Thursday 21st March 2019    
ඉතියෝපියා ගුවන් අනතුර නිසා බෝයිං යානා තහනමක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉතියෝපියා ගුවන් අනතුර නිසා බෝයිං යානා තහනමක්!



මගීන් 157ක් මරණයට පත් කරමින් ‘බෝයිං 737 මැක්ස්‘ යානයක් අනතුරු ලක්වීමෙන් පසුව එම වර්ගයේ සියලුමෙ ගුවන් යානා භාවිතය තාවකාලිකව තහනම් කිරීමට අමෙරිකාවේ බෝයිං සමාගම පියවර ගෙන ඇත.

ඉතියෝපියානු ගුවන් අනතුරෙන් පසු බෝයිං 737 මැක්ස් ගුවන් යානා භාවිතය අත්හිටවීමට තීරණය කළ රටවල් අතරට පසුගියදා යුරෝපා සංගමය සහ ඉන්දියාව ද එක්වුණි.
යුරෝපා සංගමය මේ තීන්දුවට එළඹී ඇත්තේ දෝෂයක් හේතුවෙන් නෝවීජියානු ගුවන් සමාගමට අයත් බෝයිං 737 Max 8 යානාවක් ආපසු ස්ටොක්හෝම් ගුවන්තොටුපොල වෙත හරවා එවීමට සිදුවීමත් සමඟය. චීනය, ඉන්දුනීසියාව, ඉතියෝපියාව, සිංගප්පූරුව, මැලේසියාව, කැනඩාව හා එක්සත් රාජධානියද එම යානා භාවිතය අත්හිටුවා ඇත.

ඉතියෝපියානු අනතුර මාස 5කට අඩු කාලයක් තුළ එම මාදිලියේ ගුවන් යානයක් කඩා වැටුණු දෙවන අවස්ථාවය. කෙසේවෙතත් බෝයිං සමාගම ආරක්ෂා කරමින් ඇමෙරිකානු බලධාරීන්
දිගින් දිගටම කියා සිටියේ එම ගුවන් යානා වර්ගය මගී ප්‍රවාහනය සඳහා ආරක්ෂාකාරී එකක් බවය. කෙසේවෙතත් අනතුර සිදු වූ ප්‍රදේශයේ සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇති කරුණු මත සියලුම  737 මැක්ස් වර්ගයට ගුවන් යානා භාවිතය තාවකාලිකව අත්හිටුවීමට බෝයිං සමාගමද පියවර ගත් අතර මේ තීරණය නිසා රටවල් ගණනාවක භාවිතවන ගුවන් යානා 371ක් ගුවන්ගතවීම නවතී. බෝයිං 737 Max-8 ගුවන් යානා මොඩලය ගුවන් ගමන්වලට අලුතින් එක් වූ එකක් වන අතර එය වාණිජමය වශයෙන් භාවිතයට එක් වූයේ 2017 වසරේ සිටය.

2018 ඔක්තෝබර් මාසයේදී Boeing 737 MAX-8 වර්ගයට අයත් ඉන්දුනීසියාවේ Lion Air ගුවන් සේවයේ 610 දරන ගුවන් යානය ද ජාවා මුහුදු තීරයට කඩා වැටුණි. එම යානය සහ ඉතියෝපියාවේදී අනතුරට ලක් වූ එම වර්ගයේ යානය එකම පියාසර රටාවක් අනුගමනය කර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත.ලොව ප්‍රමුඛතම ගුවන්යානා නිෂ්පාදක සමාගමක් ලෙස බෝයිං සමාගමේ කිර්ති නාමයට විශාල කැළලක් වූ මෙම අනතුරු නිසා කොටස් වෙළඳපල තුළ එම සමාගමේ කොටස් මිල අගය සීඝ්‍රයෙන් පහළ බැස තිබුණි.

මේ අතර අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් යානයේ කළු පෙට්ටිය මේ වන විට විමර්ශකයින් විසින් සොයාගෙන ඇති අතර ඔවුන් මේ වන විට යානය කඩා වැටීමට හේතුව තහවුරු කර ගැනීම සඳහා දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.