Posted on 06.07.2021 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ඉන්දියාවේ වයස අවුරුදු 18ත් 44ත් අතර පුද්ගලයන්ට කොවිඩ් එන්නත ලබාදීමේදී මුදල් අයකිරීම ‘අත්තනෝමතික සහ අවිචාරවත්’ බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබේ. එරට එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය වන්නේ වයස අවුරුදු 45 සහ ඊට වැඩි අයට නොමිලේ එන්නත්කරණය ලබාදීම සහ වයස අවුරුදු 18 – 44 අතර අය සඳහා මුදල් අයකර එන්නත්කරණය ලබාදීමයි.
එරට ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ කොවිඩ් -19 වසංගතයේ දෙවන රැල්ල වයස අවුරුදු 18 – 44 අතර බොහෝදෙනෙකුට බලපා ඇති බවත්, ඔවුන්ගෙන් බොහෝදෙනෙකුට දරුණු සංකූලතා ඇති වී ඇති තත්ත්වයක් තුළ ඔවුන්ගෙන් මුදල් අයකිරීමේ තර්කය කුමක්ද යන්න ඉන්දීය රජය පැහැදිලි කළ යුතු බවයි.
‘පෙර ප්‍රතිපත්තිය මෙන් නොව, මෙම එන්නත් කිරීමේ ප්‍රතිපත්තිය සමාන රෝගාබාධ සහ වෙනත් රෝග ඇති පුද්ගලයන්ට, ආබාධිත පුද්ගලයන්ට හෝ වෙනත් අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට ප්‍රමුඛතාව නොදක්වන්නක් බවද ශ්‍රේෂ්ඨාධිකරණය පවසා තිබේ.
.එසේම මධ්‍යම අයවැයෙන් කොවිඩ් -19 එන්නත මිලදී ගැනීම සඳහා වෙන් කර ඇති රුපියල් කෝටි 35,000ක් වියදම් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මධ්‍යම රජයට දැනුම් දී තිබේ. වයස අවුරුදු 18 – 44 අතර පුද්ගලයන්ට එන්නත් ලබාදීම සඳහා මෙය භාවිත කළ නොහැක්කේ මන්දැයි ද අධිකරණය විමසා සිටියි.
සති දෙකක් ඇතුළත සියලුම කොවිඩ් -19 එන්නත් මිලදී ගැනීමට අදාළ දත්ත ලබා දෙන්නැයි ද එන්නත් මාත්‍රා දෙකක් හෝ එකක් ලබා දී ඇති නාගරික හා ග්‍රාමීය ජනගහනයේ ප්‍රතිශත දත්ත ලබාදෙන්නැයි ද ඉතිරි ජනගහනයට එන්නත ලබාදෙන්නේ කෙසේද සහ කවදාද යන්න පිළිබඳව ද දළ සටහනක් සපයන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කොරෝනා වෛරස් රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ, එන්නත් සහ වෛද්‍ය ඔක්සිජන් සැපයීම සම්බන්ධ නඩුවේදී එරට අධිකරණය මෙසේ පවසා ඇත.