தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඉරානය සම්බන්ධයෙන් පකිස්තාන අගමැතිගෙන් ඉල්ලීමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉරානය සම්බන්ධයෙන් පකිස්තාන අගමැතිගෙන් ඉල්ලීමක්



කොරෝනා වයිරසයෙන් දැඩි බලපෑමක් එල්ල වී තිබෙන ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කරන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඊයේ (20) ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.

ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ඔහු ඒ බව පැවසීය.

ඉරානයට පනවා තිබෙන සම්බාධක ඉවත් කළහොත් කොරෝනා වයිරසයට එරෙහි සටනේදී එය ඔවුන්ට කරන උපකාරයක් වනු ඇතැයි ද හෙතෙම කීය.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ඉරානයේ 20,000 ආසන්න පිරිසකට ආසාදනය වී ඇත. එරටින් වාර්තා වන මරණ ගණන 1,433කි.

මේ හදිසි අවස්ථාවේදී අසල්වැසි ඇෆ්ගනිස්තානය සමඟද සහයෝගයෙන් කටයුතු කරන බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය .

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ ආකාරයට ඉරාන විදේශ අමාත්‍ය ජවාඩ් ෂරිෆ් පවසා තිබුනේ  ඇමරිකානු ආර්ථික සම්බාධක  හේතුවෙන් ඖෂධ සහ ඖෂධ උපකරණ ආනයනයට බාධා පමුණුවා ඇති බවයි. ඒ හරහා රට තුළ විශාල ඖෂධ හිඟයක් ඇතිව තිබෙන බව ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැන්වා තිබුණි.