Posted on 01.06.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ස්වර්ණමහල් ජුවලර්ස්, ස්වර්ණවාහිනි, එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් යන ව්‍යාපාරික ආයතනවල හිමිකාරිත්වය දැරූ එදිරිසිංහ පවුලේ සාමාජිකයන් 4 දෙනකු රුපියල් බිලියන 13.7ක් වටිනා තැන්පතුකරුවන්ගේ තැන්පතු මුදල් නීතිවිරෝධීව පරිහරණය කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට තීරණයකර ඇත.
එහිදී සිදුවන්නේ, ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන සමාගම් අධ්යක්ෂවරුන් මේ අන්දමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමය.
ඊ.ඒ.පී.එදිරිසිංහ විසින් ආරම්භ කරන ලද ස්වර්ණමහල් ස්වර්ණාභරණ ආයතනය පසුකලක ව්‍යාප්තකර ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය වශයෙන් වර්ධනය කළ සෝමා එදිරිසිංහගේ පුතුන් හා දියණිය මෙසේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ අතුරින් නාලක එදිරිසිංහ හැර අන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ආයතනයේ තැන්පත් කළ රුපියල් බිලියන 13.7ක තැන්පතු අවසරයෙන් තොරව පිළිගැනීම, එම මුදල් අයථා ලෙස පරිහරණය කිරීම සහ මුදල් විශුද්ධීකරණය සම්බන්ධයෙන් ඊ.ටී. අයි. සහ ස්වර්ණමහල් යන සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් පවත්වන ලෙස නීතිපතිවරයා මෙසේ පොලිස්පතිවරයාට උපදෙස් දී තිබිණි.
සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචියක් නොමැතිව සහ නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මුදල් ව්‍යාපාරයක නිරත වීම සම්බන්ධයෙන් 2011 අංක 41 දරන මුදල් පනතට හා ඊට පූර්වගාමී වූ පනත් යටතේ දණ්ඩනීය වරදක් ලෙස දක්වා ඇත’ ඒ සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර මහාධිකරණය වෙත ගොනු කිරීමට ඉදිරියේදී නීතිපතිවරයා කටයුතු කරනුු ඇත.
ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා නිර්දේශ අනුව නීතිපතිවරයා විසින් සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පෞද්ගලික සමාගමේ හිටපු සභාපතිනිය වූ නැසී ගිය සෝමා එදිරිසිංහ හා ඇයගේ පවුලේ සාමාජිකයන් වූ ජීවක හේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ හා
අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අධ්‍යක්ෂවරුන්ට එරෙහිව මෙලෙස ඉදිරි පියවර ගනු ලබන බව අධිනීතිඥවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
සීමාසහිත ඊ.ටී.අයි. ෆිනෑන්ස් පෞද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනාවරණය නොකරන ලද ගිණුම් (undisclosed accounts) පවත්වා ගනිමින් රුපියල් බිලියන 6,480 තැම්පත් නීති විරෝධී ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් පසුගිය 2020 ඔක්තෝබර් මස 23 වැනි දින ලිපියක් මගින්
සාක්ෂිව අනාවරණය වී තිබීම ගැනද පරීක්ෂණ අරඹා ඇත.