தமிழ்
English
Contact
Tuesday 3rd August 2021    
උතුර ආශ්‍රිත ගිනි ඇවිලවීමේ දේශපාලනය පරාජය කරමු! - අ.වි.ශි.බ.ම. නිවේදනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුර ආශ්‍රිත ගිනි ඇවිලවීමේ දේශපාලනය පරාජය කරමු! – අ.වි.ශි.බ.ම. නිවේදනයක්



යුද්ධයකින් බැට කා සිටින ලාංකීය සමාජය නැවත පටු බෙදුම් රේඛා ඔස්සේ ගැටුම් සඳහා ඇද දමන බලලෝභී දේශපාලන කුමන්ත්‍රණ පරාජය කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කරයි.

යාපනය විශ්වවවිද්‍යාලයේ මළවුන් සැමරීමේ ස්මාරකයක් විනාශ කිරීම හා ඉන්පසුව යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චියේ තාක්ෂණ මණ්ඩපයේ බුදු කුටියකට ප්‍රහාර එල්ල කිරීම යන සිදුවීම් සැලසුම් සහගතව ගැටුම් ඇති කිරීමට කිසියම් විනාශකාරී උත්සාහයක් බව පෙන්වාදෙන අ.වි.ශි.බ.ම. නිවේදනය පහත පළ වේ.

ජාති/ආගම්වාද අවුළුවන කුමන්ත්‍රණවලට ඉඩ නොදෙමු!

පසුගිය 08 දින යාපනය සරසවියේ මළවුන්ගේ ප්‍රතිමාව කඩා බිඳ දමා ඉවත් කරන ලදී. ඇතිවූ විරෝධතා හේතුවෙන් එය නැවත පිහිටුවීමට විශ්වවිද්‍යාල පරිපාලනය විසින් කටයුතු කරන ලදී. එහිදී උපකුලපතිවරයා විසින් මෙය ආණ්ඩුවේ උවමනාව මත ඉවත් කරන ලද බවට ප්‍රකාශයක්ද කර තිබිණි.

දැන් කිලිනොච්චිය ප්‍රදේශයේ පිහිටි යාපනය සරසවියට අනුබද්ධ තාක්ෂණ පීඨයේ ඇති බුද්ධ ප්‍රතිමාවකට යම් පිරිසක් විසින් හානි පමුණුවා තිබේ. නැවත ජාතිවාදී, ආගම්වාදී ගැටුම් ඇති කරමින් ජනතාව භේදභින්න කිරීමේ කූඨ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව මෙම සිදුවීම්වලින් පැහැදිලි වෙයි. පවතින ආර්ථික අවපාතය හමුවේ දිනෙන් දින පීඩාවට පත්වන ජනතාවගෙන් එල්ලවන විරෝධය කළමනාකරණය කිරීමේ පැහැදිලි උවමනාවක් පාලකයන්ට පවතී. ජාතිවාදය, ආගම්වාදය ඒ සඳහා භාවිතා කළ හැකි බලවත් අවියකි. දැන් ආණ්ඩුව එය සිදුකරමින් සිටියි. මින් සති කිහිපයකට පෙර මහනුවර ප්‍රදේශයේ ද බුදු පිළිමවලට හානි පැමිණ වූ පුවතක් සමාජය තුළ පැතිර ගිය අතර ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. පසුව එය යම් පිරිසක් විසින් මානසික ආබාධයක් සහිත තරුණයෙකුට මුදල් ලබාදී සිදු කළ සැලසුම් සහගත ක්‍රියාවක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවසන ලදී. යාපනය තාක්ෂණ පීඨයේ සිදුවීම සහ රටේ වෙනත් ස්ථානවල ජාතිවාදී, ආගම්වාදී අරමුණින් සිදුවන මෙවැනි සිදුවීම් පිළිබඳ විධිමත් විමර්ශනයක් සිදුකොට ජනතාවට සත්‍ය කරුණු අනාවරණය කිරීම රජය සතු කටයුත්තකි. නමුත් ඒ වෙනුවට සිදුවන්නේ එම සිදුවීම් පාලකයන් සිය දේශපාලන බල ව්‍යාපෘතියේම කොටසක් කරගැනීමයි.

විශ්වවිද්‍යාලවල අත්දැකීම් සැලකුවද අධ්‍යයන සුබසාධන ගැටලු විසඳන ලෙස සිසු අරගල පැන නගින විට ජාති, ආගම් භේද, වසර, පීඨ අතර ගැටුම් විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමට පාලකයන් උත්සාහ ගත් අවස්ථා අප අත්දැක තිබේ. මෙම කූඨ ව්‍යාපෘති පිළිබඳව අප අවධානයෙන් සිටිය යුතු අතර සියලු ආකාරයේ ජාතිවාදයන්ට, ආගම්වාදයන්ට එරෙහි විය යුතුය. ජාතිවාදය ඇතිවන්නේ උතුරේද දකුණේද යන්න වැදගත් නොවේ. එයින් හානි පමුණුවන්නේ සමස්ත මිනිස් සංහතියටමය. වල දැ⁣මෙන්නේ මනුෂ්‍යත්වයයි.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සියලු ආකාරයේ ජාති, ආගම්වාදයන්ට එරෙහිව කොන්දේසි විරහිතව ඉදිරිපත් වේ. සමස්ත විශ්වවිද්‍යාල සහෝදරත්වයෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන්ම අප ඉල්ලා සිටින්නේ ද සියලු ආකාරයේ ජාති, ආගම්වාදයන්ට එරෙහි වන ලෙසයි.

සමාජයේ ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ගෙන එන මෙවැනි කූඨ ව්‍යාපෘතිවලට පාවිච්චි වන්නන් බවට පත් නොවන ලෙසයි. ⁣වසර ගණනාවක් පුරාවට අප සමාජය ජාති, ආගම් භේද හේතුවෙන් ඕනෑතරම් බැට කා තිබේ. දැන් දෑස් පෙනි පෙනී බොරු වලවල්වල වැටිය යුතු නැත. දිනෙන් දින උග්‍රවන ජනතාවගේ සැබෑ පීඩනයට එරෙහි අරගලයක් අප සියලු දෙනා අභිමුව තිබේ. ඒ සඳහා අප සියලු ජනතාව එක්විය යුතුය. ජාතිවාදයට, ආගම්වාදයට එරෙහි වෙමු! ඇත්ත ප්‍රශ්න යට ගැසීමට ඉඩ නොදෙමු!

රත්කරව්වේ ජිනරතන හිමි,
කැඳවුම්කරු,
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය